1931 සිට අද දක්‌වා පවතින ඡන්ද කොට්‌ඨාස -24 දැදිගම
ඩඩ්ලි හත්වරක්‌ දිනූ දැදිගම


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පටන්ම එනම් 1931 සිටම දැදිගම ආසනය පවතී. මෙම ආසනයේ ආරම්භයත් සමග මහා පරාක්‍රමබාහු රජතුමාගේ ජන්ම භූමිය වන බෙලිගල් කෝරළයද අයත්වූවා පමණක්‌ නොව ඓතිහාසිකව වටිනා කොටවෙහෙර සල්ගල ආරණ්‍යයද ඇතුළත් විණි. ශ්‍රී ලංකාවේ සිවු වරක්‌ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඩඩ්ලි සේනානායක මහතා හත්වරක්‌ ජයගත් දැදිගම ආසනය 1931 සිට නොයෙකුත් වාර්තා තබා ඇත.

1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී "දැදිගම" ආසනයට ඉදිරිපත් වූ ඒ. ඇස්‌. මොලමුරේ (පසුව සර් ප්‍රැන්සිස්‌) මහතා පත්වූයේ නිතරගයෙනි. ඒ මහතා ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල්ම කතානායක ලෙස පත්වීම නිසා වාර්තාවක්‌ තැබීය. පසුව සර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතාට 1934.12.10 වන දින කථානායක ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ මහතා මාස 3 ක්‌ නොකඩවා නිවාඩු ලබා නොගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට නොපැමිණීම නිසා 1935.09.04 දින සිට දැදිගම මන්ත්‍රී ධුරයද අහෝසි විය. නමුත් දැදිගම අසුන වෙනුවෙන් අතුරු මැතිවරණයක්‌ නොපවත්වාම ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමට යෙදිණි.

1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී සර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතා තරගයට ඉදිරිපත්ව සිටියේ නැත. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිඡ් සරසවියේ අධ්‍යාපනය හදාරා අධිනීතිඥවරයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඩඩ්ලි සේනානායක මහතා මුලින්ම දැදිගම ආසනයට තරග කළේ මෙම 1936 මැතිවරණයේදීය. ඒ වන විට ඒ මහතා 24 වන වියේ පසුවිය. ඩඩ්ලි සේනානායක මහතා සමග තවත් සිවුදෙනෙක්‌ තරග කළහ. එනම් පසු කාලයේ තැපැල් ඇමැතිවරයකු වූ රඹුක්‌කන ඇන්. එච්. කීර්තිරත්න, රිචඩ් නුගවෙල, පී. බී. දැදිගම හා මුදලිඳුගේ ඩබ්ලිව්. උදලාගම යන සිවුදෙනා වූහ. නමුත් තරගය තිබුණේ ඩඩ්ලි සේනානායක මහතා සහ ඇන්. එච්. කීර්තිරත්න මහතා අතරය. මෙහිදී ඡන්ද 17045 ක්‌ ගත් ඩඩ්ලි සේනානායක මහතා ඇන්. එච්. කීර්තිරත්න මහතා පරදවා වැඩි ඡන්ද 8299 කින් පළමු වැනි වතාවට දැදිගම මන්ත්‍රී ලෙස ජයග්‍රහණය කළේය. එම මැතිවණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ බාලම මන්ත්‍රීවරයකු ලෙස ඩඩ්ලි සේනානායක මහතා වාර්තාවක්‌ තැබීය. පසුව ඒ මහතා එම මන්ත්‍රණ සභාවේ කර්මාන්ත, වෙළෙඳාම්, කම්කරු විධායක කාරක සභාවේ ධුරයකටද පත්විය.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී දැදිගම ආසනයට ඩඩ්ලි සේනානායක මහතා එ.ජා.පක්‌ෂයෙන් ඉදිරිපත් වූ විට ඔහුගේ එකම ප්‍රතිවාදියා වූයේ ල.ස.ස. පක්‌ෂයෙන් ඉදිරිපත්වූ සමසමාජ පක්‌ෂයේ මුල් මන්ත්‍රීවරයා වන බී. ඡේ. ප්‍රනාන්දු මහතාය. මෙහිදී ඡන්ද 20170 ගත් ඩඩ්ලි සේනානයක මහතා බී. ඡේ. ප්‍රනාන්දු මහතා පරාජය කොට වැඩි ඡන්ද 16862 කින් දෙවන වතාවටත් දැදිගම මන්ත්‍රී ලෙස ජයග්‍රහණය ලැබීය. ඉන්පසුව ඒ මහතා ඩී. ඇස්‌. සේනානායක මහතාගේ අමාත්‍ය මණ්‌ඩලයේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්විය. ඒ අනුව ඩඩ්ලි සේනානායක මහතා පාර්ලිමේන්තු යුගය ආරම්භ වීමත් සමග ඇතිවුණු අමාත්‍ය මණ්‌ඩලයේ බාලම අමාත්‍යවරයා ලෙසද වාර්තාවක්‌ තැබීය.

