ගණින්නාන්සේලා කියවිය යුතු
සංඝරජ වැලවිට සරණංකර චරිතය


ක්‍රි. ව. 16 සියවස ආරම්භ වන විට මෙරට බුදු දහම විවිධ හේතුන් නිසා පරිහාණි තත්ත්වයට පත් වෙමින් තිබුණි. සීතාවක රාජසිංහ රජු විසින් අනුගමනය කළ ශිව ආගම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තිය නිසා 16 සියවස අවසානය වන විට සීතාවක රජධානිය තුළ බුදු දහම දක්‌නට නොලැබුණ තැනට පත්ව තිබුණි. පෘතුගීසි බලපෑම් නිසා කෝට්‌ටේ රාජධානිය තුළද මේ සියවස වන විට බුදු දහම ක්‍රමයෙන් පරිහානි තත්ත්වය කරා ගමන් කරමින් තිබුණි. ජයවර්ධනපුර කෝට්‌ටේ විහාර හා පන්සල් ද ඓතිහාසික කැලණි විහාරය වැනි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්‌ථාන පෘතුගීසින් විසින් විනාශ කිරීම නිසා බුදු දහමත් බෞද්ධ අධ්‍යාපනයක්‌ විනාශ වන තැනට මග පෑදී තිබුණි. මේ තත්ත්වයන් නිසා බෞද්ධ අධ්‍යාපනය, උපසම්පන්න භික්‍ෂුන් මෙන්ම මෙරට ජනයාගේ දැහැමි දිවි පෙවතද ක්‍රමයෙන් විනාශය කරා ළඟා වෙමින් තිබුණි.

කන්ද උඩරට රාජධානිය බිහිවන්නේ මෙවන් වට පිටාවක්‌ තුළය. මේ නිසා මුහුදු බඩ ප්‍රදේශයන් ක්‍රමයෙන් පරිහානියට පත්ව යමින් තිබුණු බුදු දහමේ ආරක්‍ෂකයා බවට කන්ද උඩරට රාජධානිය නිරායාසයෙන් පත්විය. වීර වික්‍රමබාහු රජු මුහුදුබට ප්‍රදේශයන්ගෙන් උඩරටට සංක්‍රමණය වූ භික්‍ෂුන් වහන්සේලාට විවිධ අනුග්‍රහයන් ලබා දෙමින් බුදු දහම ස්‌ථාවර කිරීමට උත්සාහ ගත්තද එම නිසා මාර්ග ඒ සඳහා ප්‍රමාණවත් වූසේ නැත. මහවැලි ගඟේ ගැටඹේ තොට ආශ්‍රය කරගෙන භික්‍ෂූන් වහන්සේලා 50 නමක්‌ සම්බන්ධ කරගෙන උපසම්පදා කර්මයක්‌ සිදු කිරීමට රජු කටයුතු කර ඇත. වීර වික්‍රමබාහු රජුගෙන් පසු උඩරට රජ වූ ෂ විමලධර්මසූරිය රජු බුදු දහම නගාසිටුවීමට විශාල කාර්ය භාරයක්‌ කළ පාලකයෙකි. රක්‌ඛංග දේශයෙන් උපසම්පදා භික්‍ෂූන් ගෙන්වා ගෙන ගැටඹේ තොට ආශ්‍රිතව සීමා මාලකයක්‌ තනා පිරිහුණ උපසම්පදාව නැවත නගා සිටුවන ලදී. නව දළදා මාලිගයක්‌ තනා දෙල්ගමුවේ තිබූ දළදාව මහනුවරට වැඩම කරවීම රජු අතින් සිදු වූ වැදගත්ම ආගමික කටයුත්තයි. විමලධර්මසූරිය රාජ්‍ය කාලය වන විට ලන්දේසීන්ද මෙරට පාලනය සමග විවිධ සබඳතා පැවැත්වීමට උත්සාහ දරා ඇත. කෙසේ වෙතත් විමලධර්ම සූරිය රජුගෙන් ඇරඹුන පෙලපත යටතේ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති වූ බවට සාධක නැත. ෂෂ රාජසිංහ රජු වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පවත්වා ගෙන ආ ඇසළ පෙරහැර නොපැවැත්වීමටද කටයුතු කර ඇත. ෂෂ විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වැනි පාලකයන්සේ තිබූ ඇතැම් දුර්වලතාවයන් ගෙන් ප්‍රයෝජනගත් කතෝලික මිෂනාරින්ද ලන්දේසීන්ද තම ආගම් මුහුදුබට හා උඩරට ප්‍රදෙAශයන් තුළ විවිධ උපක්‍රම භාවිත කරමින් ව්‍යාප්ත කළේ මේ අවධියේය.

