මහ ලොකුවට කතා කරන්නේ නිදහස්‌ මාධ්‍ය ගැන
බලය නැතිව මාධ්‍යයට තර්ජනය කරන
අයට බලය ලැබුණොත් කොහොමට හිටීවිද
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අම්බලන්ගොඩදී කියයි


රනිල් - සෝමවංශ බය වුණ ගිනිගොඩට ජෙනරාල් පැන්නා

ජනපතිගේ අම්බලන්ගොඩ ජන ගඟ දැක්‌කොක්‌
ජෙනරාල්ට උණ හැදෙයි

අපේ ගමේම කෙනෙක්‌ රට පාවා දෙන්න
හදන එක කනගාටුයි

අනුර බාලසූරිය, අම්බලන්ගොඩ - චන්ද්‍රසිරි ජසෙන්තුලියන, බටපොළ - කේ. එම්. රූපසිරි

මාධ්‍ය නිදහස ගැන මහ ලොකුවට කතා කරන අය බලය නැතුවත් මාධ්‍යවේදීන්ට අද කරන තර්ජන දෙස බැලූ විට බලයට ආවොත් කුමක්‌ කරාවිදැයි සිතාගත හැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජය තහවුරු කිරීම සඳහා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී 12 වැනිදා පැවැති ජනහමුව අමතා රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

අතිවිශාල පිරිසක්‌ සහභාගි වූ මෙම ජනහමුව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අද මේ අතිවිශාල ජනතාව අමතා කතා කරන්නට අවස්‌ථාවක්‌ ලැබීම ගැන මා සංතෝෂ වෙනවා. මම දේශපාලන රැස්‌වීම් කිහිපයක්‌ මේ භූමියේ දී අමතලා තියෙනවා. නමුත් මේ වගේ විශාල ජනතාවක්‌ මේ භූමියේ දී අමතා නෑ. අද මේ වේදිකාවට පැමිණි ලෝක පූජිත ක්‍රිකට්‌ ක්‍රීඩක සනත් ජයසූරිය ප්‍රථමයෙන් මේ වගේ අති විශාල සෙනගකට කතා කිරීමත් ඓතිහාසිකයි.

ඔබ දන්නවා මට මේ රට භාරදුන්නේ කොයිවාගේ වෙලාවකද කියලා. මට ජනතාව මේ රට භාරදුන්නේ මේ රට බෙදන්න හොර ගිවිසුම් ගහලා තිබුණ වෙලාවක. මේ රට වෙන් කරලා තිබුණු වෙලාවක. ඔවුන්ගේ ප්‍රදේශයේ වෙනම කොටි පොලිසියක්‌, නාවික, ගුවන් හමුදාවක්‌, අධිකරණයක්‌, පෙරකදෝරුවො මේ හැමෝම හිටියා. අපේ හමුදාව එම ප්‍රදෙAශවලට ගියාම ඔවුන්ව එළෙව්වා. අපි ගියහම කප්පම් ගත්තා. වෙනම රාජ්‍යයක්‌ හදන්න එල්. ටී. ටී. ඊ. ය ලෑස්‌තිවෙලා හිටපු වෙලාවක්‌ ඒක.

අපේ රට පක්‍ෂ වශයෙන් බෙදිලා කතානායකවරයෙක්‌ පත්කරගන්න බැරි පාර්ලිමේන්තුවක්‌ අපට තිබුණේ. දේශපාලන වශයෙන් නිල් පාට, රතු පාට, කොළ පාට වශයෙන් හා සිංහල, දෙමල, මුස්‌ලිම් වශයෙන් බෙදිලයි ඒ වෙලාවෙ ජනතාව හිටියේ. මට තිබුණා මේ ජාතිය නැවත නැගිටුවන්න. ඒ වෙලාවෙ අපි වෙනුවෙන් අපි වැඩපිළිවෙළ හදලා ජනතා මතය වෙනස්‌ කළා. පොඩි රටක්‌ හරි පිළිගත්තනම් මේ රට දෙකට කැඩිලා වෙනම රාජ්‍යයක්‌ කියලා අපේ තත්ත්වය මොකක්‌ද. මෙම පාර්ලිමේන්තුව ශක්‌තිමත් කරගන්න පාර්ලිමේන්තු ඡන්දයක්‌ තිබ්බේ නැහැ. එහෙම ගියානම් මට මේ රට නිදහස්‌ කරගන්න වෙලාවක්‌ නෑ. මම සියලුදෙනාට ආරාධනා කරලා එක්‌ කරගත්තා.