1952 මාර්තු මස 22 දින අග්‍රාමාත්‍යව සිටි ඩී. ඇස්‌. සේනානායක මහතා අභාවප්‍රාප්ත වීම නිසා එම වර්ෂයේ මාර්තු 26 දින ඩඩ්ලි සේනානායක මහතා ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. ඒ සමගම එකල පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ලාබාලම අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඒ මහතා තවත් වාර්තාවක්‌ තැබීය.

1952 මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය වශයෙන් සිටියදී දැදිගම ආසනයට එ.ජා.පක්‌ෂයෙන් ඉදිරිපත් විය. ඒ මහතා සමග තරගයට ල.ස.ස.පක්‌ෂයෙන් හෙක්‌ටර් විඡේතුංග මහතාද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඩැරල් පීරිස්‌ මහතාද ඉදිරිපත් වූහ. දැදිගම ප්‍රතිඵලය අනුව සේනානායක මහතා ඡන්ද 21206 ක්‌ද, විඡේතුංග මහතා ඡන්ද 5647 ක්‌ද, පීරිස්‌ මහතා ඡන්ද 1136 ක්‌ද ලබාගෙන තිබිණි. මේ අනුව ඩඩ්ලි සේනානායක මහතා විශිෂ්ට ලෙස තුන්වන වතාවටත් දැදිගම ආසනය වැඩි ඡන්ද 15559 කින් ජය ගත්තේය. එම 1952 මැතිවරණයෙන් එ.ජා. පක්‌ෂය බලයට පත්වූ නිසා ඩඩ්ලි සේනානායක මහතා 2 වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. නමුත් ඒ මහතා සෞඛ්‍ය හේතූන් නිසා 1953.10.12 වන දින අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය. එහෙත් දැදිගම ආසනයෙන් ඉල්ලා අස්‌වූයේ නැත.

1956 මැතිවරණයේ දී දැදිගම ආසනය තරග කිරීමට ඩඩ්ලි සේනානායක මහතා ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට එ.ජා.පක්‌ෂයෙන් ඉදිරිපත් කළේ පසු කාලයේ ඇමැතිවරියක වූ විමලා කන්නන්ගර මහත්මියයි. ඒ සමගම ම.එ.පෙ. - ශ්‍රී.ල.නි.ප. යෙන් ඉදිරිපත් කළේ ගම් සභාපතිවරයකුව සිටි තරුණයකු වූ එම්. පී. හේරත් මහතාය. ස්‌වාධීනව ඩබ්ලිව්. ඒ. මුණසිංහ මහතා ඉදිරිපත් විය. නමුත් තරගය තිබුණේ එ.ජා.ප. ය හා ම.එ.පෙ. - ශ්‍රී.ල.නි.ප. ය අතරය. 1956 මැතිවරණය තිබුණේ 1956 වර්ෂයේ අප්‍රේල් 5, 7, 10 යන දිනවලදීය. අප්‍රේල් 5 හා 7 යන දිනවලදී පැවති ඡන්දයෙන් එ.ජා. පක්‌ෂය ස්‌ථිර ලෙසම පරාජයට පත්වී තිබිණ. මෙම පරාජයේ සුළඟ දැදිගම ආසනයටත් හමා ආවේය. දැදිගම ඡන්ද විමසීම තිබුණේ 1956 අප්‍රේල් 10 වනදාය. මෙහිදී ඡන්ද 28816 ක්‌ ගත් ඇම්. පී. හේරත් මහතා විමලා කන්නන්ගර මහත්මිය පරදවා වැඩි ඡන්ද 16456 කින් දැදිගම අසුන ජය ගත්තේය. 1959 වර්ෂයේ අග භාගයේදී දිවංගත අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ රජයේ ඇමැතිවරයකුව සිටි පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ රජයෙන් ඉවත් වන විට ඇම්. පී. හේරත් ද ඔවුන් සමග ඉවත් විය. පසුව හේරත් මහතා පිලිප් ගුණවර්ධන නායකත්වයෙන් පිහිටු වූ නව මහජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ විය.

