ආනවිලුන්දාව

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත් බිම් තුනෙන් දෙවැනිවරට ප්‍රකාශයට පත්කරන ලද තෙත්බිම ආනවිලුන්දාවයි. ලෝක සංරක්‍ෂණ සංගමය (ෂඹCභ) මගින් මෙහි ජෛවවිවිධත්ව, පාරිසරික සහ තෙත් බිම භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ අතර, 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් 1997 ජුනි මස 11 වැනිදා ආනවිලුන්දාව අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.

ආනවිලුන්දාව අභය භූමියෙහි විශාලත්වය හෙක්‌ටයාර් 1357 (අක්‌කර - 3393) කි. මෙම තෙත් බිමෙහි විශේෂත්වය වන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද (එල්ලංගා) වැව් පද්ධතියකින් සමන්විත, කාලයත් සමඟ ස්‌වභාවික තත්ත්වයට පත්වූ තෙත්බිමක්‌ වීමයි. දොළොස්‌වන ශත වර්ෂයේදී එනම්, ක්‍රිස්‌තු වර්ෂ 1140 දී පමණ පළමුවන පරාක්‍රමබාහු කුමරුන් විසින් තමන්ට රජකම ලැබෙන්නට ප්‍රථම මෙහි වැව් පද්ධතියක්‌ නිර්මාණය කර ප්‍රදේශයේ ජලය හා තෙතමනය රඳවාගැනීම පිණිසත්, ඒ මගින් වැඩි කුඹුරු ප්‍රමාණයක්‌ අස්‌වැද්දීම සඳහාත් මෙම වැව් පද්ධතිය කරවා ඇත. වැව් හතක්‌ ඊට ඇතුලත්වන අතර මෙහි ඇති තවත් සුවිශේෂීතාවක්‌ වන්නේ වයඹදිග මහා සාගරයේ සිට මෙම තෙත් බිම දක්‌වා ඇත්තේ කිලෝමීටර් දෙකක්‌ පමණ වීමයි.

ආනවිලුන්දාව වැදගත් පර්යටනික කුරුලු නැවතුම්පළක්‌ වන අතර ඔවුන්ගේ ආහාර බිමක්‌ද වේ.

පිහිටීම

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ පිහිටා ඇත. කොළඹ - පුත්තලම ඒ - 3 ප්‍රධාන මාර්ගයේ හලාවත නගරයේ සිට කිලෝමීටර් 15 ක්‌ උතුරින් කිලෝමීටර් 88-89 අතරදී ආනවිලූන්දාවට ප්‍රවේශ මාර්ග පිහිටා ඇත.

අභයභුමියේ උතුරු මායිම බත්තලුඔය - උඩප්පුව මහා මාර්ගයයි. නැගෙනහිරින් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගය මායිම වන අතර, දකුණු මායිම සෙන්ගල්ඔයයි. බටහිර මායිම පුත්තලම කලපුවේ සිට දකුණට විහිදෙන පැරණි ඕලන්ද ඇළ හෙවත් පාරු ඇළයි.

වයඹ වනජීවී සහකාර අධ්‍යක්‍ෂ කලාපයට අභයභූමිය අයත්ව අතර, ආනවිල්ලුදාව නමින් වනජීවී අඩවියක්‌ ක්‍රියාත්මක වේ.

අභය භූමියට ආසන්න ප්‍රධාන නගරය (කොළඹ සිට) හලාවත නගරය වන අතර, දිස්‌ත්‍රික්‌ ප්‍රධාන නගරය වන පුත්තලම පිහිටා ඇත්තේ පුත්තලම සිට කිලෝ මීටර් 35 ක්‌ උතුරිනි.

පිවිසීම

සංචාරක ආකර්ෂණය දිනාගත්, සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර නිකේතනයක්‌ බැවින් සැලකිය යුතු සංචාරක පිරිසක්‌ මෙහි නිතිපතා පැමිණෙති. අභ්‍යභූමියක්‌ බැවින් මෙහි ඇතුළුවීම සඳහා මුදල් අයකිරීමක්‌ සිදු නොකෙරේ. එබැවින් නිශ්චිත ප්‍රවේශ දොරටුවක්‌ද නැත. අභයභූමිය තුළ ගම්මාන පිහිටා ඇති බැවින් ඒ සඳහා ඇති ප්‍රවේශ මාර්ගවලින් අභය භූමිය තුළට පැමිණිය හැකිය.

