ආණ්‌ඩුවේ බොරු ගෙරවිලිවලට බය නොවී 26 දා ඡන්ද පොළට යන්න

කඩවුණු පොරොන්දු මත හිටගත්
ජනපති මහින්ද මට මඬ ගහනවා
ජෙනරාල් සරත් ෆොන්සේකා නිට්‌ටඹුව, රාගම සහ වරකාපොළදී කියයි


හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා නිට්‌ටඹුවේ පැවැති ජනරැලියට එක්‌ව සිටි අයුරු.

පියසේන දිසානායක ඒ. ඡේ. අබේනායක වරකාපොළ - වසන්ත කුමාර මාපා, වේයන්ගොඩ සිරිමෙවන් පතිරණ - රාගම රිචඩ් ජී. සිල්වා - ඩික්‌සන් ඇන්ටනි - ජා ඇල - ලෝරන්ස්‌ ප්‍රනාන්දු හා ඒකල - සැනිමන් ද සිල්වා

ජනාධිපතිවර්ණ වේදිකාවේ රට හදන ඉදිරි ප්‍රතිපත්ති හා සැළසුම් ගැන තමා ඇතුළු පොදු විපක්‍ෂය කතා කළත්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කඩවුණ පොරොන්දු මත සිට නිරතව සිටින්නේ තමන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයකැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 13 වැනිදා වරකාපොළ නිට්‌ටඹුව සහ රාගම පැවැති ප්‍රචාරක රැලි අමතමින් පැවසීය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්‌ඩුව තමාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් ජනතාව මුලාකිරීමේ උත්සාහයක නිරතව සිටියත්, එදා ත්‍රස්‌තවාදය තුරන් කර රටට සාමය උදා කරනු ඇතැයි තමා කෙරෙහි විශ්වාසය තැබුවාසේ ම දෙවන මෙහෙයුම අරඹා රට ගොඩනැඟීමේ කාර්යය සඳහා ද තමන් කෙරෙහි එම විශ්වාසය හා සහයෝගය නැවත ලබාදෙන ලෙස සමස්‌ත ජනතාවගෙන් විවෘත ඉල්ලීමක්‌ කර සිටින බව ද හෙතෙම කීය.

වරකාපොළ පැවැති ප්‍රචාරක රැලිය අමතා තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

2005 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තනය නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටට සාමය උදා කිරීම සම්බන්ධව මහින්ද රාජපක්‍ෂ කර තිබෙන්නේ නිවට, නියාලූ වූ ප්‍රකාශයක්‌ බව කිව යුතුයි. වේළුපිල්ලේ ප්‍රභාකරන් පුද්ගලිකව මුණගැසී හෝ ඔහු සමග සාකච්ඡා කොට රටට සාමය උදා කරන බව ප්‍රකාශ කළා. එහෙම කියූ මේ පුද්ගලයා අපි රටට සාමය උදා කළාම මමයි චණ්‌ඩියා, මමයි අණ දුන්නේ කියමින් නගර වැසී යන ආකාරයේ යෝධ කටවුට්‌ සහ බැනර් සවි කරනවා. මේ කාඩ්බෝඩ් වීරයින්ට මේ රටේ ජනතාව රැවටිය යුතු නැහැ.

අයියා ජනාධිපති වූවාට පසුවයි මල්ලිලාට ලංකාවට ඒමට සිතුණේ. මේ අය දැන් ලංකාවේ දේශපාලනය කළත් ඔවුන්ට ලංකාවේ පුරවැසිභාවයවත් නැහැ. එහෙම වුණත් ඔවුන් ප්‍රකාශ කරන්නේ දේශප්‍රේමීන් ඔවුන් පමණක්‌ බවත් අනෙක්‌ අය දේශෙද්‍රdaහීන් බවත්.

