පොලිසියේ මැදිහත්වීමෙන් එප්පාවල ඡන්ද ගැටුමක්‌ වළකී

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය පළකිරීමට පෙරේදා (13 දා) සවස එප්පාවල නගර මධ්‍යයේ පැවැති ප්‍රචාරක රැලියක්‌ අවස්‌ථාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආධාරකරුවන් සහ එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක්‌ අතර උද්ගතවන්නට ගිය ගැටුමක්‌ එප්පාවල පොලිසියේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් වැළැක්‌විණි.

එප්පාවල නගර මධ්‍යයේ ඉදිකොට තිබෙන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත විශාල ප්‍රමාණයේ පුවරුවකට එක්‌සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණේ ආධාරකරුවන් බව කියන පිරිසක්‌ විසින් හානි සිදු කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආධාරකරුවන් සියයකට ආසන්න පිරිසක්‌ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කෙරෙන ප්‍රචාරක රැළිය පැවැති ස්‌ථානය ආසන්නයේ සිට රැස්‌වීමට බාධාවන අයුරින් ක්‍රියාකිරීම නිසා දෙපාර්ශ්වය අතර මෙම ගැටුම ඇතිවිය.

ප්‍රචාරක රැළිය ආරම්භවීමත් සමගම පැමිණි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආධාරකරුවන් ජනාධිපතිවරයාගේ ප්‍රචාරක පුවරුවට හානි සිදු කළේ එක්‌සත් ජාතික පක්‍ෂ හා ජනතා විමුක්‌ති පෙරමුණේ ආධාරකරුවන් යෑයි චෝදනා කරමින් එප්පාවල නගරයේ තුන්මංහන්දිය දිගේ බිම දිගාවී වාඩිවී කෑ කෝ ගසමින් හා රතිඤ්Æ පත්තු කරමින් සිය විරෝධතාවය පළ කළ අතර, මේ හේතුවෙන් වාහන ගමනා ගමනයටද බාධා එල්ලවිය.

මේ වන විට ප්‍රචාරක රැළිය පැවැති ස්‌ථානයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කරන පාක්‍ෂිකයන් බොහෝ දෙනෙක්‌ රැස්‌ව සිටියහ.

පසුව නොසන්සුන්තාවක්‌ ඇති වූ අතර, එම අවස්‌ථාවේ වහා ක්‍රියාත්මක වූ එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. කේ. සමරසේන මහතා පොලිස්‌ කැරළි මර්දන ඒකකයේ නිලධාරින්ද කැඳවා ඔවුන්ගේ ගමන වැළැක්‌වීය.

එම අවස්‌ථාවේ විරෝධතා කරුවන් පොලිස්‌ අණ නොතකා ඉදිරියට යැමට උත්සාහ කළත් ඊට ඉඩදීම ප්‍රතික්‍ෂේප කළ පොලිස්‌ නිලධාරීහු පසුව ඔවුන් විසුරුවා යෑවූහ.

අනතුරුව කිසිදු බාධාවකින් තොරව ජනතා විමුක්‌ති පෙරමුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය පැවැති අතර එප්පාවල පොලිසියේ නිලධාරින් අපක්‍ෂපාතීව ක්‍රියාකිරීම හේතුවෙන් ඇතිවන්නට ගිය විශාල ගැටුමක්‌ වැළකී ගිය බව එප්පාවල නගරවාසීහු "දිවයින" ට පැවැසූහ.

 
Powered By -