හලාවත - පුත්තලම මාර්ගයේ ආනවිලුන්දාව දුම්රිය ස්‌ථානය අසලින් ඇති මාර්ගය ප්‍රධාන පිවිසුම් මාර්ගය වේ. එම මාර්ගයේම මයියාව මන්සන්ධියෙන්ද ප්‍රවේශ මාර්ගයක්‌ පවතින අතර පාරු ඇළ ඔස්‌සේද මෙහි ළඟාවිය හැකිය.

පහසුකම්

අභයභුමිය තුළ රජයේ සංචාරක නිවහන් හෝ කඳවුරුබිම් යනාදී කිසිදු නවාතැන් පහසුකමක්‌ නැත. හලාවත - ආරච්චිකට්‌ටුව - බංගදෙනිය - පුත්තලම වැනි ප්‍රදේශවල ඒ සඳහා පහසුකම් ඇත. ආපනශාලා, ප්‍රවාහන, රෝහල්, ඉන්ධ හල්, වෙළඳසල් යනාදී අවශ්‍යතා හලාවත - පුත්තලම ආශ්‍රිත ප්‍රදේශවලදී සපයා ගැනීමේ පහසුකම් ඇත.

තෙත්බිම තුළ ප්‍රවේශ මාර්ග

ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන ආනවිලුන්දාව මංසන්දියෙන් ඇරඹෙන මාර්ගය ඔස්‌සේ ආනවිලුන්දාවවැව - ඉහළවැව - ඉරක්‌කවෙල - පිහිනි එඹ සොරොව්ව ඔස්‌සේ යළිත් උතුරු දෙසින් හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණිය හැකිය. එසේම,

ආනවිලුන්දාව වැව් බැම්මේ සිට සුරුවිල වැව් බැම්ම මතින් සුරුවිල - ගනේගොඩ ගම්මානය හා වෙල්යාය මැදින් පාරු ඇළ දක්‌වා (මුතු පංතිය ධීවර ගම්මානය) තවත් ප්‍රවේශ මාර්ගයකි.

සුරුවිල වැව් බැම්මේ සිට තවත් ප්‍රවේශ මාර්ගයක්‌ සුරුවිල වැව් බැම්ම මතින් මයියාව වැව දක්‌වා ගමන් කරයි. සුරුවිල හා මයියාව වැව් අතරින් පවතින එකම වැව් බැම්ම මතින් මයියාව හන්දිය දක්‌වා තවත් ප්‍රවේශ මාර්ගයක්‌ වැටී ඇත. මයියාව - සුරුවිල වැව් බැමි සන්දියේ සිට විහිදයන මයියාව වැව් බැමි මාර්ගය එම වැව වටකොට සෙංගල්ඔයට සමීපව ගොස්‌ බෝගහවැටිය ඔස්‌සේ නැවත හලාවත - පුත්තලම් මාර්ගයට සම්බන්ධවේ.

භෞතික ලක්‍ෂණ

පූර්ණ තෙත්බිමකි. එල්ලංගා වැව් පද්ධතියකට අයත් මෙහි වැව් හතක්‌ හඳුනාගත හැකි අතර ප්‍රධාන වැව් පහකි. උතුරේ සිට දකුණට ඒවා පිංකට්‌ටිය, මරදන්සෝල, ආනවිලුන්දාව, සුරුවිල හා මයියාව එම වැව් පහයි. අමතරව වෙල්ලාවෙල (වෙදාගේවැව) ඉරක්‌කාවෙල හෙවත් ඉහළවැව යනුවෙන්ද කුඩා වැව් දෙකකි. එගොඩවැව හා ඉහළවැව නමින් වූ කුඩා වැව් අද වෙල් බවට පත්ව තිබේ.

