පක්‍ෂය පාට බලය තරාතිරම සලකන්නේ නෑ
ඡන්ද නීති කඩන චණ්‌ඩින්ට වරදී

පොලිස්‌පතිගෙන් රතු එළියක්‌

නෝමන් පලිහවඩන සහ ලසිත දුමින්ද

ජනාධිපතිවරණය සම්බන්ධව මැර ක්‍රියා කිරීමට පෙළඹෙන පුද්ගලයන් සහ ඒ සඳහා උසිගන්වනු ලබන පුද්ගලයන් ලැබෙන පැමිණිලි සහ සාක්‍ෂි අනුව ඔවුන්ගේ පක්‍ෂය බලය හා තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එන බව පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

අදාළ සැකකරුවන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙසද පොලිස්‌පතිවරයා පොලිස්‌ ස්‌ථානවලට දැනුම් දී ඇත. මේ අතර ඉකුත් තුන්වැනිදා කිරිබත්ගොඩ නගරයේදී ජනාධිපති පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආධාර ලබාදීම සඳහා එජාපය සහ ජනතා විමුක්‌ති පෙරමුණ ආරම්භ කර තිබූ ප්‍රචාරක වැඩපිළිවෙළට ගල්මුල් ගසා කලබල සිදු කළ සැකකරුවන් අල්ලා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ කණ්‌ඩායම පුද්ගලයන් ගණනාවකගෙන් තොරතුරු රැස්‌කගෙන යයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සංවිධායක වර්ණදීප්ති රාජපක්‍ෂ මහතාගෙන්ද ප්‍රකාශයක්‌ සටහන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය කියයි. මෙම සිද්ධිය පිළිබඳ මහර එජාප සංවිධායක යූ. ජෝර්ඡ් පෙරේරා මහතාගෙන් පොලිසිය කටඋත්තර ගෙන ඇත.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ සිද්ධීන් 575 ඊයේ (14 වැනිදා) දහවල් වන විට වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ ජාලය සඳහන් කරයි.

ඒ යටතේ ප්‍රචණ්‌ඩ ක්‍රියා 379 ක්‌ද, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් 87 ක්‌ද, රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිත කිරීම් 62 ක්‌ද, පොලිසිය පක්‍ෂපාතී ලෙස කටයුතු කිරීම් 25 ක්‌ද මහජන මතයට අනිසිලෙස බලපෑම් කිරීම් 22 ක්‌ද වාර්තා වී ඇතැයි එහි මෙහෙයුම් ප්‍රධානී විජය කුරුකුලසූරිය මහතා පැවසීය.

ප්‍රචණ්‌ඩ ක්‍රියා යටතේ පක්‍ෂ කාර්යාලවලට පහරදීම් 191 ක්‌ද, පුද්ගල පහරදීම් 99 ක්‌ද, දේපළවලට හානි කිරීම් 24 ක්‌ද, පුද්ගල ඝාතන එකක්‌ද, තර්ජනය කිරීම් හා බිය වැද්දීම් 48 ක්‌ද, ගිනි අවි භාවිත කිරීම් 14 ක්‌ද වාර්තා වී ඇති බව විජය කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -