සිංහලේ අන්තිම රජු හෙවත්
කුණ්‌ඩසාලේ සෙල්ලම් නිරිඳු



"කපිතාන් ජොන්සන්ගේ භටයන් විසින් 1804 දී මාලිගයට අයත් සියලු ගොඩනැඟිලි ගිනි තබා විනාශ කරන ලද බව ෆොaබ්ස්‌ පවසයි. එක්‌දහස්‌ අටසිය ගණන්වල අවසානය වන විට" මෙම භූමි භාගයෙහි අයිතිකරුවන් වූයේ සයිමන් අප්පු රේන්දරළාගේ හා ජොහැන්නස්‌ සිල්වා පූජකතැනගේ දරුවන්ය. ඒ වන විට ද මාලිගයට අයත් කැටයම් සහිත කුළුණු කීපයක්‌ එහි වූ අතර පසුව ඒවායින් දෙකක්‌ පල්ලේකැලේ පිහිටි වොලර් මහතාගේ නිවෙස ආසන්නයේ තිබෙනු දැකිය හැකි විය."

ලෝට්‌ විසින් "A Gazatteer of the Central Province of Ceylon කෘතියේ මෙසේ විස්‌තර කර ඇත්තේ අවසාන සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ කුණ්‌ඩසාලේ නුවර රජමාලිගය පිළිබඳවයි. වර්තමාන කුණ්‌ඩසාලේ රජ මහ විහාරයට නැගෙනහිරින් පිහිටි උස්‌ ස්‌ථානයක මෙම රජ මාලිගය තිබී ඇති අතර දෙවන ලෝක යුද සමයේදී එම ස්‌ථානයේ යුද කඳවුරක්‌ ඉදිකර තිබුණු බව කියෑවේ. බිසෝ මාලිගය තිබී ඇත්තේ රජ මැඳුරට ගිනිකොණ දෙසිනි.

නරේන්ද්‍රසිංහයන් ඉතිහාසගත වී ඇත්තේ සිංහලේ අන්තිම රජු වශයෙන් පමණක්‌ නොව රට ජාතිය ආගම පිළිබඳව නොපැතූ සෙල්ලක්‌කාරයකු වශයෙන්ද ජනතාව අතර "කුණ්‌ඩසාලේ සෙල්ලම් නිරිඳු" වශයෙන් ද ප්‍රකට විය.

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දෝලියක වූ මුතුකුඩය දේවියගේ පුත්‍රයකු බව ජනප්‍රවාදයන්හි කියවෙතත් මූලාශ්‍ර ග්‍රන්ථවල එවැන්නක්‌ සඳහන් නොවේ. කෙසේ වුවද ඔහු සිංහාසනාරූඪ වූයේ 1707 දීය. ඒ වන විට ඔහු දාහත් හැවිරිsදි ලාබාල තරුණයෙකි. 1708 දී එනම් සිහසුනට පත්වී යන්තම් වසරක්‌ ගතවෙන විටම ඔහුට සිදුවූයේ උඩරට නායකයන් අටදෙනකු මෙහෙයවූ කැරැල්ලකට මුqහුණදීමටය. ඊට නායකත්වය දුන්නේ දුම්බරින් දෙගල්දොරුවේරාළ, උඩුනුවරින් කැටකුඹුරේරාළ හා කිරිවවුලේරාළ, යටිනුවරින් දෙහිගමරාළ, සතර කෝරලෙන් ඒදඬුවේරාළ, සත්කෝරලෙන් ධම්මන්නේරාළ, දවටවරාළ හා උඩුබද්දාවේරාළ යන අටදෙනාය.

