දෙමළ සන්ධානයේ ඡන්ද ලක්‍ෂයකට
ජෙනරාල් ෆොන්සේකා මුළු රටම පාවාදීලා

බස්‌නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල


ලසිත් දුමින්ද

දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද එක්‌ ලක්‍ෂ තුන්දහසකට ජෙනරාල් සරත් ෆොන්සේකා රට පාවාදී ඇතැයි ජාතික හෙළ උරුමයේ නීති උපදේශක සහ බස්‌නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වෙමිනි.

සිංහල වීරයා තෝරන මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව කිසිවක්‌ කළ යුතු නැතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. නමුත් ඔවුන් කොන්දේසි සහිතව ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දෙනවා. පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම යන ප්‍රතිපත්තියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්නේ. දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි එතුමාට ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඒවා එකහෙළාම ප්‍රතික්‍ෂේප කළා. ඒ කොන්දේසි ජෙනරාල් පිළිඅරන් තිබෙනවා.

ජවිපෙ සදාචාරාත්මක දේශපාලනය ගැන ප්‍රශ්න මතුවෙලා. කොටින්ගේ තව ආයුධ කොහේ තියනවද කවුද දන්නේ? සිරගත කළ කොටි නිදහස්‌ කළොත් ඒ සැඟවූ ආයුධ ඔවුන් අතට ගන්නවා. අඳුරෙන් එළියට එමින් තිබෙන රට ජෙනරාල් සරත් ෆොන්සේකා යළි අඳුරට ගෙන යනවා. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ආ නිසා ජාත්‍යන්තරයේ කොටි අද සතුටින් ඉන්නේ. ඔවුන්ගේ වත්කම්වලින් තමයි එතුමා ජනාධිපතිවරණයට තරග වදින්නේ.

දෙමළ ජාතික සන්ධානයට අද ජනමතයක්‌ නැහැ. ඔවුන්ට තිබෙන්නේ රට පාවාදීමේ කොන්දේසි විතරයි. අවතැන්වූ ජනතාවට අද තමන්ගේ ගමට යන්න අවස්‌ථාව උදාවෙලා තිබෙනවා.

අවි ගනුදෙනු සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ කුතුහලයක්‌ ඇතිවී තිබෙනවා. එසේ නොමැති නම් ඒවා රටට හෙළි කරන්න. නමුත් ජෙනරාල් ෆොන්සේකා එවැනි පියවරක්‌ තවම ගෙන නැහැ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජය පෙනි පෙනී ආණ්‌ඩුවේ අය මැරකම් කරනවා. ඔවුන් එසේ කරන්නේ රජය අපහසුවට පත් කරන්නයි. කවුරු මැරකම් කළත් අප හෙළා දකිනවා.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ආචාර්ය ඕමල්පේ සෝභිත ස්‌වාමීන් වහන්සේ

1982 න් පස්‌සේ රටේ මෙවර ජනපතිවරණය පවත්වන්නේ සාමකාමී වාතාවරණයක්‌ තුළයි. අද ත්‍රස්‌තවාදය අවසන්. ඒ සතුට විනාශ කරමින් යන වැඩපිළිවෙළක්‌ රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනවාරි 26 වැනිදා මේ රටේ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කළ යුතුයි.

පක්‍ෂ විපක්‍ෂ මැර ක්‍රියා අප පිළිකුලෙන් හෙළා දකිනවා. ඇතමුන් ආණ්‌ඩුවේ ඉඳගෙන මැරකම් කරන්නේ විපක්‍ෂයේ සල්ලිවලටයි. විපක්‍ෂයේ අය මැරකම් කරන්නේ අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමටයි. මැර බලය මුදා නොහැරිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුයි.

මැර වැඩපිළිවෙළ නවත්වා අවංකවම මැතිවරණයට ඉදිරිපත්වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි.
 

 
Powered By -