පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කිරීමට
මා පියවර ගන්නවා
- ජෙනරාල් සරත් ෆොන්සේකා

පියසේන දිසානායක

තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ පියවර ගන්නා බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. රටේ දැනට පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන සියලු රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීමට තීරණය කළා සේ ම ව්‍යාපාර ක්‍ෂේත්‍රය සමඟ සාකච්ඡා කොට පෞද්ගලික අංශයට වැටුප් වැඩි කරන බව හෙතෙම කීය.

අත්තනගල්ලේදී පෙරේදා (13 වැනිදා) පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් මේ බව සඳහන් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන් වැටුප් වැඩිකරන බවට පොරොන්දු වීමෙන් පසු එය කිසිදාක කළ හැක්‌කක්‌ නොවන බව ආණ්‌ඩුව ප්‍රකාශ කළත් වැටුප් වැඩිවීමක්‌ ලබාදිය හැකි පැහැදිලි සැලසුමක්‌ තමන්ට තිබෙන බව පැවැසීය.

බඩු මිල ඉහළ යැමට සාපේක්‍ෂව රාජ්‍ය අංශයේ හෝ පුද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන වැටුප ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව තමන් වසර 40 ක්‌ රාජ්‍ය සේවයේ සිටි නිලධාරියකු ලෙස හොඳින් දැන හඳුනාගෙන සිටින බව ද හෙතෙම කීය.

 
Powered By -