හෙළ උරුමයේ පිරිසක්‌ ජෙනරාල්ගේ සහායට එති

මුල්ලේරියාව - ප්‍රියන්ත මද්දුමආරච්චි

හෙළ උරුමය පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් දෙදෙනකු, නියෝජ්‍ය මූල්‍ය ලේකම් ඇතුළු මාතර, ගාල්ල, මොණරාගල දිස්‌ත්‍රික්‌ සංවිධායකයන් හා නියෝජ්‍ය සංවිධායකයන් නව දෙනකු ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වූ පරිදි අන්‍යාගම්වලට පිරිස්‌ බලහත්කාරයෙන් බඳවා ගැනීමට එරෙහිව ගෙනඑන බව කී පනත නොගෙන ඒම ඇතුළු කරුණු කිහිපයක්‌ නිසා ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය පළ කරන බව මෙම පිරිස ඊයේ (14 වැනිදා) රාජගිරිය නාවල පාරේ ධර්මරාජිකාරාමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

පුරාවස්‌තු විනාශය නතර කිරීමට අපොහොසත්ව තිබීම, විහාරස්‌ථාන ගොඩනැඟීමේදී රාජ්‍ය මූල්‍ය ආධාර ලබා නොදීම ආදී කරුණු ද මෙම තීරණයට හේතු වූ බව හෙළ උරුමයේ නියෝජ්‍ය මූල්‍ය ලේකම් කැස්‌බෑව ආසන සංවිධායක ශාස්‌ත්‍රපති පූජ්‍ය කළුබෝවිල කුසලඥන හිමියෝ එහිදී පැවැසූහ.
 

 
Powered By -