ඇහැලේපොල වර්ණනාව

සිංහල සාහිත්‍යයේ මහනුවර යුගයේ සාහිත්‍ය නිර්මාණයන් දෙස බලන කල එකී සාහිත්‍ය නිර්මාණයන් රාශියක්‌ම ප්‍රභූ කාව්‍ය වන අතර ඒවා රජුන් හා ප්‍රභූන් මුල් කරගෙන ලියවී ඇති බව පෙනේ. "ඇහැළේපොළ වර්ණනාව" ද එබඳු ප්‍රභූ කාව්‍යයකි. ඇහැළේපොළ අධිකාරම් පිළිබඳ උදාර විවරණයක්‌ මීට ඇතුළත්ව ඇත. මෙම කෘතිය වඩුග හටන" නමින් ද හැඳින්වේ. එම නිසා සමහරු මෙය හටන් කාව්‍ය ගණයේලා ද සලකති. හටන් කාව්‍ය, ප්‍රශස්‌ති කාව්‍ය හා සසඳන විට හටන් කාව්‍යවල මූලික තැන ලැබෙනුයේ යුද්ධයකටය. "වඩුග හටන" නමින් හැඳින්වූවද ඇහැලේපොළ වර්ණනාවේ එබඳු දීර්ඝ හටනක්‌ පිළිබඳ විස්‌තරයක්‌ දක්‌නට නොලැබේ. සමකාලීන හටන් කාව්‍ය වන රාජසිංහ හටන, මහ හටන, ඉංග්‍රීසි හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය හා සසඳන කල ඇහැලේපොළ වර්ණනාව හටන් කාව්‍ය ගණයේ ලා සැලකීම සාවද්‍ය බව පෙනේ.

රජ කෙනකුගේ හෝ වෙනත් ප්‍රභූවරයකුගේ ස්‌තුති මුඛයෙන් වර්ණනා කෙරෙන කෘතීන් ප්‍රශස්‌ති කාව්‍ය ලෙස සැලකේ. රජ කෙනකු මනා පාලන තන්ත්‍රයක්‌ ගෙන යන්නේ නම් ඔහුට ප්‍රශස්‌ති කාව්‍ය ප්‍රබන්ධනය එතරම් වැදගත් නොවේ. එහෙත් යම් හෙයකින් රජුගේ බලය පිරිහී සිය රජය බිඳ වැටීමට ලක්‌වන්නේ නම් එබඳු ප්‍රශස්‌ති කාව්‍යයන් ඔවුහු මහත් සේ අගයති පසසති, සම්මානයට ලක්‌ කරති. එබඳු නිර්මාණයන් කළවුනට ගම්බිම් පුද කරති. සිංහල රාජධානියේ මහනුවර සමය පිරිහුණු කාල පරිච්ඡේදයක්‌ විය. එබඳු සමයක රජුටද වන්දිබට්‌ටයන් ලවා සිය ගුණයන් හා වර්ණනයන් කියවා ගැනීම අවශ්‍ය කරුණක්‌ විය. කෙසේ වූවද රජුගේ බලය පිරිහෙන්නට වූයෙන් ඇහැලේපොළ වැනි අය කැරළි ගැසීමට ද පෙළඹුණි.

ශ්‍රී විජය රාජසිංහ අවධිය පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ අවධිය දක්‌වා සිංහලයා පාලනය කළ රජවරු ද්‍රවිඩ නායකයන් ලෙස සැලකේ. ඔවුන්ගේ මවුබිම ඉන්දියාවේ වඩුග දේශයයි. ඒ නිසා ඔවුන් වඩුග රජවරු ලෙස ද හැඳින්වූහ. ඔවුහු ක්‍රමයෙන් සිය බලය තහවුරු කරගත් අතර උඩරට ප්‍රභූන් හා අමනාපකම් ඇති කරගන්නට ද වූහ. මෙම ද්‍රවිඩ රජවරු ලක්‌දිව පාලනය භාරගන්නා විට සිංහල භාෂාවත් බුද්ධාගමත් හොඳින් ආරක්‍ෂා කරන බවට සිංහලයන් හා උඩරට අධිකාරම් හමුවේ ප්‍රසිද්ධියේ පොරොන්දු වූ බව මෙහි සඳහන් වේ. එපමණක්‌ නොව සුරා පානයෙන් හා දූෂණයන්ගෙන්ද ඉවත්වන බවටත් පොරොන්දු දුන් මොවුහු බලය තහවුරු කරගත් පසු දළදා මාළිගාවේ පත්තිරිප්පුව ගැහැණුන් හා මත්පැන් පානය කිරීම සඳහාද යොදා ගති. මෙබඳු දූර්දාන්ත ක්‍රියා නිසා සිංහල ප්‍රභූන් කැරැළි ගසන්නට වූහ. එහෙයින් රජුද තමාට විරුද්ධ සියල්ලන් මරා දමන්නට විය. ඔහු සිංහලයන්ගෙන් පළි ගැනීමට පෙළඹුණ හැටි, ඔවුන්ගේ බලය, ධනය, නැසූ හැටි ඇහැළේපොළ වර්ණනාවෙන් පැහැදිලි කෙරේ. ඇහැළේපොළ අධිකාරම්තුමා රජුට විරුද්ධව කියා කිරීම ආරම්භ කළේ මෙම අමානුෂික ක්‍රියා නිසාය.