1960 මාර්තු මැතිවරණයේ දී ඇම්. පී. හේරත් මහතා දැදිගම අසුන තරග කළේ මෙම නව ම.එ. පෙරමුණෙන්ය. යළිත් එ.ජා.පක්‌ෂයේ නායකත්වයට පත්වී සිටි ඩඩ්ලි සේනානායක මහතා එම පක්‌ෂයෙන්ද, පසු කාලයේ ඇමැතිවරයකු වූ අතාවුද සෙනෙවිරත්න මහතා ල.ස. සමාජ පක්‌ෂයෙන්ද 1956 මැතිවරණයේදී ස්‌වාධීනව දැදිගම අසුනට ඉදිරිපත්වූ ඩබ්ලිව්. ඒ. මුණසිංහ මහතා ශ්‍රී.ල.නි. පක්‌ෂයන්ද දැදිගමට තරග කළහ. මැතිවරණ ප්‍රතිඵලය අනුව එ.ජා. පක්‌ෂය ඡන්ද 12208 ක්‌ද, ශ්‍රී.ල.නි.ප. ඡන්ද 5629 ක්‌ද, ල.ස.ස.පක්‌ෂය ඡන්ද 4383 ක්‌ද, ම.එ.පෙරමුණ ඡන්ද 2289 ක්‌ද ලබාගෙන තිබිණි. මේ අනුව එජාප නායකව සිටි ඩඩ්ලි සේනානායක මහතා වැඩි ඡන්ද 6579 කින් සිවුවන වතාවටත් දැදිගම අසුන දිනා ගත්තේය. පසුව ඒ මහතා එ.ජා.ප. රජයක්‌ පිහිටුවා තුන්වන වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. නමුත් මෙම ම.එ.ප. රජය 1960 අප්‍රියෙල් 22 දින පැවැත්වූ රාජාසන කතා ඡන්දයෙන් පැරදිණි. මේ නිසාම පාර්ලිමේන්තුව විසුරුවා හැර 1960 ජූලි 20 වන දින මැතිවරණයක්‌ පැවැත්වීමට තීරණය විණි.

1960 ජූලි මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මහතා අගමැති වශයෙන් හා එ.ජා.ප. අපේක්‌ෂකයා ලෙස දැදිගම අසුනට ඉදිරිපත් වූ විට ඊට පෙර පැවති මැතිවරණයේදී ඔහු හා සමග තරග කළ ප්‍රතිවාදී අපේක්‌ෂකයන් තිදෙනාම ඉදිරිපත් නොවූහ. ඔහුගේ එකම ප්‍රතිවාදියා වූයේ ශ්‍රී.ල.නි.ප. යෙන් තරග කළ ලංකාදීප පත්‍ර ආයතනයේ (වර්තමාන ලංකාදීප ආයතනයේ නොවේ) නියෝජ්‍ය කතුවරයකු ලෙස සිටි අධිනීතිඥ රත්න දේශප්‍රිය සේනානායක මහතා ය. දැදිගම ආසනය තුළ උණුසුම් සටනක්‌ තිබිණි. ඊට වඩාත්ම හේතු වූයේ දෙපිලක්‌ අතර සටනක්‌ වීමම නොවේ. 1960 මාර්තු මැතිවරණයේ දැදිගම ප්‍රතිඵලය අනුව ඩඩ්ලි සේනානායක මහතා ඡන්ද 12208 ක්‌ ලබන විට ඔහුට විරුද්ධව ඡන්ද 12301 ක්‌ (ප්‍රතිවාදීන් තිදෙනාගේම ඡන්ද එකතුව) ලැබීමය. මේ අනුව දැදිගම ආසනයේ එ.ජා.ප. විරෝධී වැඩි ඡන්ද සංඛ්‍යාව 93 ක්‌ විය. මේ නිසාම එ.ජා. පාක්‌ෂිකයන් තුළ තම පක්‌ෂයේ නායකයාගේ ජයග්‍රහණය ගැන සැකයක්‌ තිබිණි. කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායක මහතා ඡන්ද 13340 ක්‌ ගෙන රත්න දේශප්‍රිය සේනානායක (ශ්‍රී.ල.නි.ප.) මහාත පරදවා වැඩි ඡන්ද 1657 කින් දැදිගම මන්ත්‍රී ලෙස පස්‌වන වතාවටත් ජය ගත්තේය. නමුත් එම මැතිවරණයේ දී එ.ජා.පක්‌ෂය පැරදුණු නිසා ඩඩ්ලි සේනානායක මහතාට හිමිවූයේ විපක්‌ෂ නායක ධුරයයි.