යුද්ධය වෙනුවෙන් අප කළ කැපවීම්, අප වැගිරූ ලේ, අප නැති කරගත් ජීවිත පරිත්‍යාග කළේ රටට ඇති ආදරය නිසයි. කොළඹට වී කයිවාරු ගසමින් සාටකයක්‌, ටයි පටියක්‌ දාගෙන සිටියාට රටට ආදරේ යෑයි අපට පිළිගන්න බැහැ. රට වෙනුවෙන් කැප වුණේ කවුද? කෘතගුණ සැලකිය යුත්තේ කාටද කියා ඔබ ලබන 26 වැනි දා තීරණය කළ යුතුයි.

රට වෙනුවෙන් කැපවූ අයගේ සුභ සාධනය සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය අපි බලාගන්නවා. රට වෙනුවෙන් දුක ඉවසා ගෙන සිටි මහජනතාවගේ අනාගතය අපි බාර ගන්නවා. එම ජනතාවගේ ආර්ථිකය ගොඩනංවා, වියරු වැටී තිබෙන ඒකාධිපති ජනාධිපති ධුරය අහෝසි කොට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට සංවර්ධිත රටක්‌ ගොඩනගා එම ජනතාවට නීතිය සහ සාමය ස්‌ථාපිත කොට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ගෞරවණීය ලෙස සේවය කළ හැකි පොලිසියක්‌ ඇති කරනවා.

දේශපාලනය සම්බන්ධව වැඩි කැමැත්තක්‌ මා තුළ නොතිබුණත් පවතින දේශපාලන ක්‍රමය වෙනස්‌ කොට රට ඉදිරියට ගෙන යා හැකි නව දේශපාලන ක්‍රමයක්‌ ඇති කිරීම සඳහා දූෂණයෙන් තොර නායකයින් සමග එකතු වී ජනාධිපතිවරණයට මා අද ඉදිරිපත්ව සිටිනවා.

කුමන බලවේගයක්‌ පැමිණියත් පසු නොබැස අප මේ ගමන ඉදිරියටම යමින් රටට සාධාරණය ඉටු කරනවා. ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා රටේ සිව් දෙසින් මහජනතාව අපට සහයෝගය ලබා දෙනවා. අද ඒ ජන ගංගාව උඩුගම් බලා යන ගංගාවක්‌ වගෙයි. මේ ගමන කිසි ලෙසකින්වත් මහින්ද රාජපක්‍ෂට ආපසු හැරවීමට හෝ බෙලහීන කිරීමට නොහැකියි.

ලබන 26 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී මම විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබා 1977 දී ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා තැබූ වාර්තාව බිඳ දමා මහජනතාවට හිතකාමී යහපාලනයක්‌ තුළින් මහජනතාවට පිළිතුරු ලබා දෙනවා. ජනතා පරමාධිපත්‍ය සුරකින, මතු පරම්පරාවට යහපත් රටක්‌ බිහි කරන වාතාවරණයක්‌ මින් ඉදිරියට ගොඩනගනවා. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා අපට විශාල වශයෙන් කැප කිරීම් කිරීමට සිදුවේවි.

මේ රටේ ආර්ථික පරිහානිය නිසා අද ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. පාසල් යන දරුවන්ට උදේට කිරි වීදුරුවක්‌වත් ලබා දීමට නොහැකි තත්ත්වයක්‌ දෙමව්පියන්ට ඇති වී තිබෙනවා. ඇතැම් පවුල්වලට එක්‌ වේලක්‌වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබෙනවා. එමෙන්ම පාසල් යන දරුවන්ගේ පොත්පත්, ප්‍රවාහනය, නිල ඇඳුම් සඳහා මුදල් සොයාගත නොහැකිව දෙමාපියන් ලත වෙනවා.