මොවුන් විසින් මුළු උඩරටම නියෝජනය වන අයුරින් සිය විශ්වාසවන්තයන් එකසිය විසිදෙනකු කැරැල්ල සඳහා සහභාගි කරගත් බව රාජාවලිය පවසයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ රජු සිහසුනෙන් පහකොට විමලධර්මසූර්යගේ තවත් යකඩ දෝලියකගේ පුත්‍රයකු වූ පට්‌ටියේ බණ්‌ඩාර රජ කරවීමටයි. ඒ අනුව විමලධර්මගේ නායක්‌කර බිසවගේ පුත්‍රයා වූ නරේන්ද්‍රසිංහ පලවා හැර උඩරට රදළ පවුලක අයකු රජ කරවීමට ප්‍රයත්න දැරූ අවස්‌ථාවක්‌ ලෙස දැක්‌විය හැකිය.

කැරලිකරුවන් සෙංකඩගල නුවරට එක්‌රැස්‌ වූයේ රජුට නැරඹීම පිණිස "කොරවාහල්කඩ" සමීපයෙහි ඇත් පොරයක්‌ පවත්වන්නේ යෑයි ප්‍රචලිත කරමිනි. කොරවාහල්කඩ යනු උඩරට රජ කෙනෙකු හා භික්‍ෂූන්වහන්සේලා අතර ඇති වූ අර්බුදයක්‌ විසඳීමට කොරෙකුගේ වෙසින් සක්‌දෙව් රජ පැමිණි ස්‌ථානය යයිද, එය මලබර් වීදිය අසල තිබුණේ යයි ද පැවැසේ. (මධ්‍යම ලංකා පුරාවෘත්ත නාවුල්ලේ ධම්මානන්ද හිමි පිටුව 38)

කුමන්ත්‍රණය පිළිබඳ තතු දෙවන අදිකාරම් වූ රම්මලකගෙන් දැනගත් නරේන්ද්‍රසිංහයන්, 1708 දෙසැම්බර් 08 වැනි දින මහනුවර විෂ්ණු දේවාලයට අල්ගම ගම රන් සන්නසකින් පුදමින් ඉල්ලා සිටියේ තමන්ට එරෙහි වූ දුෂ්ට දුර්ජනයන්ගේ කුමන්ත්‍රණ හිරු දුටු අඳුර මෙන් දුරිභූත කරදෙන ලෙසයි. ළාබාල රජු කෙතරම් මුදු සිත් ඇත්තො වීද යන්න ඉන් ප්‍රකට වේ. එහෙත් එම කන්නලව්ව දිව කනට නොඇසුණු නිසාදෝ 1709 ජනවාරි 15 දින කැරළිකරුවන් මහ මළුවට රැස්‌වූයේ රජු ගලග්‍රහයෙන් ගැනීමටය. මේ කිසිවක්‌ නොදත් රජු මාලිගයෙහි සිටි අතර රම්මලක අදිකාරම සිටියේ මාලිගය වෙත යමිනි. එහිදී ඔහු වටකරගත් කැරලිකරුවන් විමසා සිටියේ පට්‌ටියේ බණ්‌ඩාර සිංහාසනාරූඪ කරවීමට මෙවරවත් සහාය නොදෙන්නේද යන්නයි. උපක්‍රමශීලී වූ රම්මලක පළමුව මාලිගයට ගොස්‌ තොරතුරු සොයා බලා පිළිතුරක්‌ දෙන බවට පොරොන්දු වී ගොස්‌ රජුට සියලු විස්‌තර සැලකොට ඉල්ලා සිටියේ හැකි ඉක්‌මණින් පලායන ලෙසයි. උද්ගතව ඇති අනතුරුදායක තත්ත්වය දැනගත් රජු උඩවත්ත කැලේ හරහා ගොස්‌ "වදඅත්ත පාදියෙන්" (වටපුළුව) ගඟෙන් එගොඩට පලා ගියේය. අනතුරුව රම්මලක කළේ රජුගේ යහනෙහි කෙසෙල් කොටයක්‌ තබා එයට සළුපිළි පොරවා රජු සැතපෙන බව කැරලිකරුවන් හට දැන්වීමයි. ඒ අනුව කඩාවැදුණු කැරලිකරුවන් කෙසෙල් කොටය කඩු ගාද්දී රම්මලක උඩුනුවරට පලා ගියේය.

