"රජයේ සමහර උසස්‌ පුද්ගලයින්
තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේ
බදු මුදල් වියදම් කරනවා"

අනෝමා ෆොන්සේකා (යටියන්තොට දී )


යටියන්තොට - කේ. කේ. ඩී. රූපසිංහ සහ සෝමචJද්‍ර යකන්දාවල

රජයේ සමහර උසස්‌ පුද්ගලයන් තමන්ගේ සුඛවිහරණය සඳහා ජනතාවගේ බදු මුදල් වියහියදම් කරන බවත් මෙවැනි අයථා දේවලට විරුද්ධව කාන්තාවන් වන අප විසින්ද හඬක්‌ නැගිය යුතුව ඇතැයි විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය යටියන්තොට දී පැවැසුවාය.

විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කිරීම සඳහා යටියන්තොට එ.ජා.පක්‍ෂ හා ජ.වි.පෙ. ක්‍රියාකාරීන් ඇතුළු වනිතා සංවිධාන හා රණවිරු පවුල්වල සාමාජිකයන් විසින් සංවිධානය කරන ලද ජන හමුවක්‌, අමතමින් අනෝමා ෆොන්සේකා මහත්මිය එසේ අදහස්‌ ප්‍රකාශ කළේ යටියන්තොට මීගහවැල්ල, අමාෂා හෝටලයේ රැස්‌වීම් ශාලාවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ෆොන්සේකා මහත්මිය මෙසේද පැවැසුවාය.

මා කවදාවත් දේශපාලන වේදිකාවලට නැගපු කෙනෙක්‌ නොවෙයි. යුද හමුදා වනිතා සංවිධානයේ සභාපතිනිය හැටියටත්, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය හැටියටත් මා අපේ රණවිරුවන්ගේ සුබසාධන හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් වේදිකාවට නැග හඬක්‌ නගා තිබෙනවා. දැන් මා ඉදිරිපත් වී සිටින්නේ රට වැසියා වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් හඬක්‌ නැගීමට බව කියන්නට සතුටුයි.

එ.ජා. පක්‍ෂයටත්, ජනතා විමුක්‌ති පෙරමුණටත් ඒවාගේම ශ්‍රී. ල. නිදහස්‌ පක්‌ෂයේ මහජන පාර්ශ්වයත් සමග තවත් පක්‍ෂ ගණනාවක්‌ සමග එකතුවෙලා පොදු අපේක්‍ෂයකු හැටියට මාගේ ස්‌වාමි පුරුෂයා තෝරා ගැනීම ගැන මම එතුමන්ලාට ස්‌තුතිවන්ත වනවා. එතුමා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් මා හිතනවා ජනතාව ඔහු කෙරෙහි විශ්වාසයක්‌ තබා තිබෙන බව. එතුමා කියුදේ කරන මිනිහෙක්‌. මේ රටේ තිබෙන දූෂණ, වංචා, අසාධාරණකම් නවතා අද රට යන අත වෙනස්‌කොට යහ පාලනයක්‌ ගෙන යැමට ඔහුට හැකිවේ යෑයි මා විශ්වාස කරනවා.

මෙම ජන හමුවේදී යටියන්තොට ශ්‍රී. ල. නි. පක්‍ෂ හිටපු සංවිධායක අනුරාධ පතිරණ මහතාත් යටියන්තොට ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස. මන්ත්‍රීවරයකු වන ඡේ. එම්. බදුර්දීන් මහතාත් පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කරමින් සභාව ඇමැතූ අතර, යටියන්තොට, එ.ජා.ප. ප්‍රධාන සංවිධායක සුජිත් සංජය පෙරේරා, ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක, බුලත් කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක නිහාල් රෝහිත කුමාර, ලංකා ගමනාගමන මණ්‌ඩලයේ හිටපු සභාපති යූ. එල්. එම්. පාරුක්‌ යන මහත්වරුද ජනහමුවේදී අදහස්‌ දැක්‌වූහ.

 
Powered By -