මා දැක්‌මක්‌ ඇති ක්‍රියාත්මක කළ හැකි ශක්‌තිමත් ප්‍රතිපත්ති මාලාවක්‌ ඉදිරිපත් කොට තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ 2005 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සියයට 98 ක්‌ මේ වන විට ක්‍රියාත්මක කොට අවසන් බව ඔහු ප්‍රකාශ කරනවා. ඔහු නැවත ඡන්දය ඉල්ලන්නේ ඉතිරි සියයට දෙක ඉටු කිරීමට නොහැකිවයි. එසේ නම් මහජනතාවට අද ප්‍රශ්න ගොඩකට මුහුණපෑමට සිදුව තිබෙන්නේ ඒ සියයට දෙක ඉටු කිරීමට නොහැකි වූ නිසා දැයි මා ප්‍රශ්න කරනවා.

මහින්ද රාජපක්‌ෂගේ බොරු ප්‍රචාරවලට හා බොරු පොරොන්දුවලට තවදුරටත් මේ රටේ ජනතාවට රැවටීමට අප ඉඩ තබන්නේ නැහැ.

පොරොන්දු ඉටු කර අපි රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත්තා සේම මෙවර ලබාදෙන පොරොන්දු ද ඉටු කොට රට ඒකාධිපතිවාදයෙන් නියත වශයෙන්ම මුදා ගන්නවා. ඒ සඳහා ඔබේ සහයෝගය අපට අවශ්‍යයි. ඔබ අප සමග සිටිනතාක්‌ අපි කිසිදු බලවේගයකට බිය වන්නේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අද උත්සාහ කරන්නේ ලබන 26 වැනි දා පැවැත්වෙන මැතිවරණයේදී මැර බලය පාවිච්චි කොට ඡන්දය ප්‍රකාශයට පත් කරන ප්‍රතිශතය පහළ දැමීමටයි. නමුත් අප උත්සාහ කරන්නේ ජනතා ශක්‌තිය පෙන්වා ජනතාවට සාධාරණයක්‌ ඉටු කිරීමටයි. එය කිරීම සඳහා ඡන්ද ප්‍රතිශතය සියයට 80 ක්‌ පමණ දක්‌වා ගෙන යැමට අප බලාපොරොත්තු වෙනවා.

මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට ඇපත් අහිමි වන බව අපට විශ්වාසයි. මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ දේශපාලනඥයන් නොවෙයි. එය ජයග්‍රහණය කරන්නේ රටේ මහජනතාවයි.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මහජනතාවට උත්තර දෙන පාර්ලිමේන්තුවක්‌ ඇති කොට එහි තුනෙන් දෙකේ බලය තුළින් මහජනතාවට සාධාරණය ඉටු වන ව්‍යවස්‌ථාවක්‌ ඇති කොට එමගින් රටේ අනාගතය ආරක්‍ෂා කරනවා. එමෙන්ම රටේ සිටින සියලුම ජාතිවල, ආගම්වල අයට කිසිදු ජාති ආගම් කුල භේදයකින් තොරව එක්‌සත් රටක එක්‌ ජාතියක්‌ ලෙස විශ්වාසයෙන් යුතුව ජීවත් විය හැකි තත්ත්වයක්‌ ඇති කරනවා.

ඒ අනුව මේ රට ලෝකයේ සෙසු දියුණු රටවල් අතරට පත් කරනවා. මේ සඳහා ඔබ සැමගේ ආර්ථිකය අප ශක්‌තිමත් කරනවා. ඒ සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කිරීමට අප ක්‍රියා කරනවා. එමෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා රුපියල් දෙදහසක දීමනාවක්‌ ලබා දෙනවා. විරැකියාව නැති කොට උපාධි ධාරීන්ට රැකියා ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරනවා. රැකියා ලබා දෙන තෙක්‌ සියලුම තරුණ තරුණියන්ට රුපියල් දෙදහසක දීමනාවක්‌ ලබා දෙනවා. මේ රටේ දරු පරපුරේ අනාගතය ශක්‌තිමත් කරනවා.

මේ රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අංශවල පවතින දුර්වලතා අප මැනවින් අවබෝධ කර ගෙන සිsටිනවා. කොළඹට කිරි - ගමට කැකිරි සංකල්පය වෙනස්‌ කොට කොළඹින් බැහැර ප්‍රදේශවලට ද කොළඹ හා සමානව පහසුකම් ලබාදීම අපේ අරමුණයි.