තමන් රැවටුණා පමණක්‌ නොව රජුගේ කනට ද කුමන්ත්‍රණය නතු ගිය බව වටහා ගත් කැරලිකරුවෝ තමන් කරා මරුවා ළඟාවීමට ප්‍රථම රජු වැනසිය යුතු බව තීරණය කොට කුණ්‌ඩසාලේ, හඟුරන්කෙත, වලපනේ, තලගංවත්ත, බින්තැන්න, හඳගනාව, මැදමහනුවර ආදී ප්‍රදේශ පීරන්නට පටන් ගත්හ. මේ වන විට රජු සිටියේ උඩුගොඩ ග්‍රාමයේය.

රාජාවලිය පවසන අයුරින් උඩුගොඩපිටියේ දේවාලයට ගිය නරේන්ද්‍රසිංහ රජු ආවේශයෙන් හැඳිනගත් කපුවා. සත් දිනක්‌ ඇවෑමෙන් රජුට ජයග්‍රහණය ලබාදෙන බවත් එතෙක්‌ සැඟවී සිටින ලෙසත් නියම කළ අතර තමන්ට ජය ලබාදුනහොත් දේවාලය තනන බවට බාරයක්‌ වූ රජු පොද්දල්ගොඩ "නයින් කෙළින පතනෙහි" ලෙනට පලා ගියේය.

රජු පොද්දල්ගොඩ සැඟවී සිටිනැයි කටින් කට ගොස්‌ එය මැද මහනුවර සිටි කැරලිකරුවන්ගේ කනටද වැටිණි. ඔවුන්ගේ නියමය වූයේ රජු අල්ලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් තමන්ට සහාය විය යුතු බවයි. ඊට එකඟ බව පෙන්වූ ඔවුහු කැරලිකරුවන් එකසිය විසිඅට දෙනාම රවටා රැහැණින් බැඳ සිය රාජපාක්‍ෂිකභාවය පෙන්වමින් රජුට බාර දුන්හ. මින් තහවුරු වන්නේ කුමන්ත්‍රණයේදී සාමාන්‍ය ජනතාව රජු සමඟ සිටි බවයි.

කැරලිකරුවන් අල්ලා ගැනීමෙන් පසු කටුගොඩගල නම් ස්‌ථානයට පැමිණි රජු "රාජෙද්‍රdaහීන් පිළිබඳ පෙර රජ සිරිත කුමක්‌වීදැ...." යි ඇමැතිවරුන්ගෙන් විමසූ විට ලැබුණු පිළිතුර වූයේ "මරණය" යන්නයි. එසේ නම් මනාපයක්‌ කර ගන්නා ලෙස රජු පැවැසුවෙන් කැරලිකරුවන් ඝාතනය කොට දේපළ රාජසන්තක කරන ලදී. එසේම සත් කෝරළ නිලධාරීන්ගේ සේවය ඉන්පසු රජ වාසලට අනවශ්‍ය බවටත්, ඔවුන් සිය ප්‍රදේශවල රැඳී සිsටිමින් රාජකාරි කළ යුතු බවත් නියෝග නිකුත් කෙරිණි. මේ තොරතුරුවලින් ප්‍රකට වන්න් රාජෙද්‍රdaහීන්ට වුවද අත්තනෝමතිකව දඬුවම් නොකොට පෙර සිරිතට මහජන සම්මතයට අනුකූලව කටයුතු කිරීමට තරුණ නරේන්ද්‍රසිංහයන් මුලදී උත්සාහ දරා ඇති ආකාරයයි.