අම්බලන්ගොඩින් මගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයන් තුන්දෙනෙක්‌ හිටියා. මේ යුද්ධය යන වේලාවේ අපි උදේ ඉඳන් එකට වාඩිවෙලා කතා කළා. මම කිසිම අවස්‌ථාවක කියන්නේ නෑ මේ ඔක්‌කොම කළේ මමයි කියලා. මේ ජයග්‍රහණයට මුළු රටම එකතු වුණා. දකුණේ අපි කෙළෙහිගුණ දන්නවා. ගැලවීමේ හමුදාවකට හොඳයි කියලා එදා නිග්‍රහකරන කොට මම කිව්වේ මුළු ලෝකෙටම හොඳයි කියලා. එහෙමයි අපි රැක්‌කේ.

මම ධීවර ඇමැතිවරයා වශයෙන් මෙහි ධීවර වරාය හැදුවා. ප්‍රජා ශාලා හැදුවා. නිවාස යෝජනා ක්‍රම හැදුවා. මාර්කට්‌ හැදුවා. මේ ගම්මාන ගොඩනැඟුවා. අපට මේ රට ගොඩනගන්නයි අවශ්‍ය. රට බේද කරන්න අපට උවමනා නැහැ. අද සමහර පිරිස්‌ මේ රට බේද කරන්න හදනවා.

දෙමළ සන්ධානයේ සියලු කොන්දේසිවලට විපක්‍ෂයේ අපේක්‍ෂකයා එකඟ වුණා. මහින්ද රාජපක්‍ෂ එකඟ වුණේ නැහැ කියලා මාධ්‍ය කිහිපයකින් කියෑවුණා. මේ එක්‌සේසත් කරපු රට ආපසු කෑලිවලට කඩලා උතුර නැගෙනහිර යාකරන්න, ස්‌වයං පාලන අයිතීන් දෙන්න, හමුදා කඳවුරු ඉවත්කරන්න, මම ඉඩ තියන්නේ නෑ. මම කියනවා 26 වැනිදා මේ අය ගහපු ගිවිසුම අහෝසි කරන්නේ මේ ජනතාව බුලත් කොළයට දෙන ඡන්දවලින් කියලා. තමුන්නාන්සේලා ලෝකයට කියන්න මේ රටට ඇඟිලි ගහන්න එපා කියලා. මේ රට කෑලිවලට කඩන්න මේ දකුණේ ජනතාව පැහැදිලිව ඉඩ තියන්නේ නෑ කියලා ජාත්‍යන්තරයට කියන්න.

මේ රණවිරුවෝ රට කෑලිවලට කඩන්න ඉඩදෙන්නේ නෑ. රාජ්‍ය සේවය අද ශක්‌තිමත් වෙලා.

මේ මාධ්‍ය නිදහස ගැන කතා කරන උදවිය මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. බලයට එන්නේ නැතිව මෙහෙම මර්දනය කරනවනම් බලය ලැබුනම කොහොම වෙයිද. ඔබ හිතන්න.

