හයිටි දූපතේ භූමි කම්පාවෙන් ලක්‍ෂයකටත් වඩා මරු දකිති


විනාශයට පත් හයිටි ජනපති මැඳුර

ජනාධිපති මැඳුර, පාර්ලිමේන්තුව සුන්බුන් බවට පත්වේ

මුළු හයිටි රාජ්‍යයේම පාලන යාන්ත්‍රණය විනාශ වී ඇති බවත්, තමාට දැන් සිදු වී ඇත්තේ සුන්බුන්වලට යටවී සිටින ජනතාවගේ විලාප හඬට සවන්දීම බවත් හයිටි ජනාධිපති කරේගේ ප්‍රියල් ඊයේ පවසා ඇත.

පාර්ලිමේන්තුවත් රජයේ භාණ්‌ඩාගාරයත් පාසල් හා රෝහල් ද සුන්බුන් බවට පත්වෙලා යෑයි හෙතෙම කියා සිටියේය. මේ විශාල භූමිකම්පාව සිදුවන අවස්‌ථාවේ තමා සහ බිරිය අගනුවරින් පිටත සිටි නිසා දිවි ගලවාගත් බව ද ජනාධිපතිවරයා පළ කළේය. පාර්ලිමේන්තුවත්, ජනාධිපති මැඳුරත් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයත්, සාම හමුදා මූලස්‌ථානයත්, ලෝක බැංකු ගොඩනැඟිල්ලත් සුන්බුන් බවට පත් වී ඇත.

හයිටි දූපතේ සිදු වූ මෙම බරපතල භූමි කම්පාව නිසා රටේ ආරක්‍ෂාව අරාජික වී තිබේ. කොල්ලකෑම් හා වෙනත් සාහසික ක්‍රියා රැසක්‌ සිදු වී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මියගිය සංඛ්‍යාව කොතෙක්‌ දැයි මෙතෙක්‌ වාර්තා වී නැත. එහෙත් සුන්බුන්වලට යට වූ විශාල පිරිසක්‌ සිටින බව අනාවරණය වේ.

හයිටි රාජ්‍යයේ ප්‍රධාන සිරගෙය ද කඩාවැටීමෙන් දරුණු අපරාධකරුවන්රැසක්‌ පැන ගොස්‌ තිබේ.

විදේශ මාධ්‍ය දක්‌වන්නේ 500,000 ක ජනතාවක්‌ මියගොස්‌ ඇති බවය. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කළ විදේශිකයන් 200 ක්‌ ද අතුරුදන් වී ඇත.

එසේම මුළු හයිටි රාජ්‍යයේම විදුලිබලය ඇනහිට ඇතැයි වාර්තා වී තිබේ. හයිටි රාජ්‍යයේ සෑම ස්‌ථානයකම ගොඩගැසූ සිරුරු පිරිලා යෑයි සහන සේවකයෝ පවසති.

මේ අතර සන්නිවේදන කටයුතු පවා ඇනහිට ඇතැයි වාර්තා වේ.

 
Powered By -