කැරැල්ල සංසිඳුවා දුම්බර, හේවාහැට, වලපනේ, ඌව වෙල්ලස්‌ස ආදී ප්‍රදේශවල සේනාව පිරිවරා ලේවැල්ලේ ගංතොටට පැමිණි රජු පිළිගත්තේ රම්මලක අදිකාරම්ය. ඔහුගේ රාජපාක්‍ෂිකභාවය පිළිබඳව ප්‍රසාදයට පත් රජු එතැනදීම ඔහුට සත් කෝරළය ඇතුළු දීසාවන් පහක්‌ ද, නින්දගම් දහඅටක්‌ද, උඩ ගම්පහ හා පල්ලෙ ගම්පහ මහ අදිකාරම් ධුර ද ප්‍රදානය කළේය.

මාලිගයට පැමිණ නැවතත් රම්මලකඩ රන් මාලයක්‌ කර ලා තවත් ප්‍රසාද ලබාදීමෙන් පසු රජුවගබලා ගත්තේ පට්‌ටියේ බණ්‌ඩාරගේ ඉරණම විසඳීමටයි. රාජ නියෝගය අනුව ඔහු තලවින්නේ බලනගලහින්නට ගෙන ගොස්‌ එල්ලා හීසර පන්සියයක්‌ විද මරා දමන ලදී. සිය අර්ධ සහෝදරයා හට මෙවැනි දරුණු මරණයක්‌ ලබාදීමට රජු පෙළඹීමෙන් පෙනී යන්නේ රදළයන්ගේ රාජෙද්‍රdaහිකම් නිසාම ක්‍රමයෙන් ඔහු දැඩි සිතැත්තකු බවට පත්වෙමින් සිටි බවයි.

මෙම කැරැල්ලෙන් පසු නරේන්ද්‍රසිංහයන් සිය නිත්‍ය වාසය සඳහා තෝරාගත්තේ කුණ්‌ඩසාලේ නුවරයි. "මහවැලි වංශය" ට අනුව 1708 වන විට ද "උඩුමාලෙ දෙවියෝ" නමින් හැඳින්වූ නායක්‌කර් වංශික කාන්තාවක්‌ රජු විසින් සරණ පාවා ගෙන සිට ඇති අතර 1710 දී තවත් නායක්‌කර් වංශික කුමරියක්‌ සරණ පාවාගෙන ඇත. නායක්‌කර්වරුන් උඩරටට අරක්‌ ගත්තේ මෙම විවාහවලින් පසුව වන අතර පසුව රජුගේ සමීපස්‌ථයන් බවට පත්වූයේ ද ඔවුන් හා කතෝලිකයන්ය.

නරේන්ද්‍රසිංහ සමයෙහිදී කතෝලික සමය උඩරට ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ පේදුරු ගස්‌කොන්, ජාකෝමේ ගොන්සාල්වෙස්‌ ආදීන් හරහා බව පැවැසේ. මොවුන් හා රජු අතර වූ සම්බන්ධය කොතෙක්‌ දැඩි වීදැයි කිවහොත් හඟුරන්කෙත රජ මාලිගය ආසන්නයෙන් පල්ලියක්‌ තනාගැනීමට ද ඔවුනට අවසරය ලැබී ඇත.

පේදුරු ගස්‌කොන් යනු දෙවන රාජසිංහ සමයෙහි මෙරටට පැමිණි "දුකි ද ලැනරෝල්" නම් ප්‍රංශ තානාපතිවරයා සමඟ ආ ගස්‌කොන් නම් අස්‌ගොව්වාට දාව පෘතුගීසි කාන්තාවක කුස උපන්නෙකි. ඔහු නරේන්ද්‍රසිංහ කුමරුගේ ද මිත්‍රයෙක්‌ විය. සිංහල භාෂාව පිළිබඳ ප්‍රමාණික උගතෙකු වූ ගස්‌කොන් කවියෙහි, රජුට එරෙහි කැරැල්ලෙහිදී රාජපාක්‍ෂිකව ක්‍රියා කළ හෙයින් අදිකාරම් ධුරයක්‌ ඇතුළුව තාන්න මාන්න ලද ඔහු වාසය කොට ඇත්තේ හඟුරන්කෙත රජ මාලිගාව අසල නිවෙසකය. මොහු විසින් ලෙස ලියන ලදැයි කියෑවෙන "ශ්‍රී නාමය" නම් ප්‍රශස්‌ති කාව්‍යයෙහි සඳහන් මෙම කවෙන් ඔහුගේ සිංහල භාෂා පටුත්වය මෙන්ම කවීත්වය ද මනාව පැහැදිලි වේ.