මේ සුවිශේෂී එමෙන්ම විශිෂ්ට වාරි ව්‍යාපාරය හේතුවෙන් නිර්මාණය වී ඇති තෙත්බිම වැව්වලින් ඔබ්බටද පැතිර පවතින්නේ වැව් දිය ගලායැම හේතුවෙනි. මෙම සමස්‌ත දියරැඳවුමට අමතරව සුවිසල් කුඹුරු යායක්‌ද අභයභූමියට අයත්වන අතර බටහිර මායිම් ප්‍රදේශයේදී ලවණහැල් දක්‌නට ලැබේ. පාරු ඇළ ද, සෙංගල්ඔය හා බත්තුලුඔයද අභයභූමියේ වැදගත් ජලධාරා වන අතර සෙංගල්ඔයෙන් හැරවෙන ඇළමාර්ගද මීට ජලය ගෙන එයි. පහිනිඑබ සොරොව්ව මගින් බෙදාහැරෙන ජලයෙන් මෙම වැව් පෝෂණය ලබන අතර, රතඹලාඔය ෙද්‍ර`ණියේ වර්ග කිලෝ මීටර් 215 ක පමණ ප්‍රදේශයකින් ජලය මීට ගලා එයි. වැසි සමයේදී දැදුරුඹය ඔස්‌සේ ජලය ලබන වාරි ඇළකින්ද ආනවිලුන්දාව තෙත් බිම පෝෂණය වෙයි.

සමස්‌ත තෙත් බිම නොගැඹුරු වැව් පද්ධතියකින් සමන්විත වන බැවින් උපරිම ගැඹුරු මීටර් 4 - 5 ක්‌ වේ.

වැව් පද්ධතිය හෙක්‌ටයාර් 200 ක තරම් ප්‍රමාණයක පැතිර පවතින අතර මේ මගින් අස්‌වැද්දෙන, අභයභූමිය තුළ පිහිටි කුඹුරු අක්‌කර ප්‍රමාණය හෙක්‌ටයාර් 415 ක්‌ පමණ වේ. වෙන් වෙන් වශයෙන් ගත්කළ ආනවිලුන්දාව - අක්‌කර 300, සුරුවිල අක්‌කර - 210, මයියාව අක්‌කර 200 හා පිංකට්‌ටිය, මරදන්සෝල අක්‌කර 300 ක්‌ වශයෙන් කුඹුරු ව්‍යාප්තව පවතී.

පහතරට වියළි කලාපය තුළ පිහිටා ඇති බැවින් මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 - 1500 කි. වැඩිම වර්ෂාපතනය ඔක්‌තෝබර් - දෙසැම්බර් කාලයේදී ඊසානදිග මෝසම් වර්ෂාවෙන් ලැබෙන අතර, මාර්තු අප්‍රේල් සමයේදී නිරිතදිග මෝසම් වර්ෂාවෙන්ද තරමක වැසි ලැබේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටි්‍රගේ්‍රඩ් අංශක 26 කි. උපරිම මාසික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 34 ක්‌ හා අවමය 21 ලෙස වාර්තාවේ. (ෂඹCභ - DඋඛC ආනවිලුන්දාව අභය භූමිය හා රැම්සා තෙත්බිම පත්‍රිකාව)

අතීත තොරතුරු

ආනවිලුන්දාව ප්‍රදේශය ආශ්‍රිතව ලන්දේසි යුගයේදී විවිධ ක්‍රියාකාරකම් සිදුවූ බව පෙනෙන්නට තිබේ. පුත්තලම කලපුව ආශ්‍රිතව ලන්දේසින්ගේ ප්‍රධාන නැංගුරම් පොළ පිහිටා තිබූ අතර, රටතුළ බඩු ප්‍රවාහනය සඳහා ඔවුහු පුත්තලම සිට කොළඹ කැලණි ගංගාව දක්‌වා කෘත්‍රීම ඇළ මාර්ගයක්‌ තැනූහ. මෙම ඕලන්ද ඇළ (පාරු ඇළ) අද ආනවිලුන්දා අභයභුමියේ එක්‌ මායිමකි.

