මහජන බැංකුව ශ්‍රී ලංකා
ටෙලිකොම් මොබිටෙල් සමාගම හා එක්‌ව
SMS බැංකු සේවාව ක්‍රියාත්මක කරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක්‌ වන මහජන බැංකුව, ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ පුරෝගාමී තවත් රාජ්‍ය ආයතනයක්‌ වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම හා එක්‌ව SMS බැංකු සේවාව People's  SMS Banking නමින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

මේ පිළිබඳව මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැති සමාරම්භක උත්සවය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි පී. වී. පතිරණ මහතා ඇතුළු ආයතනික කළමනාකාරිත්වය හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපතිනි ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය හා එහි ප්‍රධාන විධායක නිලධාරි සුරේන් ඡේ. අමරසේකර මහතා ඇතුළු නිලධාරි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි /සාමාන්‍යාධිකාරි පී. වී. පතිරණ මහතා වර්තමානයේ තොරතුරු තාක්‍ෂණය තුළ ලොව පුරා බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රය විශාල දියුණුවක්‌ ලබා ඇති අතර, අද දවසේ බැංකු කටයුතු මුදල් ගණන් කිරීම්, ගොඩනැගිලි හා ලිපි ද්‍රව්‍ය රහිත බැංකු කාර්යයක්‌ බවට පත්වී ඇති බවද ප්‍රකාශ කළේය. මහජන බැංකුව ද ජනතාව වෙත තොරතුරු තාක්‍ෂණයේ උපරිම ඵල ලබාදීමට කටයුතු කරගෙන යන අතර, වසරේ දින 365 පුරාම හා දවසේ පැය 24 තුළම බැංකු සේවාවන් සැලසීම සඳහා කටයුතු කරගෙන යන බව පැවසීය. එහි තවත් පියවරක්‌ ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම හා එක්‌ව ක්‍රියාත්මක කෙරෙන කෙටි පණිවිඩ බැංකු සේවාව තුළින් අපගේ ගනුදෙනුකරුවනට තම බැංකු සේවාවන් වඩාත් පහසුවෙන් හා කාර්යක්‍ෂමව කරගෙන යැමට අවස්‌ථාව උදාවනු ඇති බවද වැඩිදුරටත් පැවසුවේය.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.