එජාප රැස්‌වීමට යද්දී කාන්තාවක ඝාතනය
කිරීම සම්බන්ධව දෙදෙනකු අත්අඩංගුවට

වෙඩි තැබූ අයත් ඒ අතර

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

එජාප රැස්‌වීමකට සහභාගි වීමට බස්‌රථයකින් යමින් සිටි පිරිසකට වෙඩි තබා එක්‌ කාන්තාවක්‌ ඝාතනය කිරීමේසිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු හුංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද සිටින බව පොලිසිය සඳහන් කරයි. මියගිය තැනැත්තිය 55 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චි නමැති වීරකැටිය විතාරන්දෙනිය පදිංචිකාරියකි. මේ අතර සිද්ධිය පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා (13 වැනිදා) අරලියගහ මැඳුරේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇතමුන් ප්‍රකාශ කර ඇති පරිදි මියගිය කාන්තාව එ. ජා. පයේ නොවන බවත් ශ්‍රීලනිප ප්‍රබල ආධාරකරුවකු බවත් ඇය වෙඩි ප්‍රහාරයට ගොදුරුවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සංවිධානය කළ රැස්‌වීමක්‌ බැලීමට යමින් සිටියදී බවත් ජනාධිපතිවරයා කීය. හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එ. ජා. ප. මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින" ට පැවසුවේ "නිල් බළකාය" ප්‍රදේශය පුරා භීෂණ ක්‍රියා සිදුකරන බවයි. ජනාධිපතිගේ ඡායාරූප නිවෙස්‌වල ප්‍රදර්ශනය කරන ලෙස ජනතාවට බල කරන බවත්, නියෝග නොතකන අයගේ සමෘද්ධි දීමනා වහාම කපා හරින බවටත් තර්ජනය කරන බවත් ප්‍රේමදාස මහතා කීය. නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීම සහතික කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීය.මෙම මිනීමැරුම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පිටත් කර යෑවූ බව පොලිස්‌ මූලස්‌ථානය සඳහන් කළේය.

 

 
Powered By -