ඉංග්‍රීසින්ගේ පාලනයෙන් පසු මෙම ප්‍රදේශය බොහෝදුරට වල්වැදී, වාරිමාර්ග විනාශව කුඹුරු පුරන්ව පැවැති අතර, ඩී. එස්‌. සේනානායක යුගයේදී ඒවා යළිත් ප්‍රතිසංස්‌කරණයට ලක්‌ව කෘෂිකාර්මික නවෝදයක්‌ මෙහි ඇතිවිය. දැදුරුඔය ඔස්‌සේ ආනවිලුන්දාවට නිර්මාණය වුණු ඇළමාර්ග ප්‍රතිසංස්‌කරණය වූ අතර සෙංගල්ඔය ගොවි ජනපද ව්‍යාපාරය ඔස්‌සේද මීට දියවර ලැබිණි.

එකල මෙහි වල්අලින් බහුලව දිවිගෙවා ඇති අතර, "අලියා එරුණු වළ" යන අර්තයෙන් දෙමළ බසින් ආන උලන්දඩු" ආනඋලන්දන් වී පසුව ආනවිලුන්දාව වූ බව ජනප්‍රවාදයේ එයි.

ඓතිහාසික තොරතුරු

මහාවංශගත තොරතුරු අනුව ගජබා රජ සමයේදී මෙම ප්‍රදේශය නීලමහා අඩවිය ලෙස හඳුන්වා ඇත. ඒ නීලමහා යෝධයා නම් සෙන්පතියා නිසාය. එකල චෝල ආක්‍රමණවලට සාර්ථකව මුහුණ දුන් ගජබා රජු චෝල රාජ්‍යයට එරෙහි බලකඳවුරු මෙහි පවත්වාගෙන ගිය බව සඳහන් වේ.

ක්‍රිස්‌තුවර්ෂ 12 ශතවර්ෂයේදී පරාක්‍රමබාහු කුමරා චෝලයන් පරදවා රජවන්නට මත්තෙන් රට සහලින් ස්‌වයං පෝෂිත කිරීමේ අරමුණින් ගොවිතැන නඟා සිටුවීමේදී ආනවිලුන්දාව එල්ලංගා වැව් පද්ධතිය කරවූ බව ඓතිහාසික වාර්තාවල දැක්‌වේ.

ආරච්චිකට්‌ටුව (ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා අනුව)

එකල ජප්පර නදිය ලෙස හැඳින්වු අද දැදුරුඔය මගින් හා සෙංගල්ඔය මගින් මෙයට ජලය ලබාගෙන ඇත.

ජෛවවිවිධත්වය

ශාක විවිධත්වය හා පරිසර පද්ධති

මිරිදිය තෙත් බිම්, වෙරළබඩ (කිවුල් දිය) තෙත් බිම් හා තෙත් බිම් ආශ්‍රිත භෞතික හා කෘෂිකාර්මික තෙත්බිම් වශයෙන් පරිසර පද්ධති තෙවර්ගයක්‌ ලෝක සංරක්‍ෂණ සංගමය මගින් අධ්‍යයනයට ලක්‌කර ඇත. මිරිදිය තෙත් බිම් යටතේ වැව්වල පාවෙන හා අනෙකුත් ජලජ වෘක්‍ෂලතාදියද, වගුරුබිම් හා ඒ ආශ්‍රිත කලකදී ජලයෙන් යටවන තෘණ භූමිද පන්ශාක සහිත වගුරු බිම්ද අර්ථ දැක්‌වේ.

කිවුල්දිය පරිසර පද්ධති යටතේ කඩොලාන, ලවණහැල් ආශ්‍රිත ජලයෙන් යටවන තෘණබිම්, පාරු ඇළ යනාදිය අයත්වේ.

වැව් බැම්ම ආශ්‍රිත වෘක්‍ෂලතා, ජලයෙන් යටවන කුඩා වනාන්තර, ලඳු කැලෑ, තෘණ බිම්, ඇළමාර්ග ආශ්‍රිත වෘක්‍ෂ ප්‍රජා, කුඹුරු හා අතරමැදිව පිහිටි වෘක්‍ෂලතා, ගෙවතු ශාක යනාදිය භෞමික හා කෘෂිකාර්මික පරිසර පද්ධති යටතට ගැනේ.

