පොළොන්නරුවේ ඡන්ද ගැටුම පිළිබඳ
තමන්කඩුව ප්‍රා.සභා විපක්‌ෂ නායක ඇතුළු
තිදෙනෙක්‌ අත්අඩංගුවේ


කරුණාරත්න ගමගේ - පොළොන්නරුව

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පොළොන්නරුවේ පිහිටි ජනාධිපතිවරණ ප්‍රචාරක දිස්‌ත්‍රික්‌ කාර්යාලයට පහරදී අලාභහානි සිදු කිරීම රජයේ වාහන ඇතුළු වාහන කිහිපයකට අලාභහානි කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක්‌ සම්බන්ධයෙන් පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක තිස්‌ස වීරක්‌කොඩි මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී පෙළපාලියකට සහභාගි වෙමින් සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ නායකයන් ඇතුළු පිරිසක්‌ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන කාර්යාලයකට පහරදී අලාභහානි කළ බවටත්, වාහන කිහිපයකට හානි සිදු කර ඇති බවටත් කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිසියට දැනුම් දී තිබේ.

මේ අනුව පොළොන්නරුව පොලිසිය ඊයේ (14 දා) අලුයම තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුම අත්අඩංගුවට ගැනීමට සිටින බව පොළොන්නරුව පොලිසියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ දිස්‌ත්‍රික්‌ ප්‍රචාරක කාර්යාලයට පහරදී අලාභහානි කිරීම නිසා රුපියල් ලක්‍ෂ 25 ක පමණ පාඩුවක්‌ සිදුවී තිබෙන බව ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින"ට පැවසීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට එරෙහිව ආණ්‌ඩුවෙන් එල්ල වන බව කියන මර්දන ව්‍යාපාරයට විරෝධය පළ කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌ව දියත් කළ සාමකාමී පාගමනට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආධාරකරුවන් මුලින්ම ප්‍රහාර එල්ල කළ බව එම පක්‍ෂවල දිස්‌ත්‍රික්‌ ක්‍රියාකාරීහු "දිවයින"ට ප්‍රකාශ කළහ.

 
Powered By -