මේ රට පාවා දෙන්නෙ නෑ. කොටි ගිවිසුම්වලට ඉඩදෙන්නේ නෑ කියලා ඔබගේ ඡන්දයෙන් ලෝකයට කියන්න. අද අපේ රටට ඕන මේ නිදහස දිනා ගැනීම. දැන් අපි රට ගොඩනගන්න ඕන. ඔබේ දරුවා වෙනුවෙන් මේ මහා සාගරය අපට අයිතියි. මෙහි සම්පත් අපි නෙළාගන්න ඕනෑ. මේක ශක්‌තිමත් කරන්න ඕනෑ. සමහරුන්ට ගම මතක්‌ වෙන්නේ මේ වගේ වෙලාවට විතරයි. නමුත් අපට ගම් හැමදාම මතකය.s අපි වෙනුවෙන් අපි විතරයි හිටියේ. ඔබ අමාරුවේ වැටෙනකොට සුනාමිය ඇති වූ වේලාවේ ආපු නැති අය අද ගම ගැන කතා කරනවා.

අපි නැවත මේ රට එක්‌ කරලා එය ඔබේ දරුවා වෙනුවෙන් ගොඩනගමු. මෙය ලෝකයේ ඉහළම තැනකට ගෙන යමු. ඒ සඳහා ඔබ අපත් සමග අත්වැල් බැඳගන්න. රට නැවත කොටියාට නොදී රැක ගන්න එක්‌වන්න.

නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාá

ඉතිහාසය පුරා විවිධ අවස්‌ථාවල ආක්‍රමණකාරීන් අප රට බෙදීමට උත්සාහ දරපු හැම අවස්‌ථාවකදීම ඒ බලවේග ඉදිරියේ සටන් කොට ආක්‍රමණකාරීන් පලවා හැරි විමුක්‌තිකාමී නායකයන්ගෙන් පෝෂණය වූ රටක්‌ මේක. වසර 30 කට අධික කාලයක්‌ ත්‍රස්‌තවාදයෙන් අප දිගින් දිගට පීඩා විඳිමින් සිටි අවධියකයි ජනාධිපතිතුමා 2005 රටේ නායකත්වයට පත් වුණේ. බලයට ඇවිල්ල රට පාලනය කළ විවිධ නායකයන්ට විසඳන්න බැරි වූ ත්‍රස්‌තවාදය ඉතා කෙටි කාලයකින් පරාජය කර රට එක්‌සේසත් කිරීමට මහින්ද රාජපක්‍ෂට හැකි වුණා. එතුමාට භාරදුන් ඒ අභියෝගය එතුමා තුළ තිබෙන පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන ත්‍රිවිධ හමුදාව පොලිසිය සූදානම් කර ජයගත්තා. මාතෘ භූමිය නිදහස්‌ වුණේ එහෙමයි. හමුදාවට ඉදිරියට යන්න නියෝග දුන්නේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමායි. ඒ නියෝග දිය හැක්‌කේ සේනාධිනායකයාටයි.

එතුමා සේනාධිනායකයා ලෙස නියෝග දුන් නිසයි මේ විජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණේ.

විදේශ කුමන්ත්‍රණ ඉදිරියේ ජනාධිපතිතුමා යෝධ පර්වතයක්‌ මෙන් නොසැලී සිටියා. එතුමා කුමන බාධක පැමිණියත් එක මොහොතක්‌වත් රට බේරාගැනීම අමතක කළේ නැහැ. එතුමා ලෝක නායකයන් අතර අභිමානය ගෙනාවා.

බුද්ධිමතුන් දායාද කළ තෝතැන්නක්‌ වන අම්බලන්ගොඩ ප්‍රගතිශීලී දේශපාලන බලකොටු බැන්ද ප්‍රදේශයක්‌. එම නිසා මෙහි ජනතාව නිවැරැදි තීරණයක්‌ ගෙන ජනපති දිනවන බව අපට විශ්වාසයි.

උතුර නැගෙනහිර මුදාගන්න ප්‍රභාකරන් පරදවන්න වැඩ කළ කෙනා අද යුනිෆෝම් එක ගලවලා අශුද්ධ සන්ධානයකට එක්‌වෙලා. රට පාවාදෙන්න ද්‍රවිඩ ජාතික සන්ධානයට පොරොන්දු දෙනවා. නමුත් මේ ප්‍රදේශයේ බුද්ධිමත් ජනතාව ඊට ඉඩ නොතබන බව අද මේ රැස්‌ව සිටින ජනතාවගෙන් පැහැදිලියි.