ප්‍රශස්‌ති කාව්‍යයක විවිධ වෘත්තයන් අනුගමනය කරමින් කාව්‍ය රචනය කිරීම සුලභ ලක්‍ෂණයකි. සාටෝපීය විචිත්‍රවත් කාව්‍ය ප්‍රබන්ධයක්‌ කිරීම සඳහා කවියකුට විවිධ වෘත්ත බෙහෙවින් ඉවහල් වේ. වැලිගල කවිසුන්දර කවියා විවිධ වෘත්ත ඇහැළේපොළ වර්ණනාව සඳහා අනුගමනය කර ඇත්තේ සාටෝපීය ප්‍රබන්ධකරණය උදෙසාය. මෙහිදී කවියා අසවල් වෘත්තය අනුගමනය කර නැතැයි කිව නොහැකි තරම් වෘත්ත භාවිත කර තිබෙන බව පෙනේ. මෙසේ කවියා විවිධ වෘත්ත යොදාගෙන ඇත්තේ ඇහැළේපොළ අධිකාරම් වර්ණනා කිරීමටත් මෙන්ම ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමන්ව උපහාසට ලක්‌ කිරීමටත්ය. සතුරාව ගර්හාවට ලක්‌කොට වීරයා වර්ණනා කිරීම සඳහා විවිධ වෘත්තයන් අනුගමනය කර ඇති බව පෙනේ.

වැලිගල කවිසුන්දර කවියා සිය කාව්‍ය නිර්මාණය සඳහා අනුගමනය කර ඇති වෘත්ත අතර දීර්ඝ වෘත්ත, පෙදග වෘත්ත, සිලෝ වෘත්ත, සමුද්‍රඝෝෂ වෘත්ත, වන්නම් වෘත්ත, ද්‍රවිඩ විරිත, සින්දු තාල වැනි වෘත්ත රාශියක්‌ම අනුගමනය කරමින් ඇහැළේපොළ වර්ණාව රචනා කොට ඇති බව පෙනේ.

ඇහැළේපොළ යුව රජුගේ වික්‍රමයන් කියා පෑමට කවියා පෙදග වෘත්තය අනුගමනය කර ඇති සැටි ඇහැළේපොළ වර්ණනාවෙහි එන මෙබඳු පද්‍යයන්ගෙන් පෙනේ.

සිරිමත් මේ හිමි සිතුවොත් වැරස ර

මැඩලත්මය මෙරගිරවත් පුවත ර

කිවහොත් පිරුළක්‌ මේයෑයි නිසික ර

දෙවියොත් තුටුවෙත් වසනා ලකතු ර

ඇහැළේපොළ යුවරජ, ප්‍රසිද්ධ වූ මහා මේරූ පර්වතය සියල්ල මැඩපවත්නේද එපරිද්දෙන් මෙතුමා ද සිය සතුරන් මැඩපවත්වන බවද ඊට ලක්‌දිව වාසය කරන දෙවියන් පවා සතුටු වන බවද කවියා පවසයි. මෙසේ කාව්‍ය ආරම්භයේ සිට 16 වන පද්‍ය දක්‌වා පෙදග වෘත්තයට අනුව රචනා කර තිබේ.

මීට පසුව කවියා සිය පද්‍යකරණයේදී සිලෝ වෘත්තය අනුගමනය කර ඇති බව පෙනේ. උපහාසාත්මක කාව්‍ය සඳහා කවියෝ මෙවැනි වෘත්ත යොදා ගනිති.

වසින් සකරජ එක්‌දහස්‌ සත්සියෙ විසිවන වස පෙමා

මෙවන් සිරිලක සතුන් පෙර කළ පවක්‌ පලදෙන විලසමා

නපුන්සක දිටු අරිටු මිසදුටුq කුදිටු දෙමළෙක්‌ රජ වමා

සසුන් වමමැයි කියා සිරිලක නැසී මෙලෙසින් දින හැමා

මෙවැනි කවිවල ශ්‍රී වික්‍රම රාජසිංහ රජ නපුංසකයකු ලෙස හඳුන්වමින් උපහාසයට ලක්‌කොට ඇත. වචනවල ඇති සීමා සහිත ශක්‌තිය වෘත්ත මගින් වැඩි කෙරේ. වැලිගම කවිසුන්දරයන් සිය කාව්‍යකරණය සඳහා වෘත්ත පමණක්‌ නොව එළිසමය හා පුනරුක්‌තිය ආදිය ද බහුලව යොදාගෙන තිබෙන බව දක්‌නා ලැබේ.