සිංහලේ අවසන් රජු ලෙස සලකන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාය. රජුගෙන් අනතුරුව, සිංහාසන උරුමකරුවෙකු නොවූයෙන් මෙරට රාජත්වයට පත් වූයේ රජුගේ නායක්‌කාර් බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහය. මේ නායක්‌කාර් පාලකයා බුදු දහම නගා සිටුවීමට යම් උත්සාහයක්‌ ගත්තද එය සාර්ථක නොවූයේ රජු අකල් මරණයට පත්වීම නිසාය. නමුත් මේ අවධිය වන විට උත්කෘෂ්ඨ ගණයේලා සැලකිය හැකි භික්‍ෂු පඬිරුවනක්‌ මෙරට සසුන් කෙත තුළ පහලව සිටියේය. ඒ අන් කවරකුත් නොව වැලවිට සරණංකර සංඝරාජ හිමියන්ය.

සරණංකර සංඝරාජ හිමියන්ගේ උපත සිදුවන විට මෙරට භික්‍ෂු ශාසනය කෙතරම් දුරට පිරිහී තිබුණේද යත් භික්‍ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ නාමයන්ගෙන් එහි තරම අවබෝධ කර ගත හැක. "ගණය", "ගණින් නාන්සේලා", "ගණ ගෙඩියා" ආදි නම් වලින් බෞද්ධ භික්‍ෂූන් ආමන්ත්‍රණය කරන තරමට බුදු දහම පිරිහී තිබුණි.

වර්තමාන මහනුවර දිස්‌ත්‍රික්‌කයේ තුම්පනේ ප්‍රාදේශීය බල සිමාවට අයත් වැලිවිට ගමේ කුලතුංග මුදලි පරපුරට අයත් කුලතුංග නම් වූ ගිහි කුමරුවා මෙලොව එළිය දැක ඇත්තේ ක්‍රි. ව. 1698 වර්ෂයේදීය. වයස අවුරුදු 16 දී යටිනුවර සැරිසරගොඩ විහාරයේදී කුලතුංග කුමරුවා කිත්සිරිමෙවන් රන්සුන්දර හිමියන්ගෙන් වැලිවිට සරණංකර යන නමින් පැවිද්ද ලබා ගෙන ඇත. තම ගුරුවරයා ඝාතනයට ලක්‌වීමෙන් අනතුරුව වැලිවිට සරණංකර සාමණේර වහන්සේ පල්කුඹුරේ අත්ථදස්‌සී හිමියන්ගෙන් පාලි වියරන උගත් අතර ලෙව්කේ රාහාමිගෙන් බාලාවතාරයේ නාම කණ්‌ඩය ඉගෙන ගත්හ.