කොළඹින් බැහැරව තිබෙන මාර්ග, පාසල්, රෝහල්, ප්‍රවාහනය, කෘෂිකර්මය වැනි ක්‍ෂෙත්‍රවල තිබෙන ප්‍රශ්න මැනවින් අප අවබෝධ කර ගෙන සිටිනවා. පොහොර සහනාධාර වැඩි කොට නියමිත ප්‍රමිතියට අනුව පොහොර ලබාදීම ඇතුළු පියවර රැසක්‌ ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ රටේ පුරවැසියෙක්‌ බැංකු ණයක්‌ ලබාගත්තත්, ව්‍යාපාරයක්‌ ආරම්භ කළත් අද දේශපාලනඥයින්ට අල්ලස්‌ ලබාදිය යුතුයි. කාට නොදුන්නත් සහෝදර සමාගමට කොටසක්‌ ලබාදිය යුතුයි. මේ තත්ත්වය අප වහාම නවතා දමනවා. මෙතෙක්‌ පගා ගැසූ, අල්ලස්‌ ලබාගත් අය නීතිය හමුවට කැඳවා දඬුවම් ලබා දෙනවා.

තැන තැන වෙඩි තබමින් රටේ මහා කලබලයක්‌ ඇති කරන මහින්ද රාජපක්‍ෂගේ මැර හමුදාව අප මෙල්ල කරනවා. ත්‍රස්‌තවාදයට මුහුණ දුන් අපට රාජපක්‍ෂලාගේ මැරයෝ ප්‍රශ්නයක්‌ නොවෙයි. ඒ මැර බලය මේ රටෙන්ම තුරන් කර දමනවා. කාන්තාවකට වුවද රාත්‍රීයේ මහමග තනිව ගමන් කළ හැකි පරිසරයක්‌ එම ජන බලය ඔස්‌සේ නිර්මාණය කරනවා. ත්‍රස්‌තවාදය අවසන් කරන බවට පොරොන්දු වුවා සේ මේ පොරොන්දුව ඉටු කිරීම මගේ අරමුණයි.

ත්‍රස්‌තවාදය අවුරුදු දෙකකුත් මාස නවයකින් අවසන් කරනු ඇතැයි කිසිවෙක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. අද අප ලබාදෙන මේ පොරොන්දු අප බලාපොරොත්තු වනවාට වඩා වේගයෙන් ඉටු කරනවා.

හොර ඔප්පු සකස්‌ කරන පුද්ගලයින් අද ආණ්‌ඩුවේ ඉහළ තනතුරුවල සිටිනවා. වටිනා ගෙයක්‌, ඉඩමක්‌ දුටුවොත් එය හොර ඔප්පු සකසා කොල්ල කනවා. මේ කටයුතුවල නියෑලෙන අයට දැන් කියන්නේ දුටුගැමුණුගේ නෑදෑයන් කියායි.

මේ තත්ත්වය වහාම නවතා දමා රටේ සෑම පුරවැසියෙකුටම රජයෙන් ඉඩමක්‌ ලබා දෙනවා.

අද මේ රටේ කාන්තා හා ළමා කාර්යාංශ පැවතුණත් ඒ සියල්ල අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ නිසා කාන්තා කාර්යාංශ තවදුරටත් දියුණු කළ යුතුයි. කාන්තාවන් සඳහා ඇමැතිවරියන් සිටියත් ඔවුනට ඉන් කිසිදු ප්‍රයෝජනයක්‌ ලැබී නැහැ. සියලු කාන්තාවන් දිරිමත් කොට ඔවුන්ට සමාජයේ හිමිතැන ලබා දෙනවා.

මේ ප්‍රදේශයේ වැලි ගොඩදැමීමේ සිට ඇඟලුම් කර්මාන්තය දක්‌වා වූ සියලු ව්‍යාපාරවලට අද දැඩි අසාධාරණයක්‌ සිදුවනවා. තැරැව්කාරයින් පගාකරුවන් හා කොල්ලකරුවන් නිසා ලාභයක්‌ උපයාගත නොහැකියි. මේ තත්ත්වය නැති කොට එම සියලු අංශ දියුණු කිරීම අපේ අරමුණයි.

මේ ප්‍රදේශවල බහුලව තිබෙන වේවැල් කර්මාන්තය, බීඩි කර්මාන්තය අද ඉතා අමාරුවෙන් පවත්වා ගෙන යැමට සිදුව තිබෙනවා. ඒ අංශවලට රාජ්‍ය මට්‌ටමෙන් කිසිදු අනුග්‍රහයක්‌ ලබා දී නැහැ. ඒ තත්ත්වය වෙනස්‌ කොට එම අංශවලට අවශ්‍ය උපකාර ලබා දී ඒවා දියුණු කිරීම මගේ බලාපොරොත්තුවයි.

බඩු මිල අඩු කරන බවට මා ප්‍රකාශ කළාම මහින්ද රාජපක්‍ෂ ද බඩු මිල ටිකක්‌ අඩු කරනවා. අධි ආරක්‍ෂිත කලාප ගැන මා කිව්වාම ජනාධිපතිවරයා උතුරට ගොස්‌ බංකර් දෙක තුනක්‌ ඉවත් කොට කොඩි ඔසවා කොළඹට පෙන්වීමට ඡායාරූප රැගෙන එනවා. නමුත් අප මේ සේවය කරන්නේ ජනතාව සහ රට ගැන සිතායි.

අප කිසිදාක රටේ ජනතාවට බොරු පොරොන්දු දී නැහැ. මින් ඉදිරියටත් එවැනි පොරොන්දු දෙන්නේ නැහැ. නව රටක්‌, නව අනාගතයක්‌ බිහි කිරීමට අප ක්‍රියා කරනවා.

මට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක්‌ දැන් දියත් වෙමින් පවතිනවා. අද මහින්ද රාජපක්‍ෂ ජීවත් වෙන්නේ මඩ වළක බැසගෙනයි. අපි රට හදන ප්‍රතිපත්ති ගැන කතා කරන විට මහින්ද රාජපක්‍ෂ කඩවුණ පොරොන්දු මත සිට අපට මඩ ප්‍රහාර එල්ල කරනවා.

යුද හමුදාවේ සිටිය දී වර්ෂයකට මා මිලියන 80,000 ක මුදල් පාලනය කළා. නමුත් අද අසත්‍ය ලියකියවිලි ඉදිරිපත් කරමින් මිලියන 30ක ගනුදෙනුවක්‌ කළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් මඩ ගසනවා. මා මේ අයට කියන්නේ ඔවුන්ගේ මිම්මෙන් අපව මනින්න සූදානම් නොවන ලෙසයි.

රටේ දූෂණය, නාස්‌තිය, සොරකම, වංචාව නැති කිරීම සඳහා මා දේශපාලනයට පිවිසියත් බඩ වඩා ගැනීමේ අරමුණෙන් දේශපාලනයට පිවිසියේ නැහැ.

මට මඩ ගැසීම සඳහා හමුදාවේ හිටපු කපිතාන්වරයෙක්‌ රජයේ රූපවාහිනී නාළිකාවකට පසුගිය දා කැඳවා තිබුණා. මා අම්පාර ප්‍රදේශයේ සිටි කාල වකවානුවේ දී ඔහු සහ ඔහුගේ දෙමාපියන් හොඳින් දැන හඳුනාගෙන සිටියා.

ඔහුට උපාධියක්‌ ලබාගැනීමට අමෙරිකාවට යෑවීමට හමුදාවෙන් නිවාඩුවක්‌ ලබාදෙන ලෙස ඔහුගේ දෙමාපියන් මා ළඟට පැමිණ වැඳ වැටුණා. ඒ අනුව හමුදා මූලස්‌ථානය සමග සාකච්ඡා කොට වසර දෙකක නිවාඩුවක්‌ ලබා දුන්නා. අමෙරිකාවට ගියපු මේ පුද්ගලයා වසර අටක්‌ එහි සැඟව සිටියා.