කාර්මික හා වෘත්තීය පුහුණු ඇමැති පියසේන ගමගේ මහතාá

අද මේ අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට රොක්‌වී සිටින අති විශාල ජනතාවගෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිතුමා ඉහළම ජයග්‍රහණයක්‌ ලබන බවයි. මෙවර අපි ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් සියයට හැත්තෑවක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවනවා. මේ ජනගඟ දැක්‌කොත් ජෙනරාල්තුමාට උණ හැදෙයි. අම්බලන්ගොඩ ජනතාව මෙවර වැඩි ඡන්ද 30,000 කින් ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවනවා.

ජනාධිපතිතුමා මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු බොහොමයක්‌ම අද ඉටුකරලා. ප්‍රධාන පොරොන්දුව වූ ත්‍රස්‌වාදය ඉතා කෙටි කාලයකින් පරාජය කරමින් ඒ පොරොන්දුව ඉටුකර රට එක්‌සේසත් කළා. අද රටේ දැවැන්ත සංවර්ධනයක්‌ සිදුවෙනවා. ජනාධිපතිතුමා වසර 4 ක්‌ තුළ කරපු මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියෑවෙනවා. මේ යුග පුරුෂයා රාජ්‍ය නායකත්වයෙන් එලවන්න විවිධ කුමන්ත්‍රණකාරී බලවේග කැසකැව්වත් ජනතාව ඊට ඉඩදෙන්නේ නෑ. ජීවිත පරිත්‍යාගයෙන් එක්‌සේසත් කළ මේ රට අසුද්ධ සන්ධානය විසින් යළි එල්. ටී. ටී. ඊ. යට වෙන්කර දෙන්න කැසකවනවා. ජනනතාව මේවාට ඉඩදෙන්නේ නෑ.

ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා -

ලංකාව කොහොම වෙතත් ජනරාල්ට මේ අම්බලන්ගොඩවත් ජයග්‍රහණය කළ නොහැකි බව මේ ජන රැලියෙන් පැහැදිලියි. අපි වසර 38 ක්‌ ජීවත් වුණේ ත්‍රස්‌තවාදය යටතේ, ඉන් වසර 33 ක්‌ කොටි ත්‍රස්‌තවාදය යටතේ, අනෙක්‌ කාලය 71

කැරැල්ල යටතේ කොටි ත්‍රස්‌තවාදය පරාජය කරන්න ඡේ. ආර්. ගේ සිට රනිල් දක්‌වා නායකයන් සියලු දේ කළා. හරි ගියේ නෑ.

මේ යුද්ධය තිබුණේ මේ රටේ විතරක්‌ නොවෙයි. මේ රටේ විතරක්‌ තිබූ එකක්‌ නම් එදා ඡේ. ආර්. දිනනවා. ඒක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දක්‌වා එන්නේ නෑ. ඡේ. ආර්. මහත්තයාගේ කාලේ යුද්ධය කරගෙන යන කොට එක පරිප්පු මල්ලයි දැම්මේ. මෙහෙයුම නැවතුණා. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ

රිවිරැස මෙහෙයුම යටතේ යාපනය අල්ලන්න ඉදිරියට යන විට ජාත්‍යන්තර බලපෑම් නිසා යුද්ධය නැවතුණා. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජාත්‍යන්තරයේ මේ සියලු බලපෑම් ආවත් ඒ එකකටවත් යට වුණේ නෑ. ඒ කිසි බලපෑමකට යටනොවී ජාත්‍යන්තරය සමඟ තරහත් නොවී යුද්ධය මෙහෙයවා අවසන් කළා. ජනාධිපතිතුමා යුද්ධය කළා විතරක්‌ නොවෙයි. ඒ කාලය තුළ ජනතාව බඩගින්නේ තැබුවේ නෑ. යුද්ධය පවතින කාලයේත් ගමේ පාරේ සිට ජාත්‍යන්තර වරායවල්, ගුවන් තොටුපොළවල්, මහා පරිමාණ විදුලි, වාරි යෝජනා ක්‍රම දක්‌වා විශාල සංවර්ධන වැඩකොටසක්‌ කළා. පොහොර මිටිය රුපියල් 9000 ට යද්දී රුපියල් 350/- ට දුන්නා. සමෘද්ධි සහනාධාරය වැඩිකළා. සහනාධාර දුන්නා. රැකියා ලක්‍ෂ 121/2 දක්‌වා වැඩි කළා. වැටුප් වැඩි කළා. ජීවන අංකය ජනවාරියේ සිට 5250 ක්‌ වනවා. එතුමා එක රාජ්‍ය ආයතනයක්‌ විකුණුවේ නැහැ. දැන් රාජපක්‍ෂ පවුල ගැන කියනවා. රාජපක්‍ෂවරු 1938 වසරේ ඉඳලා මේ රටේ හම්බ කළේ ජනතා මුදල් නොවේ. මංගලට තියෙන්නේ රාජපක්‍ෂවරුන් සමග තියෙන ඊර්ෂ්‍යාවක්‌.

ජනාධිපතිතුමා ගමේ දරුවන්ට යුද්ධයට යන්න කියලා නිකං හිටියේ නැහැ. එතුමා ගමේ දරුවන්ට යුද්ධයට එන්න ආරාධනා කළේ තම පුතාත් යුද්ධයට යවලයි. වෙන නායකයෙක්‌ එහෙම කළාද? එතුමාගේ පුතා නාවික හමුදාවට බැඳී යුද නෞකාවලට නායකත්වය දෙමින් සටන් කළා. කොටින් එක්‌ක මුහුණට මුහුණලා සටනට ගියා. තව පුතෙක්‌ එතුමාගේ ජනතා ව්‍යාපාරයට කරගහලා තාත්තලා අවංකව දේශපාලනය කළාම ඒ ආශීර්වාදයෙන් දරුවෝ දේශපාලනයට එනවා.

දූෂණ කවුද කළේ කියලා දැන් අපි සොයාගෙන තියෙනවා. අවි ගනුදෙනුව සම්බන්ධ විවාදයට එන්න කිව්වා එක්‌ කෙනෙක්‌ ඇවිල්ලා දෙන්නෙක්‌ නිසා බෑ කියලා ගියා. මම එදා ආණ්‌ඩුවේ හතක්‌ එක්‌ක තනියම විවාදයකට ආවා. මේ අවි ගනුදෙනුව පිළිබඳ සියල්ල අපි සොයා ගෙන තිබෙනවා. මේ හොරකමෙන් බේරෙන්න බෑ. අනුන්ට මඩ ගහන්න ගියාම ඔහොමයි වෙන්නේ.

සම්බන්ධන්ගේ යෝජනාවලට එකඟ නොවූ බව රනිල් කිව්වත් සම්බන්ධන් ඒක නැහැයි කියන්නේ නෑ. අද සම්බන්ධන් කියපු දේ ලියූ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ මැතිවරණයෙන් 65% වැඩි ප්‍රතිශතයකින් ජය ගන්නවා. මේක 65% නොවේ 90% කින්වත් දිනන්න ඕනෑ. ජනාධිපතිතුමා මේ මැතිවරණයෙන් ජයගෙන ඉදිරි වසර 6 රට සංවර්ධනය කරන්න කටයුතු කරනවා. ඒ තුළ හැම දරුවකුටම රැකියාවක්‌ ලැබෙනවා. ලබන 26 වැනිදායින් පසු ලබන ජයග්‍රහණය අනාගත පරපුරේ, ඔබේ ඉපදෙන්න ඉන්න දරුවන්ගේ විජයග්‍රහණයක්‌.

කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්‌කාර මහතා-

වසර 30 කට අධික කාලයක්‌ රටේ පැවැති භයානක යුද්ධය, ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය අවසන් කරන්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකියාව ශක්‌තිය ධෛර්යය වුවමනාව තිබුණා. ඒ නිසා එය ඉතා කෙටි කාලයකින් අවසන් කරන්න හැකි වුණා. ත්‍රස්‌තවාදය නැති කිරීමේදී රජයට ජනතාව විශාල දායකත්වයක්‌ ලබා දුන්නා.

ඡේ. ආර්. ජයවර්ධන මහතා ත්‍රස්‌තවාදය පරාජය කරන්න මොන ආකාරයෙන් උත්සාහ කළත් එය පරාජය කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහතාටත් බැරි වුණා. විඡේතුංග මහතාටත් වුවමනාවක්‌ තිබුණා. නමුත් නායකත්වය හා ශක්‌තිය නැති වූ නිසා කරගන්න හිතන්නවත් බැරිවුණා. චන්ද්‍රිකා මැතිණිය නොයෙක්‌ උත්සාහ කළත් ජාත්‍යන්තරය ඔරවන, ගොරවන කොට සැලෙන්න පටන් ගත්තා. කරපු උත්සාහය ව්‍යර්ථ වුණා. රනිල් මහත්තයා අගමැති වුණා. උන්නැහෙට ත්‍රස්‌තවාදය මර්දනය කරන්න අවශ්‍ය වුණේ නෑ. ඔහු රටේ විරෝධය නොතකා ගිවිසුම් ගහලා ලංකා සිතියමෙන් වෙන් කළා. හමුදා බැරැක්‌කවලට සීමා වුණා. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙස්‌ විදෙස්‌ බලපෑම්වලට යට නොවී කෙටි කාලයකින් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට එක්‌සේසත් කළා.

මේ දිනන්න බැරි මැතිවරණ සටනට රනිල්, සෝමවංශ බය වුණා. ඒ ගින්දර ගොඩට ජෙනරාල් පැන්නා. එජාප, ජවිපෙ අනුබද්ධ සන්ධානය එකතුවෙලා ඉන්නේ බටහිර රටවල, එන්.ජී. ඕ. සල්ලිවලට.

රාජපක්‍ෂවරුන්ට දූෂණ චෝදනා එල්ල කළත් රාජපක්‍ෂවරු සොරකම් කරන ජාතියේ අය නෙවෙයි. ජනතා දේපළ රකින රුහුණේ ශේ්‍රෂ්ඨ දේශපාලනඥයන්. ඔවුන්ට අපහාස කරන අයට ලබන 26 වැනිදා මේ රටේ දේශප්‍රේමී ජනතාව අමතක නොවන පාඩමක්‌ උගන්වනවා නිසැකයි.

දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් වන උතුරු නැගෙනහිර යළි එක්‌කිරී,. ස්‌වයං පාලනයක්‌ ලබාදීම, අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තවාදී සැකකරුන් කොන්දේසි විරහිතව නිදහස්‌ කරන්න විපක්‍ෂය එකඟවෙලා. එම නිසා මේ රටේ මහජනතාව ඒ අයුක්‌තියට ඉඩ නොදීමට කටයුතු කළ යුතුයි. අම්බලන්ගොඩ දේශප්‍රේමී ජනතාව රට එක්‌සේසත් කළ යුගයේ නායකයාට එරෙහි නොවන බව මේ මහා ජන ගංගාවෙන් පැහැදිලියි.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා -

රටේ ඉරණමත් එක්‌ක තදින් බැඳිච්ච ඡන්දේ තමයි ජනාධිපති ඡන්දේ. මේ හැම ඡන්දේටම වඩා රට යන අත තීරණය කරන ඡන්දේ තමයි ජනාධිපතිවරණය. අද අම්බලන්ගොඩ ජනතාවත් ඔප්පු කරලා තියෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා 26 දාට මේ රටේ ජනාධිපති වෙනවා කියන එකයි. මිනීමරු ත්‍රස්‌තවාදීන්ගෙන්, අන්තර්ජාතික බලවේගවලින් මේ රට නිදහස්‌ කරලා දුන්නු ජනාධිපතිවරයා සමග රටම ඉන්නවා කියන එක අද හොඳින් පෙනෙනවා.