පිරිහී තිබුණු බුදු සසුන නගා සිටුවීමේ අරමුණෙන් මුල පටන්ම කටයුතු කළ සරණංකර සාමණේරයන් වහන්සේ පිණ්‌ඩපාතයෙන් පමණක්‌ තම දිවිය ගත කළහ. එනිසා උන් වහන්සේ උඩරට ප්‍රදේශය තුළ පිණ්‌ඩපාතික සරණංකර යන නමින් ප්‍රසිද්ධ වූහ. අසරණ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් පිහිට වූ නිසා උන් වහන්සේ අසරණ සරණ සරණංකර යන නමින්ද ප්‍රසිද්ධ වී උන්නාහ. පිණ්‌ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන් බුදු දහම නගා සිටුවීම සඳහා සිල්වත් සමාගම නමින් භික්‍ෂු ප්‍රතිරූපය සමාජයේ ගොඩ නැගීම සඳහා භික්‍ෂු සන්ධානයක්‌ද පිහිට වූහ. වැලිවිට හිමියන් විසින් හඳුන්වාදුන් අනුශාසනා වට්‌ටෝරුව නිසා මේ සිල්වත් සමාගම උඩරට ප්‍රදේශය තුළ වඩාත් ජනප්‍රිය විය. වැලිවිට හිමියන් තම ශිෂ්‍යයන් ලෙස සිටිනා මළුවේ සිල්වත් තැන, ඉලිපැන්ගමුවේ සිල්වත් තැන, දකිරාගොඩ සිල්වත් තැන ආදීන් සම්බන්ධ කරගෙන සසුන් වැඩ සඳහා අනුපමේය සේවාවක්‌ ඉටු කළහ. සරණංකර හිමියන්ගේ මෙවැනි ආගමික වැඩ කටයුතු වලට එරෙහි වූ ගණින්නාන්සේලා නරේන්ද්‍රසිංහ රජු පොළඹවා ඔවුන්ගේ කටයුතු අඩාල කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වූයේ සරණංකර හිමි ප්‍රමුඛ සිල්වත් සමාගමේ භික්‍ෂූන්ගේ ක්‍රියා කලාපය නිසාය. මෙයින් පසු සිල්වත් සමාගම රට පුරාම වාගේ ප්‍රසිද්ධ වූහ. අඹු දරුවන් පෝෂණය කරමින්, විවිධ ආර්ථික කටයුතු කර ගනිමින් තම අධ්‍යාත්මික පීවිතය වෙනුවට ගණින්නාන්සේලා ලෞකික ජීවිතයක්‌ ගත කරන තැනට පත්ව තිබුණි. වැලිවිට සරණංකර හිමියන් කටයුතු කළේ මොවුන්ගෙන් නිර්මල බුදු දහම ආරක්‍ෂා කර ගැනීමටයි.

සරණංකර හිමියන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි පැහැදුණු රජු උන් වහන්සේ හරහා ශාස්‌ත්‍රීය සේවාවන් ලබා ගැනීමටද කටයුතු කර ඇත. බුදුගුණ අන්තර්ගත සාරාර්ථ සංග්‍රහය ලිවීමෙන් වැලිවිට හිමියන්ගේ දෑත ශක්‌තිමත් වූයේ මින් අනතුරුවයි. ඉතා සාර්ථක රචනා වූ එම කෘතියෙන් පසු සරණංකර හිමියන් රජුගේ ආරාධනය පරිදි දඹදෙනි යුගයේ රචිත පාලි වේද පොතක්‌ වූ භේසඡ්ජ මංජුසාව නම් සන්නස රචනා කර ඇත. නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසු බලයට පත් ශ්‍රී විජය රණසිංහ රජු සමග කටයුතු කළ සරණංකර හිමියන් බුරුමය හා සියම යන රටවලින් උපසම්පන්න භික්‍ෂුන් ගෙනවා ගැනීමට උත්සාහ කළද එම අවස්‌ථාවන් සාර්ථක වූයේ නැත. සරණංකර හිමියන්ගේ උත්සාහය සාර්ථක වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසය. ඔහුගේ සහායෙන් දූත කණ්‌ඩායමක්‌ සියමට පිටත් කර යවා භික්‍ෂු උපසම්පදාව මෙරටට රැගෙන ඒමට සරණංකර හිමියෝ සමත් වූහ. මේ දූත ගමනට නායකත්වය දරා ඇත්තේ විල්බාගෙදර උන්නාන්සේය. ඒ සමග තවත් 61 දෙනකු සියම් දේශයට ගමන් කර ඇත. සියම් රජතුමා මේ දූත පිරිස සමග උපාලි තෙරුන් ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලා 25 ක්‌ මෙරටට එවා ඇත.