පසුව දෙමාපියන් අසනීප තත්ත්වයට පත්වීමෙන් පසු නැවත ලංකාවට පැමිණීමට අවස්‌ථාව සලසා දෙන ලෙස දෙමාපියන් කළ ඉල්ලීමට ඇහුම්කන් දී එවකට හමුදාපතිව සිටි ජනරාල් බලගල්ල මහතා සමග සාකච්ඡා කොට මේ පුද්ගලයාට අස්‌වීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නා.

මා එලෙස සිදුකළ උපකාරයට මොහු මට දැක්‌වූ කෘතගුණ රජයේ රූපවාහිනි නාලිකාව ඔස්‌සේ ඔබ දකින්න ඇති. මොහු ලංකාවට ගෙන්වා ගැනීමට රාජපක්‍ෂලා රුපියල් මිලියන දහයක්‌ වැයකොට තිබෙනවා.

මේ පුද්ගලයාට නවාතැන් දී තිබෙන්නේ සුපිරි හෝටලයකයි. ඔහුගේ ආරක්‍ෂාවට ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් හතර දෙනෙක්‌ යොදවා තිබෙනවා. ඔහුට අවශ්‍ය සියලු සැපපහසුකම් ලබාදී ඔහු මාර්ගයෙන් අසත්‍ය ප්‍රචාර රට පුරා පතුරුවනවා.

මේ පුද්ගලයා රජයේ රූපවාහිනි නාලිකාව ඔස්‌සේ ප්‍රකාශ කළේ ඔහුගේ ජීවිතයට හානියක්‌ සිදුවුවහොත් ඊට ජෙනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු බවයි. ඒ ප්‍රකාශය කොට නැවත කාමරයට පැමිණෙන විට සුදු වෑන් රියකින් පැමිණි මැර පිරිසක්‌ ඔහුට අල්ලා ගැනීමට උත්සාහ කළත් ඔහු පැනගොස්‌ ජීවිතය බේරාගෙන තිබෙනවා. ඔහුගේ ආරක්‍ෂාවට සිටි ආරක්‍ෂක නිලධාරීන් ද සැඟවී තිබෙනවා. ආණ්‌ඩුවේ තත්ත්වය ඕකයි.

ලබන 26 වැනිදා මේ රටේ අනාගතය පිළිබඳ තීන්දුවක්‌ ගැනීමට ජනතාවට අවස්‌ථාව උදා වෙනවා. එහිදී මැරයන්ට හෝ මහින්ද රාජපක්‍ෂගේ බොරු ගෙරවිලිවලට හෝ බිය නොවී ඔහුගේ කෲර පාලනයට අවසන් තිත තැබීම සඳහා සියලු දෙනා ඡන්දපොළට ගොස්‌ සිය වටිනා ඡන්දය හංසයා ලකුණ ඉදිරියේ සලකුණු කරන ලෙස මා රටේ සමස්‌ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එක්‌සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා(- මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශනයෙන් කාන්තාවනට තැනක්‌ දී නැහැ. රාජපක්‍ෂ පාලන කාලයේදී කාන්තාවන් විවිධ අඩම්තේට්‌ටම්වලට ලක්‌වුණා. කාන්තාවකට දරුවෙකු රැගෙන රෝහලකට යැමට සිදුවී ඇත්තේ සිතේ බියෙනුයි. ආණ්‌ඩුවෙන් දෙන බෙහෙත් බිව්වොත් දරුවාගේ ජීවිතය අවදානමකට ලක්‌විය හැකියි. රෝගී දරුවෙකුට කැඳ උගුරක්‌ පොවන්නටවත් කාන්තාවනට වත්කමක්‌ නැහැ. පාසල් සිසුන් සඳහා නිවැරැදිව විභාගයක්‌ පවත්වන්නටවත් රාජපක්‍ෂ ආණ්‌ඩුවට හැකියාවක්‌ නැහැ.