මේ අවුරුද්ද දෙමළ ජාතියේ සටන අලුත් උපක්‍රම ඔස්‌සේ ගෙන යන සටන බවට පත් කර ගමු කියලා ඇමරිකාවේ ඉන්න රුද්‍රකුමාරන් කිව්වා. දැන් සම්බන්ධන්ලා ජෙනරාල්ට එකතු වී තියෙන්නේ කොන්දේසි 11 ක්‌ දාගෙන. ඒ දෙමළ ජාතියේ සටන සඳහායි. සම්බන්ධන්ගේ කොන්දේසි කොළයට රනිල් එකඟයි. මේ ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේ සාක්‍ෂියට බටහිර තානාපති නියෝජිතයන් දෙදෙනෙකුත් තියාගෙන.

ෆොන්සේකා මහත්තයා මෙහෙම කියන්නේ මට පෙර රට කියලා. නමුත් උන්නැහේ සම්බන්ධන්ට දෙනවා තමන්ට පෙර උතුරු නැගෙනහිර ස්‌වයං පාලනය. බෙදුම්වාදයට කත් අදින්නේ නැත්නම් රනිල් එක්‌ක හිටගන්න බැහැ.

දැන් තියෙනවා කොළ පාටයි රතු පාටයි එකතු කරපු අලුත්ම කොඩියක්‌. දැන් අවස්‌ථාවාදීන් කියපු එජාපය එක්‌ක සෝමවංශ අමරසිංහ එකතුවෙලා. ෆොන්සේකාත් විධායකයලු. රනිල් කියන්නේ එයත් විධායකලු. දැන් මේ ෙද්‍රdaහි බලවේග එකතු වුණේ රට හදන්න නොවේ. ප්‍රතිපත්තියකට නොවේ. තමන්ගේ දුෂ්ඨ අදහස්‌ ඉටු කරගන්නයි. මේකේ ඉන්නවා ලෝකේ නැති ජාතියේ බඩු. අධිරාජ්‍යවාදීන් ඉන්නවා ඒ වික්‍රමසිංහ. මූලධර්මවාදීන් ඉන්නවා ඒ හකීම්. බෙදුම්වාදියෝ ඉන්නවා ඒ සම්බන්ධන්. මේ හවුල හැදුනේ රට හදන්න නොවේ වාඩුව ගන්නයි. රනිල් වික්‍රමසිංහ වව්නියාවට ගිහින් කියනවා මහින්ද රාජපක්‍ෂ පෝඩා කියලා. ඒ කියන්නේ මොකක්‌ද මහින්ද දකුණේ ජාතියේ වීරයා උඹලගේ හතුරා කියලා.

ජනතා විමුක්‌ති පෙරමුණටත් තියෙනවා තමන්ගේ අතේ තිබුණ කොඩිය නැති වීමේ වාඩුව ගන්න. සෝමවංශත් මේ හවුලට එකතු වූයේ ඒකයි.

මහින්ද රාජපක්‍ෂ මහඋළු ගෙදර යවනවලු. මං අහනවා ගෙවී ගිය අවුරුදු හතර තුළදී ත්‍රස්‌තවාදීන් පරාජය කරලා, රටට සාමය ගෙන දුන්නු නිසාද? එහෙම කියන්නේ කියලා. හැම දෙයක්‌ම ෆොන්සේකා කළා කියනවා.

ජනාධිපතිතුමාට චෝදනා එල්ල කළාට පසුගිය අවුරුදු 4 තුළ එක විශ්වාස භංගයක්‌ ගෙනාවද? ගෙනාවේ නෑ. රාජපක්‍ෂවරුන්ට අද බොරු චෝදනා ඉදිරිපත් කරනවා.