1965 මැතිවරණයේ දී ඩඩ්ලි සේනානායක මහතා එ.ජා.පක්‌ෂයෙන් දැදිගම අසුනට ඉදිරිපත් වූ විට නැවතත් ශ්‍රී.ල.නි.පක්‌ෂයෙන් ඉදිරිපත් වූයේ ස.තො.ස. සභාපති ලෙස සිටි රත්න දේශප්‍රිය සේනානායක මහතාය. ඒ අවස්‌ථාවේදී ද දැදිගම ආසනය දෙස මුළු රටේම අවධානය යොමුවී තිබිණ. නමුත් ඡන්ද 17987 ක්‌ ගත් ඩඩ්ලි සේනානායක මහතා රත්න දේශප්‍රිය සේනානායක (ශ්‍රී.ල.නි.ප.) මහතා පරදවා වැඩි ඡන්ද 3429 කින් හයවන වතාවටත් දැදිගම මන්ත්‍රී ලෙස ජය ගත්තේය. එම මැතිවරණයෙන් පසුව ඒ මහතා සිවුවන වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේය.

1970 මැතිවරණයේ දී අගමැති වශයෙන් සිටි ඩඩ්ලි සේනානායක මහතා එ.ජා.ප. අපේක්‌ෂකයා ලෙස දැදිගම ආසනයට ඉදිරිපත් වූයේය. එවර ඔහුගේ එකම ප්‍රතිවාදියා වූයේ රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ සොහොයුරු අධිනීතිඥ ධර්මසිරි සේනානායක මහතාය. එම මැතිවරණයේ දී රත්න දේශප්‍රිය සේනානායක මහතා "මින්නේරිය" ආසනය තරග කළ අතර ජයග්‍රහණයද ලැබීය. වෙන කිසිදාක නොවූ විරූ තරම් තියුණු සටනක්‌ දැදිගම ආසනයේ දක්‌නට ලැබිණි. 1970 මැතිවරණයේ දී එ.ජා.පක්‌ෂයට විශාල පරාජයක්‌ අත්වූ නමුත් කෙසේ හෝ ඡන්ද 19513 ක්‌ ගත් එ.ජා.ප. නායක හා අග්‍රාමාත්‍යව සිටි ඩඩ්ලි සේනානායක මහතා වැඩි ඡන්ද 1067 කින් ධර්මසිරි සේනානායක (ශ්‍රී.ල.නි.ප.) මහතා පරදවා දැදිගම අසුන හත්වන වතාවටත් ජය ගත්තේය. මැතිවරණයෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා තමාට අනිවාර්යයෙන්ම හිමිවීමට තිබුණු විපක්‌ෂ නායක ධුරය පක්‌ෂයේ උප නායක

ඡේ. ආර්. ජයවර්ධන මහතාට දීමට තරම් පරිත්‍යාගශීලී විය. තනතුරුවලට ලොල් නොවූ මේ ශේ්‍රෂ්ඨ ජන නායකයා හදිසියේම රෝගාතුර වීම නිසා 1973 අප්‍රේල් මස 13 වන දින සිංහල අලුත් අවුරුද්ද උදාවීමත් සමග අභාවප්‍රාප්ත වූයේය.

එම නිසා 1973.07.09 වන දින දැදිගම ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක්‌ පැවැත්වීමට තීරණය විණි. මෙම අතුරු මැතිවරණයට එ.ජා.පක්‌ෂයෙන් ඉදිරිපත් කළේ ඩඩ්ලි සේනානායක මහතාගේ ඥති පුත්‍රයකු වන පසු කාලයේ ඇමැතිවරයකු වූ රුක්‌මන් සේනානායක මහතාය. ශ්‍රී.ල.නි.පක්‌ෂයෙන් ඉදිරිපත් කළේ 1970 මැතිවරණයේදීත් තරග කළ ධර්මසිරි සේනානායක මහතාය. (ඔහු පසු කාලයක ශ්‍රී.ල.නි.ප. ලේකම් ධුරයටත් ඇමැති ධුරයකටත් පත්වුණි) ඊට අමතරව සිරිසේන රාජපක්‌ෂ හා සුගතදාස ජයසිංහ යන දෙදෙනා තරග කළ නමුත් ඔවුහු ප්‍රබලයන් නොවූහ. මෙම අතුරු මැතිවරුණයේ තරගය තිබුණේ එ.ජා. පක්‌ෂය හා ශ්‍රී.ල.නි. පක්‌ෂය අතර පමණි. මැතිවරණ ඉතිහාසයේ තද භීෂණයක්‌ හට ගත්තේ දැදිගම අතුරු මැතිවරණයේදීය. එමෙන්ම ඡේ. ආර්. ජයවර්ධන මහතා එ.ජා.ප. නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දුන් පළමු අතුරු මැතිවරණයද මෙය විය. මෙහිදී ඡන්ද 23306 ක්‌ ගත් රුක්‌මන් සේනානායක (එජාප) මහතා ධර්මසිරි සේනානායක (ශ්‍රීලනිප) මහතා පරදවා වැඩි ඡන්ද 4509 කින් දැදිගම මන්ත්‍රී ලෙස ජය ලැබීය.

