මෙවලම් විත්ති
ගිරය

හෙළ බසෙහි "ගිර" වදන අරුත් කීපයක්‌ම දක්‌වයි. කන්ද එකෙකි. උස තවකෙකි. කැපුම් උපකරණය තවත් අරුතකි. දිසාව, දෙස, පැත්ත වැනි වූ තවත් තේරුම් ද තිබිය හැක. උපකරණ මෙවලමක්‌ වූ "ගිරය" ගැන යමක්‌ පැවැසීම අපේ අදහසයි. මෙවලමක්‌ ලෙසින් ගිරය මිනිස්‌ බජනයට පැමිණ ඇත්තේ ද ලෝහෙ සොයාගැනීමත් සමඟ විය හැක. ගිරා, යකඩ, වානේ, තඹ, පිත්තල, රන්, රිදීවලින් නිමවෙයි. කර්මාන්තවල වෙනස්‌වීම් සමඟ ගිරයේ හැඩතල යදව් කාශණ වී තිබේ. ස්‌වරූපයෙන් මෙන්ම ප්‍රමාණයෙන් ලොකු කුඩා විවිධ ගිරා දැකිය හැක. "ගිරා" මෙවලමක්‌ ලෙසින් ජන දිවියට බෙහෙවින් සමීපය. ගිරය අපේ බුලත් තට්‌ටුවේ/ හෙප්පුවේ/ හැඹිලියේ/ කූරයේ ඇති අත්‍යවශ්‍යම මෙවලමකි. එම ගිරයෙන් බහුලව කෙරුණේ අමු පුවක්‌ ලෙලි ඇරීමත්, වියළි හා අමු පුවක්‌ ලියා (කපා) ගැනීමත්ය. වයසක ඇත්තෝ බුලත් විටට ගන්නා සියලු කල ඉයනන් ගුලි කොට ඒවා සියුම්ව ලියාගන්නට ද ගිරය භාවිත කළේය. දේශීය වෙදකමේදී නොයෙකුත් ඖෂධ වර්ග කපාගත්තේ ද ගිරෙන්ය.

ගිරයට දෑතක්‌ ඇත. උඩ අත හැපෙන තලය හා අතට අසුවන පත්තෙන් යුතුය. යටිපත්ත හැඩය. එය අංගුලිකාලක පළලැතිය. අතට අසුවන කොටස සෘජු ස්‌වරූපයක්‌ ගනී. අනෙක්‌ කෙළවර කවාකාරය. එතැන "ගිරා හිස" ය. කැපෙන තලයේ මුදුනත විදමන ගිරා හිසෙහි ඇති විදමනට තබා කෙටි ඇන කොටසකින් එකතු වී ඇත. ඇනයේ දෙකෙළවර තැලීම නිසා කිසි විටකත් මේ දෑත් වෙන් නොවේ. ඕනෑම කපාගත යුතු දෙයක්‌ දෑත අතර රඳවා ගිරාපතු, අත් එකතු කළ විට දෙකඩ වේ. කැපීමෙන් තොර ගැලවීමක්‌ ඊට නැත. "ගිරයට අසු උන පුවක්‌ ගෙඩිය වගේ" යන අපූරු ජන උපහැරණය මතුව ඇත්තේ ද ඒ නිසාමය. ගිරවා නමැති පක්‍ෂියා ගිරයේ හැඩයත් ගිරයේ හිසත් සිsහිගන්වයි.

ගිරයේ තලපත්ත පමණක්‌ ගෙන කොටයක සවිකර බෙහෙත් ඖෂධ කපාගන්නා මෙවලමට ද අපේ වෙදවරු "ගිරා කොටේ" යෑයි කියති. ගිරාපත්තෙන් වංගෙඩියේ කෙටී පතුලේ ඇලවුන බුලත් විට බුරුල් කරගනී. පන්නන් වියමන්වලදී ද කොල, ඉරු පත්බෑමට ගිරා පතුල යොදාගනී.