මුවමද සඳුනුත් පිණිදිය කොකුමුත් නලසිළු එකයුත්විය තාපේ

මදරද පසරක්‌ ගෙන බැඳ මින් කොත් විදි කර සේසත් නිජ සේපේ

හැම සඳ සිරිකත් පුළුලුරතල පත් නරේන්ද්‍රසිංහ හිමි නොව තාපේ

සකිසඳ මුදුනත බැඳ පද පත්මත් වැඳ කිය වඩිනට ම සමීපේ

(මධ්‍යම ලංකා පුරාවෘත්ත - පිටුව 368)

කතෝලික මිතුරන් නිසා භික්‍ෂූන්වහන්සේලා ද නායක්‌කර් ඥතීන් නිසා රදළයන් ද රජු සමඟ නොහොඳ නෝක්‌කාඩුවීමේ ප්‍රතිඵලය වූයේ දෙවන කුමන්ත්‍රණයක්‌ ද දළුලන්නට පටන් ගැනීමයි. එය සෘජුවම රජුට නොව රජුගේ සමීපතමයන්ට එරෙහි වූවක්‌ විය. මෙම කුමන්ත්‍රණය පුපුරා ගියේ රජුගේ උපදේශකයා මෙන්ම ගුරුවරයා ද වූ සූරියගොඩ රාජසුන්දර හිමියන් විසින් දිනක්‌ එතුමාගේ කනට කෙඳිරූ රහසක්‌ නිසාවෙනි. මුළු උඩරට රාජධානියම වෙවුලුවාලන්නට සමත් වූ එම රහසින් කියෑවුණේ රජුගේ මෙහෙසිය හා ගස්‌කොන් අදිකාරම අතර අයථා සම්බන්ධයක්‌ පවතින බවයි. එය අසා නාගයෙකු සේ කිපී රජු දෙවරක්‌ නොසිතාම ගස්‌කොන් මරා දැමීමටත්, ගොන්සාල්වෙස්‌ පියතුමා සිර කිරීමටත් අණ කළ බව ඇතැමෙකුගේ අදහසයි. අනියම් ප්‍රේමවන්තයින් අතර හුවමාරු වූ රහසිගත තල්පත් ද පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කර තිබීම එම ක්‍ෂණික තීරණයට හේතුව බව සඳහන්ය. එහෙත් කොටගම වාචිස්‌සර හිsමියන් පවසන අයුරින් හිස ගසා දැමීමට පළමු රජු විසින් ගස්‌කොන් සිර කළ අතර ඔහු විසින් සිය නිරවද්‍යතාව සනාථ කිරීමට "නෝක්‌කාඩු මාලය" නම් පොතක්‌ ලියා රජුට යවා ඇත. එයද පත්වූයේ කුමන්ත්‍රණකරුවන් අතර හෙයින් සිය නිර්දෝෂී බව ඔප්පු කිරීමට අවස්‌ථාවක්‌ නොලැබීම ගස්‌කොන් මරණ දඬුවමට යටත් විය. "ගොන්සාල්වෙස්‌ චරිතය" නම් කෘතියට අනුව ඒ 1721 දීය. මන්දාරම්පුර පුවතෙහි (පිටුව 128) සඳහන් වන්නේ රජුගේ අග මෙහෙසිය ද අප්‍රකටවම 1721 දී මියගිය බවයි. නරේන්ද්‍රසිංහයන් ආගම දහමට වඩාත් ලැදිව කටයුතු කරන්නට පටන් ගත්තේ ඇයගේ අභාවයෙන් පසුව බව ද එහි සඳහන්ය.