මෙතෙක්‌ ගැහැණුන් නොමරා මැරූ ආණ්‌ඩුව දැන් ප්‍රසිද්ධියේම කාන්තාවන් මරා දමන්නට කළෙමින් සිටිනවා.

ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කිරීම සඳහා ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ ප්‍රචාරය වන පබා ටෙලි නාට්‍යයේ උපේක්‍ෂා ස්‌වර්ණමාලී අප වේදිකාවට ගොඩවුණා. දැන් උපේක්‍ෂා එම ටෙලි නාට්‍යයෙන් ඉවත්කර තිබෙනවා. ආණ්‌ඩුව කාන්තාවනට සලකන්නේ මෙසේද? කාන්තාවනට අපහාස වන අයුරින් කතා කළ මර්වින් සිල්වා තවමත් මහ රජතුමාගේ රැකවරණය යටතේ සිටිනවා. මොහු රටේ උද්ධමනය ඉහළ යැම කාන්තාවනට දරුවන් ලැබීමට සම කළා. මහින්ද කාන්තාවන්ට සලකන්නේ නැති නිසා මර්වින් අසභ්‍ය වචන කියමින් රට වටේ යනවා.

උතුරේ අවතැන් වූ කාන්තාවන් ලක්‍ෂ ගණනින් කඳවුරුවලට වී සිටියා. ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලුවේ නෑ. අවතැන් කඳවුරුවල රඳවා තිබුණු කාන්තාවන්ගේ පහසුකම් ඇති කිරීමට කටයුතු කරන්නැයි කාන්තා සංවිධාන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

අප කාන්තාවන්ට උපකාර කිරීම සඳහා දිරි පියස මධ්‍යස්‌ථාන බිහි කළා. මෙම ආණ්‌ඩුව විසින් එම ආයතන සියල්ල වසා දැමුවා.

රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමට යනවා. ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහන ලබාදීම සඳහා විදේශ රටවල් පනවන එකම කොන්දේසිය ප්‍රජාතන්ත්‍රවාදය රැකීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බැවින් මෙම බදු සහනය අපට අහිමි වෙනවා. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ රැකියා අවදානමකට ලක්‌වී තිබෙනවා. කාන්තාවන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා කිරීමට මෙම ආණ්‌ඩුව සූදානම් නැහැ. මුළුතැන්ගෙය ආරක්‍ෂා කිරීම සඳහා රාජපක්‍ෂ ආණ්‌ඩුව අසමත් වෙලා. බඩු මිල ඉහළ යැම නිසා මුළුතැන්ගෙය අද දරුණු අර්බුදයකට ලක්‌වී තිබෙනවා.

රුපියල් 550 ට තිබූ ගෑස්‌ සිලින්ඩරය අද රුපියල් 1540 දක්‌වා මිල ඉහළ ගොස්‌ තිබෙනවා. සියලු පාරිභෝගික භාණ්‌ඩ මිල අහස උසට ඉහළ නැඟ තිබෙනවා.

කුස්‌සියට පහර දුන් මහ රජතුමා කාන්තාවන්ට සලකන්නේ කෙසේද? මෙම තත්ත්වය යටතේ තම සැමියාට සහ දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාදීමට කාන්තාවට හැකියාවක්‌ නැහැ. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ජනාධිපතිවරයා පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිඥ ලබාදී තිබෙනවා. එය විශ්වසනීය වෙනසේ එක්‌ අංගයක්‌ බව කිව යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා(- මේ දිනවල අපි ලංකාවේ සෑම තැනකම යනවා. ඒ හැම තැනම අපි දකින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කරා ආකර්ෂණය වී තිබෙන අතිමහත් ජනකායයි. අපි හිතුවාට වඩා මේ ජනතා රැල්ල ලංකාවේ හැම තැනම යනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් සහ මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා(- දේශපාලන කටයුතුවල නිරත වන ජනතාවට මහ දවල් වෙඩි තබා ඝාතනය කරන තත්ත්වයක්‌ අද උදාවී තිබෙනවා.