මෙලෙස පැමිණි භික්‍ෂුන් වහන්සේලා මල්වතු විහරයට අයත් බිමේ ක්‍රි. ව. 1753 ඇසළ මස පෝදා නව සීමාවක්‌ ඉදි කොට උපසම්පදා උත්සවයක්‌ පවත්වා ඇත. මෙයින් පසු මහනුවර අස්‌ගිරි විහාරයේද උපසම්පදා කටයුත්තක්‌ කර ඇත. මේ උපසම්පදා කටයුතු වලදී කොබ්බෑකඩුව සාමනේර, නාවින්නේ සාමනේර, වැලිමිට සරණංකර සාමනේර, හුලංගමුවේ, බඹරදෙණියෙ, තිබ්බොටුවේ යන සාමනේරවරුන්ද මේ අවස්‌ථාවේදී උපසම්පදාව ලබා ඇත. වැලිවිට සරණංකර හිමියන් උපසම්පදාව ලබන විට පනස්‌ පස්‌ වසරක්‌ ගත වූ බව කියවේ. මෙම උපසම්පදා උත්සවය මෙහොතේදී මෙරට භික්‍ෂූන් වහන්සේලා දහයක්‌ පමණ දෙනා උපසම්පදාව ලබා ගත් බව සඳහන්ය. මෙම ආගමික කටයුත්තෙන් පසුව රජුගේ පූර්ණ අනුග්‍රහය යටතේ වැලිවිට සරණංකර හිමියන් කතිකාවතක්‌ද සම්පාදනය කිරීමට කටයුතු කර ඇත. රජු විසින් සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනැමූ අතර උන් වහන්සේගේ ශිෂ්‍ය තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියන්ට මල්වතු විහාරයේ නායක පදවියද පිරිනැමූ අතර අස්‌ගිරි විහාරයේ නායක පදවියට උරුලෑවත්තේ ධම්ම විසුද්ධි හිමියන්ද පත් කර ඇත.

ක්‍රි. ව. 1760 වර්ෂයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඝාතනය කොට සියම් කුමාරයකු උඩරට රජ කරවීමේ කුමන්ත්‍රණයන් දියත් වී තිබේ. රජුගේ දෙවන අධිකාරම, බත් වඩන නිලමේ, වැලිවිට සරණංකර හිමි, තිබ්බොටුවාවේ හිමි යන්නවුන් මේ කුමන්ත්‍රණය පිටුපස සිටි ප්‍රධාන චරිත විය. අසාර්ථක කුමන්ත්‍රණයෙන් පසු රජු එය පිටුපස සිටි නිලධාරින් හිස්‌ ගසා මරා දමා ඇත. බෞද්ධ භික්‍ෂුන්ට දඬුවම් දීමට බිය වූ රජු වැලිවිට සරණංකර හිමියන් උඩරට ප්‍රදේශයෙන් පිටුවහල් කර ඇත. නමුත් රජුට අවසානයේ වැලිවිට සරණංකර හිමියන් නැවතත් මහනුවරට ගෙන්වා ගැනීමට සිදුවූයේ උන් වහන්සේගේ පාණ්‌ඩිත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සිදුවූ නිසාය. මෙම සිදුවීමෙන් පසු රජු බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ ඉටු කර ඇත. අනුරාධපුරයේ අටමස්‌ථානය පිළිසකර කිරීම, පොළොන්නරුව හා මහියංගනය යන පැරණි විහාරස්‌ථාන පිළිසකර කිරීම, ආඬි ගුරුන්ගෙන් ශ්‍රී පාදස්‌ථානය මුදා ගැනීම, රිදී විහාරය, ඇත්කඳ විහාරය, දඹලු ලෙන් ආදී ස්‌ථානයන්හි ආගමික සේවා කිරීමට රජු ක්‍රියා කර ඇත. මේ සියල්ල වැලිවිට සරණංකර හිමියන්ගේ අධිකාරියෙන් සිදු වූ ඒවාය. ශ්‍රී පාදස්‌ථානය ආඬි ගුරුන්ගෙන් මුදවා ගත් රජු එහි භාරකාරත්වය වැලිවිට හිමියන්ගේ ශිෂ්‍යයෙකුට පවරා දී ඇත. ඒ අනුව ශ්‍රී පාදස්‌ථානය සබරගමු දිසාවට අයත් පූජනීය ස්‌ථානයක්‌ බවට පත් විය. ශ්‍රී පාදය වැලිවිට හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවට පවරා දුන්නේ කුට්‌ටාපිටිය නම් ගමත් සමගය.