අභයභූමිය තුළින් ශාක විශේෂ 264 ක්‌ හඳුනාගෙන ඇත. මේ අතරින් විශේෂ 110 ක්‌ ගස්‌ වර්ග වේ. විශේෂ 54 ක්‌ පඳුරු ශාකය. විශේෂ 68 ක්‌ පැළෑටිද වැල්වර්ග 30 ක්‌ හා අපිශාක දෙකක්‌ද වාර්තාවේ. මුළු ශාක විශේෂ අතරින් 22 ක්‌ ජලාශ්‍රිත වේ. ඖෂධ ශාකද බහුලව හමුවන අතර, මෙහිදී හමුවන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි. දේශීය තර්ජනයට ලක්‌වූ කෙකටිය විශේaෂ, හා කළුවර ශාකයද මෙහිදී වාර්තාවේ.

සත්ව විවිධත්වය

අභයභූමිය තුළින් පෘෂ්ඨවංශික ජීවීන් විශේෂ 274 ක්‌ වාර්තාවේ. මෙයින් 237 ක්‌ දේශීය විශේෂ වේ. විශේෂ 37 ක්‌ පර්යවනික පක්‍ෂීන්ය. සමස්‌තයෙන් විශේෂ 10 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයින්ය. 19 ක්‌ දේශීය වශයෙන් තර්ජනයට ලක්‌වු විශේෂය.

මෙහිදී වාර්තාවන මිරිදිය මත්ස්‍යයින් ගණන 29 කි. කිවුල් දිය මත්ස්‍ය විශේෂ 18 ක්‌, උභයජීවී විශේෂ 9 ක්‌, උරග විශේෂ 30 ක්‌, වාර්තාවේ. මෙයින් මගුරා, දංකොළ පෙතියා, ඉපිලකඩයා, ලංකා බැඳි මැඩියා, සහ සිකනලුන් විශේෂ 2 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වේ.

ආනවිලුන්දාව දේශීය පක්‍ෂි විශේෂ 131 කට හා පර්යවනික පක්‍ෂි විශේෂ 37 කට වාසස්‌ථාන හා ආහාර බිමක්‌ ලෙස වැදගත් සේවාවක්‌ සපයයි. ශ්‍රී ලංකාවට ආවේණික වළිකුකුළා, අළු කෑඳැත්තා, හීං කොට්‌ටෝරුවා යන විශේෂ මෙහිදී වාර්තාවේ. පර්යවනික සමයේදී ජලාශ්‍රිත පක්‍ෂීන් විශාල ප්‍රමාණයක්‌ මෙහිදී වාර්තාවේ. සුදු කොකුන්, දියකාවන්, විවරතුඩුවා, නිල්කිතලා, කොරවක්‌කා, බළල්සේරා, සිලිබිල්ලා, වැලිඔලෙවියා, කහකරමල් කිරලා, රත්කරමල් කිරලා, පැස්‌තුඩුවා, පාත්තයින්, වල්තාරාවන්, බහුලව මෙහිදී හමුවේ.

අමතරව ක්‍ෂීරපායින් විශේෂ 20 ක්‌ මෙහිදී වාර්තාවේ. තර්ජනයට ලක්‌වූ විශේෂ වන හඳුන් දිවියා, වල් බළලා, උණහපුළුවා වාර්තාවන අතර ලංකාවට ආවේණික රිළවාද මෙහිදී සුළභව වාර්තාවේ.

තවද සමනල විශේෂ 74 ක්‌ මෙහිදී වාර්තාවන අතර දේශීය වශයෙන් තර්ජනයට ලක්‌වූ සමනල විශේෂ 12 ක්‌ ඒ අතර වේ.

විශේෂ ස්‌තුතිය - වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා එහි ආනවිලුන්දාව අඩවි සහකාර නිලධාරි ගුණසේකර. ආරච්චිකට්‌ටුව, සංස්‌කෘතික නිලධාරි සී. ඩී. රාජකරුණා, රාජකදලුව ගොවිජන සේවා කාර්යාලය, ෂඹCභ ආයතනය හා ප්‍රසාද් පූර්ණමාල් මහතාට)

ජගත් කණහැරආරච්චි
ඡායාරූප:  වාසල සේනාරත්න

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.