යෞවනයේ මහා ක්‍රිකට්‌ මංගල්‍යය අද ඇරැඹේ

අසේල විතාන

අනාගත ක්‍රිකට්‌ ලෝකය දිග් විජය කරන්නට පෙර යොවුන් වියේදීම සමකාලීනයන් සමග උරෙන් උර ගැටී පන්නරය ලබන්නට සැරසෙන යෞවනයන්ගේ මහා ක්‍රිකට්‌ මංගල්‍යය අද (15 දා) රටවල් 16 ක සහභාගිත්වයෙන් නවසීලන්තයේදී ආරම්භ වෙයි.

ලෝක ක්‍රිකට්‌ පිටියේ බලවත්ම රටවල් 10 ට අමතරව අනාගතයේ තම රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ජාත්‍යන්තර මට්‌ටමේ පිළිගැනීම ලබා ගැනීමට මාන බලන කෝඩුකාර රටවල් 6 ක්‌ද මෙවර තරගාවලියට සහභාගි වේ.

දිනෙන්දින තරගකාරීත්වය වැඩිවන ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අනාගතය සුරක්‌ෂිත කරලීම සඳහා තම දේශයන්හි සුපිරිම වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයන් තරග වදින මෙම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය අද (15) සිට මේ මස 30 දා දක්‌වා පැවැත්වෙන අතර ඒ සඳහා තරග 42 ක්‌ ඇතුළත් වෙති.

කණ්‌ඩායම් 16 ක්‌ කාණ්‌ඩ හතරක්‌ යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව "සී" කාණ්‌ඩයෙන් තරග වදිනු ලබයි. ශ්‍රී ලංකාවට පළමු වටයේදී සිම්බාබ්වේ, කැනඩාව සහ සත්කාරක නවසීලන්තය සමග තරග කිරීමට සිදුවෙයි. එහිදී ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් දෙක දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට එක්‌දින ක්‍රිකට්‌ පිටියේ වැඩකාරයන් බවට පත්වීමට නොහැකි වීමෙන් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්‌ථානය දක්‌වා පල්ලම් බැසීමට සිදුව තිබේ. එහිදී නවක ජවයක්‌ සමග මුවහත් වූ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම පෙරේදා බංග්ලාදේශයේදී පැවැති අයිඩියා කුසලාන තුන්කොන් සටනේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වූයේ පළපුරුදු ක්‍රීඩකයන් සමග නවකයන්ද දැක්‌වූ දක්‌ෂතාවයේ ප්‍රතිපලයක්‌ හේතුවෙනි. එවන් පසුබිමක ජාතික කණ්‌ඩායමට මෙන්ම ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායම කෙරෙහිද අවධානය යොමු කිරීම කාලෝචිතය.

නවකයන් සොයා ගැනීමද පහසු කාර්යයක්‌ නොවේ. ඒ සඳහා දේශීය වශයෙන් පාසල් කණිෂ්ඨ මට්‌ටමේ සිට පියවරෙන් පියවර කරළියට ගෙනවිත් සුපිරි දක්‌ෂයන් ගොන්නක්‌ රැස්‌ කර ඒ අතරින් වඩාත්ම සුදුසු සංචිතයක්‌ ගොඩනැගීම ඉතා අපහසු කර්තව්‍යකි. ඒත් වර්තමානයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් සියලුම රටවල් ඒ සඳහා හොඳින් පෙළ ගැසෙමින් සිටී. එවන් යුගයක ශ්‍රී ලංකාවේ නවක ක්‍රිකට්‌ තරු වර්තමානයේ දක්‌වන දක්‌ෂතා මත ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට්‌ ක්‍රීඩාව කෙරෙහි සුබවාදී සිහින දැකීමට අවස්‌ථාවක්‌ ලැබී ඇත.