වැලිවිට සරණංකර හිමියන්ගේ අනුග්‍රහය බුදු දහමට පමණක්‌ සීමා වූවක්‌ නොවීය. උන් වහන්සේ මෙරට වැටී තිබුණු අධ්‍යාපනය මෙන්ම භාෂා සාහිත්‍ය ක්‍ෂේත්‍රයද නගාසිටුවීමට දායක වූහ. සරණංකර හිමියන් ගොඩ නගන ලද සිල්වත් සමාගම හරහා අධ්‍යාපන ප්‍රබෝධයට කටයුතු සකස්‌ කෙරුණි. උන් වහන්සේගේ විහාරස්‌ථානය වූ නියමකන්දේ බෞද්ධ අධ්‍යාපන ආයතනයක්‌ පිහිටුවා ගැනීමට රජු වැලිවිට සරණංකර හිමියන්ට අනුග්‍රහ දැක්‌වූ බව පෙනේ. ව්‍යාකරණ, ඡන්දස්‌, සාහිත්‍යය, බුද්ධ ධර්මය, පාලි, සිංහල වැනි විෂයන්ගේ විශාල ප්‍රබෝධයක්‌ මේ කාලය තුළ සිදු වූ බව සරණංකර හිමියන්ගේ ක්‍රියාකාරිත්වයන් තුළින් තහවුරු වේ. මන්දාරම් පුර පවතට අනුව නායක්‌කාර් පෙළපතේ ආරම්භක පාලකයා වන ශ්‍රී විජය රණසිංහ රජුටද වැලිවිට සරණංකර හිමියන් උගන්වා ඇත්තේ මේ විද්‍යාස්‌ථානයේදීය.

වැලිවිට සරණංකර හිමියන් යටතේ අධ්‍යාපනය ලද ප්‍රධාන භික්‍ෂුවක්‌ ලෙස ගාල්ලේ මේධංකර හිමියන් පෙන්වා දීමට පුළුවන. උන්වහන්සේ නියම අන්දමින් අධ්‍යාපනය ලැබ රත්නපුර ප්‍රදේශයේ පැල්මඩුල්ලේ පිරිවෙනක්‌ අරඹා ඇත. වලානේ සිද්ධර්ථ නම් භික්‍ෂුව අධ්‍යාපනය ලබා ඇත්තේ මේ විද්‍යාස්‌ථානයේදීය. උන් වහන්සේ ඉන් ඉගෙන රත්මලාන ප්‍රදේශයේ පරම ධම්මෙච්තිය නමින් පිරිවෙනක්‌ අරඹා ඇත. මෙම පිරිවෙනින් අධ්‍යාපනය ලද භික්‍ෂුන් දෙදෙනෙක්‌ ලෙස රත්මලානේ ධර්මාලෝක හිමි හා හික්‌කඩුවේ සුමංගල යන හිමිවරු හඳුන්වා දීමට පුළුවන. උන් වහන්සේලා දෙනම පිළිවෙළින් සුමංගල හිමියන් විෙද්‍යාදය පිරිවෙනත් ධර්මාලෝක හිමියන් විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලදී. නූතනයේ දක්‌නට ඇති ප්‍රබල පිරිවෙන් සියල්ල වාගේ බිහිවූයේ මේ පිරිවෙන් හරහා අධ්‍යාපනය ලැබූවන්ගෙනි.