"ගිරය" ද ගෞරවනීය පිදුම් ලබන්නකි. පැරණි සමාජයේ ප්‍රවේනි උරුමය, අයිතිය සංකේතවත් විය. වස්‌තුවක්‌ ලෙස පරපුරින් පරපුරට මාරු වී ඇත. ගිරය ආභරණයක්‌ ලෙස ගෙල පළඳනාවක්‌ ද විය. ඒ රන්, රිදී, තඹ, පිත්තලවලින් සැකසුන "පොඩි ගිරා" ය. "වැලකුම් ගිර" කුඩා දරුවන්ගේ ආරක්‍ෂාවට පංචායුධ පළඳනා සේ වැඩි වියපත් ගැහැනු දරුවන්ගේ ඉඟ ලණුවේ එල්ලීය. මෙයින් තනිකම් දෝෂ, කළු කුමාරයාගේ බැල්ම, මාස්‌ ශුද්ධියට එල්ලවන ප්‍රේත බැල්ම වැලකුම්වේ යෑයි විශ්වාස කරති. දෙවියන්ගේ ලෙඩ (බෝවෙන රෝග) ඇතිවන විට ගැහැනු පිරිමි භේදයකින් තොරව ගිරාපොඩිත්තක්‌ අතේ එල්ලීමේ සිරිතක්‌ ඇතැයි කොටුගම්වල අදත් පවතී. "පත්තිනි ගිරය" විවාහ චාරිත්‍රවලදී කිරිකඩසේලයේ ගැට ගසති. එය පාරිශුද්ධ බවේ සංකේතයකි. මේ කිරිකඩ සේලය මනාලිය දරුවන් ලද පසු මවු ආපසු තෑගි කරන සිරිතක්‌ ද පවතී. මව්වත් වූ දරුවාට ඒ සමඟ පත්තිනි ගිරය ද තෑගි ලැබේ.

"කොල්ලෝ තැන තැන ගෙවල් හදන්නේ

කෙල්ලෝ ලිප් බැඳ බතක්‌ උයන්නේ

බිල්ලෝ අල්ලයි බය නොහිතන්නේ

කෙල්ලෝ පත්තිනි ගිරෙන් රකින්නේ"

කුඩා කල ඇසුන මේ කවිය ද එයට සාක්‍ෂි වෙයි. ගිරයේ හිස නොයෙකුත් රූප නිරූපණය කර ඇත. සිංහ හිසැති ගිරයෙන් වංශවත් බව, රාජකීයත්වය, සීහල ජාතිය, නිර්භීත බව පෙන්වීය. මොණර හිසැති ගිරය මහත් වූ මහ දෙවියන් සේ සලකන කතරගම දෙවියන් සිහිගැන්විය. කොන්ඩ බැඳි කාන්තා හිසැති "කුමාරිහාමි ගිරය" වරිගලපත, පත්තිනි පිදුම සිහිපත් කළේය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම් කිරීමේදී දෝෂ පහ කරවීමට දෙහි කපති. විණ දෝෂාහරණය කරන්ට ගන්නා ගිරයද නිමිති ශාස්‌ත්‍ර" මෙවලමක්‌ බවට එතැනදී පත්වෙයි. ගිරයෙන් දෙස්‌ස කැපීමට පෙර ගිරයේ අනුහස්‌ ගීතිකා ගයති. එසේම විණ කපන ගිරා උපතක්‌ ද කියයි. වසවතු කලවිණ කපන මේ ගිරය බොහෝ බලසම්පන්නය.

"මහමෙර කිනපාරට තබා ඇඳුන් ගිරෙන් නලවන්නේ" යෑයි කියවෙන්නේ ඒ නිසාමය. එසේම ඇදුරා ආතුරන්ගේ හිස සිට දෙපතුලට පිරි පොත පිස දෙපතුලෙන් ගිරය විසිකර දමයි. ගිරය වැටෙන දිසාව, ස්‌වභාවය අනුව නිමිති ඵල මේ ලෙසකින් එළිදකී.

"උතුරු දිගට වැටුනොත් අŒq තලේයා

ළඟම නෑ කෙනෙකු කළ අණ විනේයා"

ගිරයේ උපත, පල ප්‍රයෝජන, ඓතිහාසික සංස්‌කෘතික වටිනාකම් තවත් කොතෙකුත් තිබිය හැක. සීහලද්වීපේ ගෘහයන්හි ඇති අලංකාර මහ ඉලත්තට්‌ටුවේ තබන ගිරය සුවිශේෂි වස්‌තුවකි. ඒවා ලාෂ්‍ය කාර්මිකයන් නොයෙක්‌ ලියවැල්, පලාපෙති වැනි අනර්ඝ මෝස්‌තරවලින් හැඩගන්වා ඇත. ගිරය ගෘහීය වස්‌තුවක්‌ බවට ද පත්ව ඇත.

ගිරය උපන්දා සිට අද දක්‌වාම නොනැසී භාවිත වීමෙන්ම එහි ඇති වටිනාකම වැදගත්කම අපට පසක්‌ වේ.

මාමිනියාවේ
ඒ. පී. බී. ඉලංගසිංහ

 
Powered By -