බෑනගේ ටෙන්ඩර් ගනුදෙනුව පිළිබඳව වාදයකට එන්න කිව්වා. දෙන්නෙක්‌ එක්‌ක බෑ කියලා මග ඇරලා ගියා. දෙකක්‌ බැරි නම් 60 ක්‌ ආවත් මේකට උත්තර නෑ. යුද්ධය කළ වීරයා අවසාන දින තුන ලංකාවේ නෑ.

26 වැනිදාට ඔබට තීන්දුවක්‌ ගන්න තියෙනවා. ඒ තීන්දුව රට පාවල දෙනවාද නැද්ද කියන එකයි. ජාතික සටනේ කොඩිය අතට ගන්න මේ ජාතික සටනේ අම්බලන්ගොඩ ජනතාවගේ කොටස හරියට ඉටු කරන්න.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා -

අම්බලන්ගොඩ නගර සභා පිටියට පැමිණ සිටින මේ මහජනතාවගෙන් පැහැදිලි වන්නේ ලබන 27 වැනිදා ජනාධිපතිතුමා නැවත මේ රටේ නායකත්වයට පත්වන බවයි. එය ඉරහඳ පායනවා මෙන් විශ්වාසයි. වසර 50 කට ආසන්න වූ මගේ දේශපාලන කාලය තුළ දේශපාලන රැස්‌වීමකදී මා දුටු විශාලම ජනතාව අද මේ රැස්‌වෙලා ඉන්නේ.

නිදහස ලැබීමෙන් පසු වසර ගණනාවක්‌ අපි ඡන්දය පාවිච්චි කර තිබෙනවා. නමුත් මේ 26 වැනිදා පාවිච්චි කරන කතිරය වැදගත් ඡන්දයක්‌. දහස්‌ ගණනකගේ ජීවිත පරිත්‍යාගයෙන් නිමා කර ලබා ගන්නා වූ ඒ යුද ජයග්‍රහණය ද්‍රවිඩ සන්ධානයට හොර ගිවිසුමකින් පාවා දෙන්න සූදානම් වෙනවා. කනගාටුව අපේ ගමේ අපි ඉගෙන ගන්න පාසලට ගිය අයකු අතින් මේ දේ සිදුවීමට යාමයි. එම නිසා මේ ජාතිෙද්‍රdaහී උත්සාහය පරාජය කරවන්න 26 වැනිදාට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ මව්බිමේ නායකත්වයට නැවත පත් කළ යුතුයි. අපි එක දම්වැලක පුරුකක්‌ ලෙස එකට එක්‌වී ඒ විශිෂ්ට ජයග්‍රහණය ලබාදීමේ වගකීම අපේ වගකීමක්‌ හා යුතුකමක්‌. නිදහස්‌ අරගලයේ ඉතිරි කාර්යභාරය වන ආර්ථික නිදහස ළඟා කර ගැනීමට අප එතුමා ජයග්‍රහණය කරවමු.

ලොව සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක සනත් ජයසූරිය මහතා-

මම පළමු වතාවටයි දේශපාලන රැස්‌වීමකට සහභාගි වන්නේ. මට හරි සතුටුයි. අම්බලන්ගොඩ ජනතාව ඉදිරියට ඇවිත් කතා කරන්න ලැබීම ගැන. මාතර ඉඳල ක්‍රිකට්‌ ගහන්න මේ අම්බලන්ගොඩ පසු කරගෙනයි මා කොළඹ ගියේ. පසුගිය කාලේ ඒ යන කොට අපි ගියේ භීතියකින්. අපේ හිතේ මහා භීතියක්‌ තිබුණා. නමුත් ජනාධිපතිතුමා ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම නිසා අපට ඒ බය නැති වී සිතේ සතුටින් යන්න එන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

රටට සාමකමී වාතාවරණයක්‌ උදා කර දුන් නායකයා නැවතත් මේ රටේ නායකයා කිරීමට 26 වැනිදාට අපට අවස්‌ථාව ලැබී තිබෙනවා. කලගුණ දන්නා ජාතියක්‌ ලෙස අප ඒ වගකීම එතුමා වෙනුවෙන් ඉටු කරමු.

 
Powered By -