මැතිවරණ නීතිරීති කඩකරමින් ආණ්‌ඩුව ගෙන යන ක්‍රියා පිළිවෙත නිසා අද මැතිවරණ කොමසාරිස්‌වරයා අසරණ වී සිටිනවා.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා(- ආණ්‌ඩුව මේ දිනවල පරාජයෙන් වියරු වැටිලා. රජයේ මාධ්‍ය යොදා ගනිමින් මඩ ගහනවා. අපේ සාමාජිකයන්ට පහර දෙනවා. මිනී මරනවා. හම්බන්තොටදී වයසක කාන්තාවකට සංවේදී නායකයාගේ සහචරයන් වෙඩි තබලා. මේ මිනීමරු පාලනය ගෙදර යෑවිය යුතු නැද්ද? මොවුන් වැඩිපුර වියරු වැටීමෙන් සිදුවන්නේ පරාජය තව තවත් තහවුරු වීමයි. බෙදුම්වාදී ත්‍රස්‌තවාදය පරාජය කළ ජෙනරාල් සරත් ෆොන්සේකාට මැදමුලනේ ත්‍රස්‌තවාදය හා චණ්‌ඩිපාට්‌ පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම ඉතා පහසු කාර්යයක්‌.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා(- තැපැල් ඡන්දයෙන් දැනටමත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දිනලා ඉවරයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලුම රජයේ සේවකයන් මහින්දගේ 2500 අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ 10,000 සමග එකතුවෙලා තිබෙනවා.

හිටපු නියෝජ්‍ය තැපැල් අමාත්‍ය කම්කරු කොංග්‍රසයේ උප නායක එස්‌. සෙල්ලසාමි මහතා(- වතුකරයේ ජනතාව ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම සඳහා පෙළගැසී සිටිනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා(- පොලිස්‌ ස්‌ථානාධිපතිවරු දෙදෙනෙක්‌ තම නිල වාහනවලින් ගිහින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෝස්‌ටර් ගසා තිබෙන බව අපට ආරංචියි. තම රාජකාරි බලය දේශපාලනයට යොදා ගන්නා රජයේ සේවකයන්ට එරෙහිව අප ඉදිරියේදී ක්‍රියා කරනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා(- 1948 වසරින් පසු මෙරට දැවැන්තම දේශපාලන වෙනස සිදුවන්නේ මේ වසරේදියි. තවදුරටත් ආණ්‌ඩුවේ දූෂණ පැවතුණහොත් මෙරට ඉතිරි වන්නේ තාරුණ්‍යයට හෙටක්‌ නොව "හොරකමට හෙටක්‌" බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා(- ක්‍රීඩකයන් යම් දේශපාලනයකට ගැති වීමෙන් එම ක්‍රීඩකයා අන්තර් ජාතික තරගවලට තේරීමේදී ක්‍රීඩා තේරීම් කමිටුවලට අනිසි දේශපාලන බලපෑම් එල්ල විය හැකියි. මෙවැනි ක්‍රියා තරුණ ක්‍රීඩකයන්ට වැරැදි පූර්වාදර්ශයක්‌ බව කිව යුතුයි.

ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පුරාවිද්‍යා විශාරද දඹර අමිල හිමි. හදිස්‌සියේ රූපවාහිනිය ඔස්‌සෙ දේශප්‍රේමි භාවයකින් කළඑළි බැස තිබෙන රාජපක්‍ෂ මහත්තයාගේ අතීතය පිළිබඳ ජනතාව දන්නවා. රට කෑලිවලට බෙදන්න නොයෙක්‌ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කෙරෙද්දී මේ මහා දේශප්‍රේමියා පිටකොටුවේ හිටියේ නෑ. කාමරවලට වෙලයි හිටියේ.

 
Powered By -