රට කඩ ඉමක!

ජනතා විමුක්‌ති පෙරමුණ දෙවන වරට සංහාරයට ලක්‌කර වසර විස්‌සක්‌ සපිරෙන මේ අවුරුද්දේදී එම පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ දේශපාලන වශයෙන් අත්වැල් බැඳගැනීම සුවිශේෂ සිද්ධියකි. එසේම දවසේ පැය විසිහතර පුරාම යුද්ධයට විරුද්ධව කතා කළ දෙමළ ජාතික සන්ධානය හෙවත් ප්‍රභාකරන්ගේ පාර්ලිමේන්තු කණ්‌ඩායම ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය පළ කිරීමට තීරණය කිරීම ද සුවිශේෂ සිද්ධියකි. ජාතිවාදී මළකඩවලින් හිස පුරවා ගත් දෙමළ ජාතික සන්ධානය අද උදේ පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබිණි. අප මෙය ලියන්නේ ඒ පුවත්පත් සාකච්ඡාවේ කියෑවුණු කරුණු පිළිබඳ තොරතුරු නොදැන ය. දෙමළ ජාතික සන්ධානය කිසියම් ප්‍රගතිශීලී පියවරක්‌ ගැනීමට කටයුතු කරන්නේ නම් අපි ද එයට එකඟ වෙමු.

එය ප්‍රතිගාමී මතයක්‌ නම් මේ රට යළිත් වරක්‌ දෙකඩ වනු දැකීමට නොකැමැති ජනයා සියලු ජාතික බලවේග සමඟ එක්‌ව එයට උත්තර බඳිනවා ඇත. මේ රටේ ඉදිරි දේශපාලනය ඉතා අනතුරුදායක තත්ත්වයක පවතී. හතරවන ඊළාම් යුද්ධයේදී නන්දිකඩාල් කලපුවේදී වෙඩි වැදුණේ ප්‍රභාකරන්ට පමණක්‌ නොවේ. මේ රටේ ඒකීයත්වයට එරෙහි විජාතික බලවේගවලටත් එම වෙඩිල්ල වැදින. එම වෙඩි පහරින් ප්‍රභාකරන් මැරී වැටුණත් විජාතික බලවේග මැරී වැටුණේ නැත. ඔවුහු තවමත් ජීවත් වෙති. මේ රට කැඩීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ඉදිරියේදී කටයුතු කරනවා ඇත. එය පැරදවීම සඳහා පළපුරුදු දේශපාලන නායකත්වයක අවශ්‍යතාව ඇත.

මේ රට තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ජනාධිපතිවරණයේදී මුදල් වැය කරන ආකාරය ගැන විමර්ශනය කිරීමට රජය තීරණය කර තිබේ. වසර 2005 ජනාධිපතිවරණයේදී රාජ්‍ය නොවන සංවිධාන 25 ක්‌ සහන කටයුතු සඳහා වැය කිරීමට පිටරටවලින් ගෙනා මුදල ජනාධිපතිවරණය වෙනුවෙන් වැය කර ඇත. මෙවර මේ රට ජාතික නායකත්වයක්‌ යටතේ වඩාත් ශක්‌තිමත්ව සිටින මොහොතක, එම ශක්‌තිය කඩාකප්පල් කර දැමීම සඳහා එන්. ජී. ඕ. කාරයන් ස්‌වකීය ධන සම්භාරයන් ගලා බස්‌නා ඇළවල් සහ මහ ගංගා සියල්ල ශ්‍රී ලංකාව දෙසට හරවනවා ඇත. ඉන්ෆ්ලුවන්සා වෛරසය අපගේ සිරුරේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය රැවටීම සඳහා විටින් විට සිය ස්‌වරූපය වෙනස්‌ කර ගන්නා පරිදි මේ මුදල් ද විවිධ ස්‌වරූපයෙන් රට තුළට ගලා ඒමට ඉඩ තිබේ. ඇතැම් විට ගංවතුරක්‌ නැතත් ගංවතුර සහනාධාර ලෙසද, නියඟක්‌ නැතත් නියං සහනාධාර ලෙස ද මේ මුදල් මෙහි පැමිණීමට ඉඩ තිබේ. මැතිවරණ පූර්වක ජනමත විචාරණ, සිවිල් සමාජය ශක්‌තිමත් කිරීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණ පැවැත්වීම යනාදී කටයුතු උදෙසා ඩොලර් කෝටි ගණන් මෙහි ළඟා වනවා ඇත.

එහෙත් ස්‌ථිර වශයෙන්ම ඒවා පාවිච්චි වනවා ඇත්තේ නිශ්චිත අපේක්‍ෂකයකු හෝ ජාතික බලවේගයන් පැරදවීම පිණිස ය. බටහිර බලගතු කොටස්‌ එක්‌ව තුන්වන ලෝකයේ ආණ්‌ඩු පෙරළා තමන්ට අභිමත රූකඩ ආණ්‌ඩු බලයට ගෙනා අවස්‌ථා ඕනෑ තරම් තිබේ. ඒ පිළිබඳ කෙටි ඉතිහාසය මෙසේය. 1960 ගණන්වලදී වියට්‌නාමයේ තිබූ ඩීන් ඩියෙම්ගේ රජය ඇමරිකන් රූකඩ ආණ්‌ඩුවකි. එසේම එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වල කාම්බෝජයේ තිබූ හේන් සමරිංගේ රජය ඇමරිකන් රූකඩයකි. ඉරාකයේ සදාම් හුසේන් රජය පෙරළීම සඳහා සී. අයි. ඒ. සංවිධානය අවස්‌ථා කිහිපයකදී කටයුතු කළේය. බුරුමයේ රජය පහ කර අවුන්සාන් සුකී නමැති බටහිරට ගැති මහත්මිය බලයට ගෙන ඒමට එංගලන්තයට හා ඇමරිකාවට ලොකු වුවමනාවක්‌ තිබේ. ඉන්දියාව හා චීනය වැනි රටවලට අත ගැසීමට මේ රටවල් කොයිකත් බිය ය. හේතුව, ඉදිරියේදී ස්‌ථිර වශයෙන්ම මහ බලවතුන් බවට පත්වන මේ රාජධානි දෙක (චීනය දැනටමත් මහ බලවතෙකි,) තරහ කර ගැනීමට බටහිර ලෝකය තුළ කුහක භීතියක්‌ තිබේ.

මේ රටවල් සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු ය. ඒ සඳහා පළපුරුදු උපදේශකවරුන් නොව පළපුරුදු රාජ්‍ය නායකත්වයක්‌ අවශ්‍ය බව අපි නැවතත් කියමු. ජ.වි.පෙ. සහ එ.ජා.ප සුසංයෝගයට මේ රටවල් සමඟ ගනුදෙනු කළ හැකි වීමට ඉඩ තිබේ. එහෙත් ඔවුන් ඒ බව ඔප්පු කර නැත. ඒ බව ඔප්පු කිරීමට වසර 2001 දී එ.ජා.ප. ආණ්‌ඩුව ගත් ප්‍රථම උත්සාහයේදීම ඊළම බිහි වී ශ්‍රී ලංකාවේ ඉතිරි හරිය නෝර්වේ රටේ යටත් විජිතයක්‌ බවට පත්වීමට ගියේය. ඒ නිසා මෙය මේ රටේ අනාගතය විසඳුන තීරණාත්මක මංසන්ධියක්‌ බව සඳහන් කරමු.

 

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.