රජය රටවල් තුනකින් සහල් ගෙන්වීමට යයි

අමිල අබේරත්න

පකිස්‌තානයෙන්, ඉන්දියාවෙන් සහ වියට්‌නාමයෙන් සහල් මෙටි්‍රක්‌ ටොන් 80000 ක්‌ ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත.

එක්‌ එක්‌ රටකින් වෙන වෙනම ගෙන්වන සහල් ප්‍රමාණය හෙළිකළ නොහැකි බවත් මෙම රටවලින් සහල් ටොන් 80,000 ක්‌ ගෙන්වන බව පමණක්‌ කිව හැකි බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගූණවර්ධන මහතා පැවැසීය. ජනවාරි 16, 17, 18 දිනවල මෙම සහල් තොග නැව්වල ඉඩ තිබෙන පරිදි මෙරටට ළඟාවනු ඇතැයිද ලබන සතිය වන විට ඇති තරම් සහල් වෙළෙඳ පොළෙන් ලබාගත හැකි යෑයි ද ඇමැතිවරයා "දිවයින"ට පැවැසීය. මීට අමතරව දේශීය සහල් මෙටි්‍රක්‌ ටොන් 36000 ක්‌ද ලැබේ. ඒවා අලුතින් සකසන ලද වේයංගොඩ ගබඩා සංකීර්ණයේ තබනු ලැබේ. ආනයනය කරනු ලබන සහල් රට පුරා විහිදී තිබෙන සමුපකාර වෙළෙඳසල් 11000 ක්‌ මගින් බෙදාහරිනු ලැබේ.

කිසිදු සහල් හිඟයක්‌ රටේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

පකිස්‌තානයෙන් සුදු කැකුළු මෙටි්‍රක්‌ ටොන් 80000 ක්‌ ඉකුත් 8 දා ළඟාවන බවත් ඒවා සතොස, ලක්‌ සතොස හා සමුපකාර වෙළෙඳ සල් මගින් කිලෝව රු. 50 ක තොග මිලට සඳුදා නිකුත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් අඟහරුවාදා "දිවයින"ට පැවැසීය.

ඉකුත් සඳුදාට (11 දා) වියට්‌නාමයෙන් රොචිනි සම්බා මෙටි්‍රක්‌ ටොන් 5000 ක්‌ මෙරටට ළඟාවන බවද ඇමැතිවරයා කියා තිබිණි. පිටකොටුව තොග වෙළෙඳුන් කියා සිටියේ සහල් හිඟයක්‌ නැති නමුදු ආණ්‌ඩුව නියම කළ මිලට විකිණීමට හැකියාවක්‌ නැති බවය. විවෘත වෙළෙඳ පළේ සම්බා කිලෝවක්‌ රු. 90 ත් 100 ත් අතර මිලට අලෙවි විය. රතු කැකුළු රු. 80 ත් 85 ත් අතර මිලට ඕනෑතරම් ගැනීමට තිබිණි.

ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ලක්‌ සතොස වෙළෙඳ සල්වල සුදු කැකුළු රු. 50 - 57.50 ටත් රතු කැකුළු රු. 60 ටත් නාඩු රු. 72 ටත් අලෙවි විය. සම්බා සහල් ඒවායේ තිබුණේ නැත.
 

 
Powered By -