දූෂණය පිටුදැක සත්ව හිංසාවට එරෙහිව කටයුතු කිරීම
2009 ජාතික සුපිළිපන් විශේෂ සම්මානය|
අයිරාංගනී ද සිල්වා ට


රට තුළ දූෂණය පිටුදැකීමට කටයුතු කරන පුද්ගලයන් රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක්‌ කරනු පිණිසත් එමගින් විශේෂ ජාතික කාර්යයක්‌ ඉටුකරනු ලැබූ සුවිශේෂී පුරවැසියන් දෙදෙනකුට ශ්‍රී ලංකා ට්‍රාන්ස්‌ පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් වාර්ෂිකව පිරිනමන "ජාතික සුපිළිපන් සම්මානය" මෙම වසරේ (2009) ශ්‍රී ලංකා සත්ව ශුභසාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා මහත්මියට පිරිනමා ඇත.

පුරා දශක තුනකට ආසන්න කාලයක්‌ මෙරට අලි ඇතුන්, සුනඛයන් ඇතුළු සත්ව හිංසාව, ගවයන් ඇතුළු සත්ව ඝාතනයට එරෙහිව කටයුතු කරන අයිරාංගනී ද සිල්වා මහත්මිය, පසුගිය වසර දෙක තුළ සත්ව හිංසනය හා ගව ඝාතනයට එරෙහිව මෙරට පවතින නීතිය සවිබල ගැන්වීමට මහත් වෙහෙසක්‌ දැරුවාය.

එහිදී 1958, 1907 සත්ව ආඥ පනත් යළි මතුකර ඒaවා සක්‍රීය කරවා නව සංශෝධන ව්‍යවස්‌ථාදායකය හරහා සම්මත කරවා, මෙරට අධිකරණ පද්ධතිය තුළට ප්‍රවේශ වී දැනට මහා පරිමාණව සිදුවන ගව ඝාතනයට එරෙහිව ක්‍රියාත්මකව කටයුතු කළාය. එහිදී ගව ඝාතන ක්‍රියාවලියේ රාජ්‍ය මට්‌ටමේ මෙන්ම දේශපාලන අධිකාරිය තුළින්ද සහාය ලබමින් මෙය කූඨ ව්‍යාපාරයක්‌ ලෙස මෙරට ක්‍රියාත්මක වීමක්‌ සිදුවන අවස්‌ථාවක එය වටහා ගෙන ඊට එරෙහිව ඇය නීතිමය බලයක්‌ ඉස්‌මතු කරවීමට විශාල කාර්යභාරයක්‌ ඉටුකරන ලදී.

විශේෂයෙන්ම මහා පරිමාණ ගව ජාවාරම, දූෂණයට හවුල් වී ඊට සහාය සලසන රාජ්‍ය නිලධාරීන්ට හා ඝාතකයන්ට එරෙහිව සත්ව නීතිය තුළ හා අපරාධ නීතිය තුළ නෛතික තත්ත්වයන් ඉස්‌මතු කරවා චූදිතයන්ට එරෙහිව අධිකරණ කටයුතු කරමින් මෙම දූෂණය පිටුදැකීමට මහත් පරිශ්‍රමයක්‌ දරමින් ඇය ක්‍රියා කරන්නීය. ඇය විසින් මෙරට අධිකරණය තුළ පවත්වාගෙන යන නඩු සංඛ්‍යාව 40 කට අධික වෙයි. සත්ව නීතියේ ප්‍රතිපාදන ඉස්‌මතු කරවා, එම නීතිය අධිකරණයේ පණගන්වා පුළුල් නෛතික වැඩපිළිවෙළක්‌ මේ වන විට ඇයගේ ශක්‌තිය මත ක්‍රියාත්මක වේ. මේ සියල්ල තුළ පොලිසිය සක්‍රිය කරවා පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යළි ඉස්‌මතු කරවීම දූෂණය පිටුදැකීමට මේ වන විට පුළුල් කාර්ය භාරයක්‌ ඉටුකර ඇත. මේ සියල්ල පුළුල් විමර්ශනයට ලක්‌ කරනු ලැබූ ට්‍රාන්ස්‌ පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය විසින් මෙරට දූෂණය පිටුදැකීමට ඉටු කරනු ලැබූ ජාතික මෙහෙවර අගයා ඇයට "ජාතික සුපිළිපන් සම්මානය" පිරිනැමීමට කටයුතු කර ඇත.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.