මහනුවර යුගයේ මුල පටන්ම ක්‍රියාත්මකවූ ඇසළ මාසයේ පෙරහැර තුළ ප්‍රමුඛස්‌ථානය හිමිව තිබුණේ සතර දේවාල පෙරහැරටයි. රජතුමා ඒ ක්‍රමය වෙනස්‌ කොට දළදා පෙරහැරට ප්‍රමුඛස්‌ථානය ලබා දී දේවාල පෙරහැර දළදා පෙරහැරේ අංශයක්‌ බවට පත් කරන ලදී. ක්‍රි. ව. 1765 දී එල්ල වූ ලන්දේසි ආක්‍රමණයෙන් විනාශයට පත් වූ දළදා මාලිගාව පිළිසකර කළ රජතුමා කෙවුල්ගම නම් ස්‌ථානයේ සඟවා තිබූ දළදාව එහි වැඩම කරවීමටද කටයුතු යොදා ඇත. දකුණු පළාතේ තොටගමු විහාරය, මුල්ගිරිගල විහාරය, මහනුවර දෙගල්පෝරුව විහාරය යන ඒවායේ ආගමික කටයුතු සිදු කිරීමේදී කිර්ති ශ්‍රී රාජසිංහ රජුට වැලිවිට සරණංකර හිමි උපදෙස්‌ හා අනුශාසනා ලබා දී ඇත. මහනුවර ගංගාරාම විහාරය කරවා ඇත්තේ මේ රජුන් සමය තුළය.

මහනුවර දෙගල්දාරුව විහාරයේ දෙවරගම්පල සිල්වත් තැන විසින් බිතු සිතුවම් නිර්මාණය කරන ලද්දේද මේ රාජ්‍ය කාලය තුළය. පොහොයමළු විහාරය, කුණ්‌ඩසාලේ විහාරය යන ස්‌ථානයන්හි අධ්‍යාපන ප්‍රබෝධය සඳහා රජු හා වැලිවිට හිමියන් එකතුව කටයුතු කර ඇත. සිටිනාමළුවේ ධම්මජෝති හිමි, ඉලිපැන් ගමුවේ හිමි, කදිරාගොඩ හිමි, දරමිටිපොල ධම්මරක්‌ත හිමි, මොරතොට ධම්මරක්‌ත හිමි වැනි බෞද්ධ භික්‍ෂුන් වැලිවිට සරණංකර හිමියන් ඇසුරින් බෞද්ධ ප්‍රබෝධයට කටයුතු කිරීමේදී වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙකුව සිටි උන් වහන්සේගෙන් අධ්‍යාපනය හදාල රජාධිරාජසිංහ රජු මෙම දවස "ආය දිස දා කව" නම් වටිනා ග්‍රන්ථයක්‌ සම්පාදනය කරමින්ද සංඝ කතිකාවතක්‌ සම්පාදනය කරමින්ද බෞද්ධ ප්‍රබෝධයට කටයුතු කර ඇත. මෙවන් වූ දැවැන්ත අධික ප්‍රබෝධයකට කටයුතු කළ සරණංකර හිමියන් නොවන්නට වර්තමාන ශ්‍රී ලංකාව තුළ බුදු දහම විනාශ වීමට ඕනෑ තරම් ඉඩ තිබුණි.

සුජීව දිසානායක,
කු/නික/වාරි/ රතනපාල පිරිවෙන
වෑගම, රත්මලේ
ඊතනවත්ත, කුරුණෑගල

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.