26 වැනිදා ජෙනරාල් ෆොන්සේකාගේ ජයග්‍රහණය ස්‌ථිරයි
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන


පියසේන දිසානායක සහ ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද

මැතිවරණ නීතිරීති කඩකරමින් ආණ්‌ඩුව මොන කුමන්ත්‍රණ කළත් ජනවාරි 26 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් නියත වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ලබන අප්‍රේල් මාසයේ පිහිටුවන එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව විසි වසරක්‌ පුරාවට විවිධ අසාධාරණකම්වලට හා දේශපාලන පළිගැනීම්වලට ලක්‌ව සිටින එජාප පාක්‍ෂිකයන්ට සහන සලසාදීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවැසීය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස්‌ පළ කළේ (11 දා) ගාල්ල දිස්‌ත්‍රික්‌ යොවුන් සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ යොවුන් සම්මේලනයට මෙතරම් විශාල තරුණ තරුණියන් පිරිසක්‌ පැමිණෙනු ඇතැයි මා විශ්වාස කළේ නැහැ. මගේ විශ්වාසය වුණේ දහසකට ආසන්න පිරිසක්‌ කැඳවීමටයි. නමුත් අද මෙතනට දෙදහසකට අධික තරුණ තරුණියන් පිරිසක්‌ පැමිණ සිටිනවා.

පටු දේශපාලන ආකල්පවලින් බැහැරව යහ පාලනයක්‌ තුළින් රට ගොඩගත හැකි නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් අද එක්‌ පොදු අරමුණකට පෙළගැසී සිටිනවා.

දේශපාලන පක්‍ෂවලට විවිධ මතවාද තිබුණත් අද අප එක්‌ වේදිකාවකට ගොඩවී මේ සටනට එන්නේ පොදු අරමුණක සිටයි. ගැලපෙන, නොගැලපෙන දේශපාලන පක්‍ෂ මේ වේදිකාවේ සිටිමින් ඒ අතරින් ගැලපෙන කරුණු සම්බන්ධව අපි එක මතයකට පැමිණ සිටිනවා.

අපි සියලු දෙනා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. ජනවාරි 27 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු භාරකාර ආණ්‌ඩුවක්‌ හදන්න අපි එකඟයි. ඒ භාරකාර රජය දින 60 ක්‌ ඇතුළත මහා මැතිවරණයක්‌ පවත්වනවා. ඒ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය සහිත කණ්‌ඩායමට ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකියි. එලෙස පිහිටුවන ආණ්‌ඩුව දින 180 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. අද ඇතැම් අය පුවත්පත් මාර්ගයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. වජිර අබේවර්ධන පක්‍ෂය හැර යනවාලු. ඒ විහිළු කතාවලට මා කලබල වෙන්නේ නැහැ. මට පමණක්‌ නොව වසර 40 - 50 ක්‌ දේශපාලනය කළ දි. මු ජයරත්නටත් ඒ දෙයම ප්‍රකාශ කරනවා.

අපි හැමදාමත් නිසි දර්ශනයක්‌ හා ඉලක්‌කයක්‌ ඇතිව වැඩ කරන පුද්ගලයන්. ඒ නිසා පක්‍ෂය හැර යැමට හෝ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙනයැමට සහයෝගය නොදක්‌වා සිටීම මගේ ප්‍රතිපත්තිය නොවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට මගෙන් ඉටුවිය යුතු සෑම කටයුත්තක්‌ම මා ඉටු කරනවා. එය ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මගේ ජනතාව හොඳින් දන්නා බව කිව යුතුයි.

පසුගිය කාලය පුරාවට ඇතැම් අය එක්‌සත් ජාතික පක්‍ෂය අරලියගහ මන්දිරයට උකස්‌ කිරීමට උත්සාහ කළත් රනිල්ට කොන්ද පණ තිබුණ නිසා එය කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගත හැකි ඓතිහාසික දේශපාලන තීන්දුව අද එතුමා ගෙන තිබෙනවා. නොගැලපෙන, අවශ්‍ය නැති වෙලාවක පවත්වන ජනාධිපතිවරණයට අවශ්‍ය කරන දක්‍ෂම, හොඳම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළා.