නමුත් 1975 වර්ෂය වන විට ඡේ. ආර්. ජයවර්ධන මහතා හා රුක්‌මන් සේනානායක මහතා අතර ගැටුම් ඇතිවිය. මෙම ගැටුම් වඩාත්ම උග්‍ර වූයේ 1975.07.18 වන දින පවත්වන්නට යෙදුණු දකුණු කොළඹ අතුරු මැතිවරණය තුළින්ය. මේ නිසාම රුක්‌මන් සේනානායක ජිනදාස නියතපාල, ඡේ.ආර්.පී. සූරියප්පෙරුම ආදී ප්‍රබල පිරිසකට එ.ජා.ප. යෙන් ඉවත් වීමට සිදුවූහ. ඔවුහු "ඩඩ්ලි පෙරමුණ" නම් නව දේශපාලන සංවිධානය පිහිටුවූහ. නායකත්වයට පත්වූයේ රුක්‌මන් සේනානායක මහතාය. නමුත් 1977 මැතිවරණයට පෙර එම "ඩඩ්ලි පෙරමුණ" විසුරුවා හැරිණි. 1977 මැතිවරණයට රුක්‌මන් සේනානායක මහතා ඉදිරිපත් නොවීය.

මේ අතර රුක්‌මන් සේනානායක මහතා එ.ජා.ප. යෙන් ඉවත් කිරීමෙන් පසු දැදිගම අසුනේ හිස්‌වූ එ.ජාප. සංවිධායක ධුරයට පත්කර තිබුණේ මහනුවර දළදා මාළිගාවේ "දියවඩන නිළමේ" තනතුර දැරූ නිශ්ශංක විඡේරත්න මහතාය.

1977 මැතිවරණයේ දී දැදිගම ආසනයට එ.ජා.පක්‌ෂයෙන් නිශ්ශංක විඡේරත්න මහතා ඉදිරිපත් කළ විට ශ්‍රී.ල.නි.පක්‌ෂයෙන් නැවතත් ඉදිරිපත් කළේ ධර්මසිරි සේනානායක මහතාය. ඒ සමග ල.ස.ස.පක්‌ෂයෙන් එම්. ඡේ. ඇම්. රත්නායක මහතාද ස්‌වාධීනව ආර්. ඒ. වික්‌ටර් රාජපක්‌ෂ සහ ඒ. ආර්. විඡේරත්න දෙදෙනාද ඉදිරිපත් වූහ. නමුත් තරගය තිබුණේ එ.ජා.ප. ය හා ශ්‍රී.ල.නි.ප. ය අතරය. ඡන්ද 24436 ක්‌ ගත් නිශ්ශංක විඡේරත්න (එ.ජා.ප.) මහතා ධර්මසිරි සේනානායක (ශ්‍රී.ල.නි.ප.) මහතා පරදවා වැඩි ඡන්ද 6732 කින් දැදිගම ආසනය ජයග්‍රහණය කළේය. ඉන්පසුව ඒ මහතා ඡේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරයටත් පසුව අධිකරණ අමාත්‍ය ධුරයටත් පත්වූයේය.

1989.02.15 දින පැවැත්වූ මැතිවරණය තිබුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. නිශ්ශංක විඡේරත්න මහතා එම මැතිවරනයට ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට එ.ජා.පක්‌ෂයෙන් ඉදිරිපත් වූයේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජයේ අමාත්‍ය ධුරයකට පත්වූ නිශ්ශංක විඡේරත්න මහතාගේ පුත්‍රයෙකු වන මනෝ විඡේරත්න මහතාය. ඒ මහතා 1977 මැතිවරණයේ දී එ.ජා. පක්‌ෂයේ ලැයිස්‌තුවෙන් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළේය. ධර්මසිරි සේනානායක මහතාද ශ්‍රී.ල.නි.ප. ලැයිස්‌තුවෙන් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කළේය. ඔවුන් දෙදෙනාම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීන් ලෙස පත්විය. නමුත් පෙර පරිදි දැදිගම ආසනයට වෙනමම මන්ත්‍රීවරයෙක්‌ පත් වූයේ නැත.


නන්දලාල් වාකිස්‌ට

 

 

 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.