දූෂණයේ අතුරු කතාව (1)

දූෂණය සහ වංචාව ප්‍රජාතන්ත්‍රවාදයේ අතරුඵල බවට පත් වීම කිසි ලෙසකින්වත් සිදු විය යුතු නැති බව මහත්මා ගාන්ධි තුමා වරක්‌ පැවැසීය. එහෙත් අවාසනාවකට මෙන් ලෝකයේ හැම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්‌ම සිය දරුවන් ලෙස ආදරයෙන් හදා වඩා ගනු ලබන්නේ දූෂණය සහ වංචාව ය. මේ අවජාතක දරුවන් විසින් ලෝකය විනාශ කරනු ලැබ ඇත. 1970 දී බණ්‌ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණ ආණ්‌ඩුව විසින් "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී" ලේබලය යටතේ දූෂණය හා වංචාව මෙරට දේශපාලනයට හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රපාතය කරා යන සිය කඩිනම් ගමන ආරම්භ කළේය. 1977 දී බලයට පත්වූ එජාප රජය එතැන් පටන් ඉදිරියට ගතවූ දාහත් අවුරුද්ද තුළ එම ගමන වඩාත් කඩිනම් කළේය. අනතුරුව බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ කරගත් සභාග ආණ්‌ඩු කිසිවකට දූෂණය හා වංචාව අතහැර සිය ගමන යැමට නොහැකි විය. අද, ජනාධිපතිවරණයට දින කිහිපයක්‌ පමණක්‌ ඉතිරිව ඇති මේ මොහොතේ විපක්‌ෂය ආණ්‌ඩුවට දමා ගසන්නේ දූෂණ චෝදනා වලිනි.

එම චෝදනාවලට ප්‍රති ප්‍රහාර ගැන ආණ්‌ඩුව එමෙන් දෙගුණයක්‌ භයානක දූෂණ චෝදනා විපක්‌ෂයට එල්ල කරයි. කිසියම් මැතිවරණයක ප්‍රධාන ප්‍රචාරාත්මක සාධකය බවට දූෂණය සහ වංචාව පත්වීම බෙහෙවින් කාලකන්නි තත්ත්වයකි. අපි ඒ කාලකන්නි තත්ත්වය අත් විඳිමින් සිටිමු. ශ්‍රී ලංකාවේ දූෂණ වංචා නැතිනම් රටේ දල දේශීය නිෂ්පාදිතය තවත් සියයට දෙකකින් පමණ ඉහළ නැංවිය හැකි බව ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ළඟදී පැවසීය. එහෙත් ඇමරිකාවද ඉතා දූෂිතය. ළඟ එන මැතිවරණවලදී ඇමරිකානු ධනවතුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ධවල මන්දිරය තුළ ඔවුනට සාද - සම්භාෂණ පැවැත්වීමට ඇමරිකානු ජනාධිපතිතුමා කටයුතු කර ඇතැයි පසුගියදා විදේශීය ප්‍රවෘත්ති සේවා වෙතින් වාර්තා විය. මෙයද දූෂණයකි. අක්‍රමිකතාවකි.

එසේනම් අප කල්පනාවට ගත යුත්තේ දූෂණය යනු සම්පූර්ණයෙන්ම නැති කළ හැකි සාධකයක්‌ නොව අවම කළ හැකි සාධකයක්‌ බවය. ඉතා දැඩි සමාජවාදී සමාජයක්‌ ඇති චීනය තුළ පවා දූෂණ වංචා සිදු කෙරෙහි. එහෙත් චීනයේ විශේෂත්වය වන්නේ තරාතිරම නොබලා එම දූෂකයන් අත්අඩංගුවට ගෙන එක පෙළට තබා වෙඩි තබා මැරීම ය. ලංකාව වැනි රටක මෙය කළ හැකිද? එවැන්නක්‌ කිරීමට තැත් කළොත් මුලින්ම විරුද්ධ වන රට රොබට්‌ බ්ලේක්‌ගේ ඇමරිකාව ය. ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළොත් මානව අයිතීන් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට ණය නොදෙන ලෙස ඇමරිකාව ජාත්‍යන්තර ප්‍රජාවට බලපෑම් කරනවා ඇත.

1970 න් පසු මේ රටේ බලයට පත්වූ සෑම ආණ්‌ඩුවක්‌ම මැතිවරණ පොරොන්දුවක්‌ ලෙස දී තිබුණේ දූෂණය පිටු දැකීමය. 1970-77 තුළ විවිධ වංචා සිදු කළ කිසිදු දේශපාලනඥයකුට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව දඬුවම් කළේ නැත. ඔහු කළේ විදේශ විනිමය වංචා මත සමගි පෙරමුණු රජය මගින් සිර දඬුවම් දෙන ලද පිරිසද නීති සංශෝධනයක්‌ මගින් එළියට ගැනීම ය. බණ්‌ඩාරනායක මැතිණිය, පීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක වැනි අයගේ ප්‍රජා අයිතීන් අහිමි කිරීමෙන් ඡේ. ආර්. කළේ පුද්ගලික දේශපාලන පළි ගැනීමකි. 1977 න් ඇරඹි එජාප පාලනය පළමු කොටසේදී දූෂණ හා වංචා වෘත්තීය මට්‌ටමින් හඳුන්වා දීම සිදු විය. ටෙන්ඩර් ගසා කෑම, රජයේ දේපළ උපහරණය යනාදිය ඊට කලින් පැවැති ආණ්‌ඩුව මෙන් තුන් හතර ගුණයකින් ඉහළ ගියේය. මහවැලි යෝජනා ක්‍රමය සෑදීමට ගිය මුදලින් එවැනි යෝජනා ක්‍රම දෙකක්‌ සැදිය හැකි බව දැනටත් කියනු ලැබේ. මේ රටේ දූෂණය හා වංචා දුරලීමේදී අප විසින් පාඩම් පොත් ලෙස පරිහරණය කළ යුතු අතුරු කතා මේවා ය. ඉතිරිය හෙට සාකච්ඡා කරමු.

 

 
Powered By -