යුද්ධයට අයිතිවාසිකම් කියන්න අද බොහෝ දෙනා උත්සාහ කරනවා. නමුත් ඒ මොනවා කළත් යුද්ධය ජයග්‍රහණය කිරීම පිළිබඳව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉතිහාස පොතේ ලියවෙන බව කිව යුතුයි.

කොපමණ මඩ ප්‍රහාර ගෙන ගියත් අවලාද නැගුවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග්‍රහණය වැළැක්‌වීමට කිසිදු බලවේගයකට හැකිවන්නේ නැහැ. නියත වශයෙන්ම එතුමා රටේ ජනාධිපති ධුරයට පත්වනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයට හැමදාමත් වැරැදුනේ කෘත ගුණදත් දේශපාලන පක්‍ෂයක්‌ ලෙස පාක්‍ෂිකයන්ට උදව් උපකාර නොකිරීමයි. පක්‍ෂයේ මතවාදය ගෙන යන අයට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ උප සභාපති ඉමිතියාස්‌ බාකිර් මාකර් මහතා - මේ රටේ මෙතෙක්‌ ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික දේශපාලන ගමන වෙනස්‌ කොට ජනතාවට, රටට යහපත් අනාගතයක්‌ ගොඩනඟාදීම සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සටනට පිවිස සිටිනවා. අලුත් පරම්පරාව අද මේ රටේ දේශපාලනය පිළිකුල් කරන තත්ත්වයට පත්වෙලා. මේ රටේ විශ්වසනීය වෙනසක්‌ අත්‍යවශ වී තිබෙනවා. එය කළ හැක්‌කේ සියලු පක්‍ෂ සමග සහයෝගයෙන් ඉදිරිපත්ව සිටින පොදු අපේක්‍ෂකවරයාට පමණයි.

යුද්ධයකින් පසු ලොව බොහෝ රටවල් දියුණු තත්ත්වයකට පත් වුවත් ජපානය, සිංගප්පූරුව, ජර්මනිය වැනි රටවල් ඉතා කෙටි කාලයක්‌ තුළ ආරම්භ වූ ගමනට ළංවීමටවත් අපේ රටට අද නොහැකි වී සිටිනවා. මේ තත්ත්වය වෙනස්‌ විය යුතුයි. එසේ නොවුණහොත් අනාගත දරු පරපුරට යහපත් රටක්‌ නිර්මාණය කර දිය නොහැකියි.

අද මේ රට අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම, ආර්ථිකය ගොඩනැඟීම, නිදහස, ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීම වැනි පොදු අභියෝග ජයගන්න අද පොදු ප්‍රයත්නයක්‌ අවශ්‍යයි. ඒ සඳහා සරත් ෆොන්සේකා නියම පෙළ ගැස්‌මක්‌ අද රටේ ඇති කොට තිබෙනවා.

එක්‌සක්‌ ජාතික පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා

අද මේ රටේ වෙනසක්‌ සිදුවිය යුතු බව බහුතර ජනතාවක්‌ ඉල්ලා සිටිනවා. මේ පාලනය වහා වෙනස්‌ කළ යුතු බව ඒ ජනතාවගේ විශ්වාසය. ඒ අනුව රටේ සැබෑ වෙනසක්‌ ඇති කිරීම සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්කර ගන්නා බව අපට විශ්වාසයි.

ඉතිහාසයේ මෙවැනි ජන බලයක්‌ ගොඩනැඟී තිබුණේ නැහැ. නමුත් අද රටේ සෑම ප්‍රදේශයකම දකින්නට ලැබෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ජනතාව පෙළගැසී සිටින ආකාරයයි.

ජනතාව පීඩාවට පත්කරමින් ගෙන යන වත්මන් පාලනය තුළින් රටේ ඉදිරි ගමනට කිසිදු සෙතක්‌ සැලසී නැහැ. දූෂණයට, හොරකමට, වංචාවට අද මුල්තැන දී තිබෙනවා. මේ විනාශය වෙනස්‌ කිරීම යුගයේ අවශ්‍යතාවයක්‌ සඳහා අප ක්‍රියා කළ යුතුයි.

මෙම යොවුන් සම්මේලනය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන විඡේපාල හෙට්‌ටිආරච්චි, මනුෂ නානායක්‌කාර, බන්දුල ලාල් බණ්‌ඩාරිගොඩ, ක්‍රිෂාන් පුෂ්පකුමාර යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.
 

 
Powered By -