මෙවර යොවුන් ලෝක කුසලාන සඳහා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම සෙසු ඕනෑම කණ්‌ඩායමක්‌ පරාජය කිරීමට තරම් පිරිපුන් දක්‌ෂතාවලින් සපිරි කණ්‌ඩායමකි. ඔවුන් ඒ බව ඔප්පු කිරීමට සමත් වූයේ ඔස්‌ටේ්‍රලියානුවන්ව ඔවුන්ගේ මව්බිමේදීම 3-2 ක්‌ ලෙස එක්‌දින තරගාවලියේදී පරාජය කරමිනි. ඉන් පසු දකුණු අප්‍රිකානු සංචාරයේදී සැලකිය යුතු දක්‌ෂතා නොදැක්‌වුවද ශ්‍රී ලංකාව යොවුන් කණ්‌ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී යම් පෙරළියක්‌ කරනු ඇති බවට ඔවුන් කණ්‌ඩායමක්‌ ලෙස පෙර තරගාවලිවලදී දැක්‌වූ දක්‌ෂතාවලින් පැහැදිලි වෙයි.

අට වැනි වරටත් පැවැත්වෙන මෙම යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගාවලිය 1988 වර්ෂයේදී ඔස්‌ටේ්‍රලියාවේදී පවත්වා තිබේ. නමුත් එතැන් සිට දෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට වසර 10 ක්‌ (1998) ගත විය. නමුත් 1998 වසරෙන් පසුව සෑම වසර දෙකකට වරක්‌ම මෙම යොවුන් මහා ක්‍රිකට්‌ මංගල්‍යය පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට හැකියාවක්‌ ලැබී තිබේ. පළමු යොවුන් ලෝක ක්‍රිකට්‌ ශූරතාව දිනා ගැනීමට ඔස්‌ටේ්‍රලියාව සමත් විය. අනුශූරතාව පකිස්‌තානයට හිමිවිය. නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායමකට තවමත් යොවුන් ලෝක කුසලාන තරගාවලියක්‌ ජය ගැනීමට නොහැකි වුවද 2000 වර්ෂයේදී අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාවය.

පළමු වරට යොවුන් ලෝක කුසලාන දිනා ගැනීමේ අටියෙන් නවසීලන්තයට ගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමේ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයන් ලෙස නායක චතුර පීරිස්‌, කිත්රුවන් විතානගේ, රුමේෂ් බුද්ධික, භානුක රාජපක්‌ෂ, උපනායක ඇන්ඩි බරේන්ජර්, සහ උදාර ජයසුන්දර හැදින්විය හැක. සෙසු ක්‍රීඩකයන්ද ඉතාමත් දක්‌ෂ ක්‍රීඩකයෝ වෙති.

කප්පාදුවට පත්වෙමින් තිබූ ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායමේ සැඟවුන දක්‌ෂතා ඉකුත් මාස හය තුළදී ඔප් නංවාලීමට යොවුන් කණ්‌ඩායමේ පුහුණුකරුවන් සමත් විය. එහිදී පුහුණු උපදේශක ලෙස කටයුතු කරන අරවින්ද ද සිල්වාගේ සේවය ඉතාමත් අගය කළ යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ යෝධයකු ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා සතු අත්දැකීම් ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායමට හිමිවීමත් සමග ඔවුන් විශිෂ්ට දක්‌ෂතා දැක්‌වීමට සමත් විය. යොවුන් කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නවීඩ් නවාස්‌ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන උපුල් චන්දන ගේ සේවයද යොවුන් කණ්‌ඩායමට ලැබීමෙන් මෙවර යොවුන් ලෝක කුසලාන සඳහා තරග වදින කණ්‌ඩායම් අතරින් ප්‍රබලම කණ්‌ඩායමක්‌ බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාවක්‌ ලැබී තිබේ.

යොවුන් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු මට්‌ටමේ සිටින බවත් ඔවුන්ට හැකි ඉක්‌මනින් ඒ අවස්‌ථාව ලබා දුනහොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බවත් අරවින්ද ද සිල්වා පවසා තිබේ. අරවින්ද ගේ එම ප්‍රකාශය වත්මන් ජාතික කණ්‌ඩායම දෙස බැලීමේදීද දැන් පැහැදිලි වෙයි.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩා කරන උපුල් තරංග, මාලිංග බණ්‌ඩාර, තිසර පෙරේරා, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්‌, ෆර්වීස්‌ මහරුෆ්, දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ද යොවුන් ලෝක කුසලාන හරහා ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට පැමිණි ක්‍රීඩකයෝ වෙති. ඒ අතරින් ඉකුත් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, ලහිරු තිරිමාන්න වත්මන් ජාතික කණ්‌ඩායමේ සිටින ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩකයෝය.

අදාළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව නැම්බියාව සහ ඉන්දියාව සමග පුහුණු තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජයගැනීමට සමත් විය. හොංකොං සමග තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව ඉක්‌මවා ලබා ගැනීමට සමත්වෙද්දී ඇන්ඩි්‍ර බෙරෙන්ජර් (නොදැවී 114) සහ උදාර පීරිස්‌ (නොදැවී 102) ශතක වාර්තා කිරීමට සමත් විය.

"සී" කාණ්‌ඩයෙන් සටනට පිවිසෙන ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය ලබන 17 වැනිදා සිම්බාබ්වේ සමගත් දෙවැන්න 18 දා කැනඩාව සමගත් තෙවැන්න 20 වැනිදා සත්කාරක නවසීලන්තය සමගත් යෙදී තිබේ.

පියවරෙන් පියවර යොවුන් ලෝක කුසලාන ඩැහැ ගැනීමට මාන බලන සිංහ පැටව් ඒ සඳහා දැන් හොඳින් අවතීර්ණ වී තිබේ. අවශ්‍ය වන්නේ වැරැදි අඩුවෙන් කර යොවුන් ක්‍රිකට්‌ ශූරතාව ශ්‍රී ලංකාවට ගෙන ඒමටය.

ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායම

චතුර පීරිස්‌ (නායක), කිත්රුවන් විතානගේ (උපනායක), ඇන්ඩි්‍ර බෙරෙන්ජර්, රුමේෂ් බුද්ධික, අක්‌ෂු ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, රුෂාන් ජලීල්, චරිත් ජයම්පති, ලහිරු ජයරත්න, උදාර ජයසුන්දර, මධුක ලියනපතිරණගේ, කසුන් මධුෂංක, නදීර රාජගුරු, දෙනුවන් රාජකරුණා, භානුක රාජපක්‌ෂ, යසෝධ ලංකා

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරග ඉතිහාසය

මෙතෙක්‌ පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි අටේදී ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව සහ පකිස්‌තානය දෙවරක්‌ බැගින් ශූරතා හිමිකර ගැනීමට සමත් වී තිබේ.

යොවුන් ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කිරීමට එංගලන්තයේ ඊපෝන් මෝගන් සමත් වී තිබේ. ඔහු 2006 වර්ෂයේ පැවැති තරගාවලියේදී තරග 13 කදී ශතක 2 ක්‌ සහ අර්ධ ශතක 2 ක්‌ සමගින් මුළු ලකුණු 606 ක්‌ රැස්‌ කිරීමට සමත් විය.

තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක්‌ බිඳ හෙළීමට ඔස්‌ටේ්‍රලියාවේ මොරිස්‌ හෙන්රිකුයිස්‌ 2006 වර්ෂයේදී සමත් වී තිබේ. ඔහු තරග 13 කදී කඩුලු 27 ක්‌ බිඳ හෙළීමට සමත් විය.

එක්‌ කණ්‌ඩායමක්‌ ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට 2002 වර්ෂයේදී ඔස්‌ටේ්‍රලියාව සමත් විය. එහිදී ඔස්‌ටේ්‍රලියාව කෙන්යාවට එරෙහිව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 ට ලකුණු 480 ක්‌ ලබා ගත්තේය.

ලෝක කුසලාන දිනාගත් කණ්‌ඩායම්

1987-88 - ශූරතාව - ඔස්‌ටේ්‍රලියාව
- අනුශූරතාව -පකිස්‌තානය
1997-98 - ශූරතාව -දකුණු අප්‍රිකාව
- අනුශූරතාව -එංගලන්තය
1999-2000 - ශූරතාව - ඉන්දියාව
- අනුශූරතාව -ශ්‍රී ලංකාව
2001-02 - ශූරතාව -ඔස්‌ටේ්‍රලියාව
- අනුශූරතාව -ද.අප්‍රිකාව
2003-04 - ශූරතාව -පකිස්‌තානය
- අනුශූරතාව -බ.ඉ.කොදෙව්
2005-06 - ශූරතාව - පකිස්‌තානය
- අනුශූරතාව - ඉන්දියාව
2007-08 - ශූරතාව - ඉන්දියාව
- අනුශූරතාව - ද.අප්‍රිකාව

 

 
Powered By -