රාජ්‍ය නායකයින් හතර දෙනෙකුටම බැරි වුණත්
ජනපති මහින්ද ගත් එඩිතර තීන්දුව නිසා
ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදයට තිත තබන්න හැකිවුණා

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහනුවරදී කියයි

සිරිල් විමලසුරේන්ද්‍ර

ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා වැනි දක්‍ෂ හමුදා නිලධාරීන් එදා සිටි නමුත් එවකට සිටි රාජ්‍ය නායකයන් හතර දෙනා වත්මන් රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ ගත් පියවර නොගත් නිසා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට නොහැකි වී යෑයි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහනුවරදී පැවැති දැනුවත් කිරීමේ සමුළුවකදී ප්‍රකාශ කළේය.

මහනුවර උඩරට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී සමුළුව පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද ජයග්‍රහණය සඳහා සියලුම අවශ්‍යතා ත්‍රිවිධ හමුදාවට සලසා දෙමින් එම හමුදා සංඛ්‍යාත්මක ලෙස ඉහළ නැංවීමට පියවර ගත් බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැහැදිලි කළේය.

බුද්ධි අංශය ඇතුළු සියලුම අංශ හා අවශ්‍ය නිලධාරීන් හා පුද්ගලයන්ද සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර හා අවශ්‍ය පහසුකම් ද යුද ජයග්‍රහණය සඳහා ලබාදුන්නේ යෑයිද ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.

මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදාගත යුතුය යන මතයට එකහෙළා එළඹ සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය වුවද දේශීය මෙන්ම අන්තර් ජාතික පරිසරය සකස්‌ කර ගත්තේ යෑයිද රාජපක්‍ෂ මහතා කීවේය.

ආරක්‍ෂක ලේකම්වරයා මෙසේද පැවසීය.

ත්‍රස්‌තවාදය විනාශ කිරීමේ මෙහෙයුම් පවත්වාගෙන යමින් සිටියදී ජාත්‍යන්තරයේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ප්‍රභාකරන් මිය යැමත් සමග තවත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල් ඇතුළු ප්‍රබල බටහිර රාජ්‍යයන් ප්‍රශ්න මතු කරන්නට පටන් ගත්තා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා බුද්ධිමත්ව ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සමත් වුණා.

සුදු කොඩි ප්‍රශ්නයක්‌ මතු කරමින් සරත් ෆොන්සේකා අලුතෙන් ගැටළුවකුත් නිර්මාණය කළ බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

ත්‍රස්‌තවාදය පරාජය කොට රටේ ජන ජීවිතය සුරක්‍ෂිත කිරීමෙන් පසුව දැන් සරත් ෆොන්සේකා මහතා ඉදිරියට දමා මටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු අපේ පවුලටත් අභූත චෝදනා හා මඩ එල්ල කරමින් සිටියි. මාව එක කකුලකින් හිටගෙන සිටීමට හැකි සිර කූඩුවකට දමනවා කියා කියා තිබුණේදැයි රාජපක්‍ෂ මහතා කීවේය.

ඒ මහතා මෙසේ ද කීය. කුරුණෑගලින් මට පොල් ඉඩම් ලබා දුන්නා කියනවා. රාජපක්‍ෂ පවුල විශාල ධනයක්‌ හම්බ කළා කියනවා. ඇපලෝ රෝහල මා මිලට ගත්තා කියනවා. ගොල්ඩන් කී ලියා දුන්නා කියනවා. මේ වගේ බොරු ප්‍රචාර පතුරුවමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක්‌ සරත් ෆොන්සේකා ඉස්‌සරහට දාගෙන ක්‍රියාත්මක වෙනවා. මේ කිසිම චෝදනාවක සත්‍යයක්‌ නැහැ.

මේ බොරු ප්‍රචාර කරන්නේ සරත් ෆොන්සේකාට අසාධාරණයක්‌ කළා කියායි. දවස්‌ දොළහකින් විශ්‍රාම යැමට සිටියදී සේවය උසස්‌ කර තනතුරු ලබා දීමද මහින්ද රාජපක්‍ෂ මහතා කළ අසාධාරණය. සරත් ෆොන්සේකාට පුද්ගලික වශයෙන් කළ හැකි සෑම උපකාරයක්‌ම ජනාධිපතිතුමා කළා. වටිනා ඉඩමක්‌, මෝටර් රථයක්‌ පවුලේ වෙනත් අවශ්‍යතාවන් ජනාධිපතිතුමා සලසා දුන්නා.

එවැනි උපකාරවලට කෘතගුණ සරත් ෆොන්සේකා සලකන්නේ ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමාටත් පවුලේ සාමාජිකයන්ටත් බොරු චෝදනා සහ මඩ ගැසීම්වලින්. මේ වගේ මනුස්‌සකම් දන්නේ නැති පුද්ගලයන් රටේ නායකයන් බවට පත් වුවහොත් කුමක්‌ සිදුවෙයිද? සුදුකොඩි කතාව කොයිතරම් බොරුවක්‌ද? ඒ බොරු නිසා ජාත්‍යන්තරයෙන් කොතරම් බලපෑම් එනවාද? එය පෞද්ගලික වශයෙන් ජනාධිපතිතුමාටත් රජයටත් පමණක්‌ නොව රටට කොතරම් හානියක්‌ද? කළගුණ නොදත් පුද්ගලයන් රටටත් ජාතියටත් ෙද්‍රdaහීකම් කරන බව ඉතාම පැහැදිලියි. වෛරය, ක්‍රෝධය අරමුණු කරගත් සරත් ෆොන්සේකා ඉස්‌සරහට දමාගෙන බල තණ්‌හාවෙන් ක්‍රියා කරන කණ්‌ඩායම්වලට මේ රටේ බුද්ධිමත් ජනතාව කිසි දවසක සහාය දෙන්නේ නැත.

මේ රටේ සංවර්ධනයට විශාල බාධාවක්‌වී තිබුණු ත්‍රස්‌තවාදය පරාජය කොට නිදහසින් පසුව අනාගත පරපුර සඳහා සමෘද්ධිමත් දේශයක්‌ උදාකර දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමට එක්‌වෙමුයි ඒ මහතා පැවසීය.

පූජ්‍ය ගලගෙදර ඥනානන්ද, පූජ්‍ය සංසුන්ගම ඥනරතන යන නාහිමිවරුද ජනාධිපති උපදේශක ඡේ. ආර්. පී. සූරියප්පෙරුම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරුද මෙහිදී කතා කළහ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ජාතික හෙළ උරුමය දිස්‌ත්‍රික්‌ සංවිධායක තුෂාර ස්‌වර්ණතිලක, මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති (එජාප) සුමින්ද වික්‍රමසිංහ, මහනුවර මහ නගර සභාවේ විපක්‍ෂ නායක සේන දිසානායක සහ ශ්‍රීලනිප මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක අධිනීතිඥ එම්. පී. ජයසිංහ යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

ලක්‌ෂ්මන් හුළුගල්ල මහතා විශේෂ ආරාධිතයකු ලෙස රැස්‌වීමට සහභාගි විය.
 

 
Powered By -