ඇහැළේපොල වර්ණනාවේ අර්ථ රසයට වඩා ශබ්ද රසයට තැන දී තිබෙන බව පෙනේ. සමකාලීන වාද්‍ය භාණ්‌ඩවලට අනුකූලව යන කර්ණ රසායන වෘත්ත යොදා ගෙන ඇහැලේපොළ කාව්‍ය ප්‍රබන්ධය කර ඇත. සමකාලීන ව්‍යවහාර භාෂාව කවියට යොදා ගැනීම ප්‍රශස්‌ති කාව්‍යයන්හි විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව වැලිගල කවි සුන්දරගේ ඇහැලේපොළ වර්ණනාවටද බෙහෙවින් සමකාලීන ව්‍යවහාරාත්මක බස ඉවහල් වී ඇති බවක්‌ දැකිය හැකිය. පහත කව් වලින් එය මනාව පැහැදිලි වේ.

වැවක්‌ බඳිමැයි කොටුගොඩැල්ලේ සියක්‌

බඹයක්‌ විතර උස ටම

වැඩක්‌ නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා

ගෙවල් සහ හැම

නොයෙක්‌ රටවල දිසාවල මහ සෙනඟ රැස්‌ කරවා

ගමින් ගම

යමෙක්‌ ලෙස රැක ඉඳන බැම්මට පස්‌ අද්දවන

ලෙසට කර පෙම

ප්‍රසිද්ධ සිංහල වෘත්ත පමණක්‌ නොව පාලි, සංස්‌කෘත, ද්‍රවිඩ වෘත්ත අනුව ලියවුණු පද්‍ය ද මෙහි දැකිය හැකිය. ඇහැළේපොළගේ යසස කීර්තිය පෙන්වන තැන කවියා විවිධ වෘත්ත උපයෝගී කරගෙන ඇත. කර්ණ රසායන වන්නම්, සින්දුතාල, ගීත ආදිය යොදාගෙන ඇත.

සතට සරොස්‌ කර පොරණ උසස්‌ වම නිතර

දවස්‌ හැර බල පෑලා

අරිටු කෙලෙස්‌ ගුණ නපුරු දහස්‌ ඇති දෙමළු නිවෙස්‌

නඟිමින් දෝලා

දෙවන සියෑස්‌ දකිනටම සලස්‌වා පෙර නැගි අස්‌

නට කර පෑලා

යනෙන විලස්‌ පෑ මෙහිමි යසස්‌ රැස බඹතල උස්‌

විය එක ලීලා (109)

විවිධ වෘත්ත අනුගමනයෙන් අවස්‌ථාවෝචිතව කාව්‍ය බන්ධනයෙහි පද ගැලපීමේ හපන් බව වැලිගල කවිසුන්දර කවියාගේ විශේෂ ගුණයකි. ඇහැළේපොළ යුවරජ අශ්වයකු පිට නැගී යැම පිළිබඳව විස්‌තරයක්‌ මෙහි සඳහන් වේ. එය කවියා වර්ණනය කරන්නේ තුරගා වන්නමට අනුවය.

පිම්මෙන් මඳක්‌ ගොසිනි නැම්මෙන් තැනින් තැනෙහි
සන්සුන් ගමන් ඇවිද වා
කිනිකිනික කිනිකකිනි රස හඬිනි වෙත දිවන සෙබළු
කර බිහිරි කරා

ඉක්‌මන් නොවී දෙවනු සක්‌මන් ගමන් යනසෙ
තඬක්‌කිතන් පද ලෙ සේ
දෙපස සිටි කිවිඳු දෙන විරිදු කව් රසය විඳ තොසිනි
ගත මඳ ලෙළි ලෙළී

ආදී පද්‍යයන්ගෙන් ඒ බව පෙනේ. මේ හැර 157 පද්‍යයෙන් ද්‍රවිඩ විරිතද, 267 පද්‍යයෙන් සින්දු තාලද කවියා අනුගමනය කර ඇති සැටි පෙනේ. විවිධ වෘත්ත අනුගමනය කරමින් වැලිගල කවි සුන්දර මුදලි සිය රචනා කළ ඇහැලේපොළ වර්ණනාව මහනුවර යුගයේ පද්‍ය සාහිත්‍ය කෘති අතර සුවිශේෂී කෘතියකි.

ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ
කථිකාචාර්ය බර්ලින් සම්බෝධි ජාත්‍යන්තර
බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, දොරණෑගොඩ සදානන්ද
පිරිවෙන් රාජමහා විහාරාධිපති

ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි

 

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.