කුමන්ත්‍රණය පිළිබඳ තතු රජුට හෙළිවී ඇත්තේ කලක්‌ ගතවීමෙන් අනතුරුවය. එහි ප්‍රතිඵලය වූයේ භික්‍ෂුවක වුවද සූරියගොඩ හිමියන්ට ද රජ උදහසින් ගැලවීමෙන් නොලැබීමයි. උන්වහන්සේ මරණයට පත්කොට වෙහෙර විහාර රාජසන්තක කෙරුණු අතර ඥතීන් ද බින්තැන්නෙහි සිරකරන ලදී. ගස්‌කොන්ගේ හිස ගසා දැමූ ලෙව්කේරාළ සිර කළේ මාකෙහෙල්වලය. වැලිවිට සඟරජ හිමියන් විසින් 1757 දී ලියන ලද ලිපියක මෙම සිදුවීම සඳහන් වන්නේ "සූරියගොඩ සාමනේර උන්නාන්සේ සඟුරන්කිතදී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජාණන්ට කරුණානුකූල ලීම කීමෙන් අර්ථයෙන් ධර්මයෙන් ප්‍රයෝජනවත්ව වැඩ සිsටියාය. ගස්‌කොන් අදිකාරමත් වැඩි කරුණාව ඇතුළු ප්‍රබන්ධාදියෙන් වැඩි ප්‍රයෝජන ඇතුළුව හැදී යෙදී සිටියාය. පෙරළියක්‌ සැදි සූනියමක්‌ අරඹයා නොවෙයි. දුක්‌ ගැනගෙන හිටිය අයට උදහසක්‌ ආ විට වරද වැටෙන හැටියට වරද වැටී අදිකාරමත් මැරුවාය. සාමනේර උන්නාන්සේ අපටත් කර දැමුවාය..." යනාදී වශයෙනි.

(සිංහල සාහිත්‍ය, වංශය පිටුව 763) ලන්දේසීන් හා තිබූ සම්බන්ධයක්‌ හේතු කරගෙන ගස්‌කොන් මැරවිය යනුවෙන් ඇතැමුන් දරන අදහස මෙම ලිපියෙන් නිෂ්ප්‍රභ වේ.

මේ අයුරින් රදළයන් සමඟ ගැටෙමින් සිහසුන රැකගත්තා විනා රට දැය සමය වෙනුවෙන් නරේන්ද්‍රසිංහයන් විසින් කිසියම් සේවයක්‌ නොකළේ ද යන්න මෙහිදී ඇතිවෙන ගැටලුවකි. මෑතකාලීන ලේඛන අනුව නම් ඔහු සෙල්ලක්‌කාරයකු මිස රටට හිතැතිව වැඩක්‌ කළ අයෙක්‌ නොවේ. එහෙත් මහාවංශය හා මන්දාරම්පුර පුවත ඔහුගේ සේවාවන් පිළිබඳව කොතෙකුත් විස්‌තර පවසයි. ඒවාට අනුව ඔහු වන්දනා ගමන් ගොස්‌ ඇති වාර ගණනාවකි. දෙවර බැගින් මහියංගන හා ශ්‍රීපාද වන්දනාවේද වරක්‌ අනුරාධපුර වන්දනාවේ ද ගොස්‌ පුද පූජා පවත්වා දානාදී පුණ්‍යකර්මයන් සිදුකොට ඇති අතර ශ්‍රීපාද වන්දනාවේදී තලතෙල් හා තැඹිලි තෙල් පහන් නවලක්‍ෂයකින් පූජාවන් පවත්වා ඇත. එසේම දිරාපත්ව තිබූ දළදා මාලිගය වෙනුවට නව දෙමහල් මන්දිරයක්‌ කරවීම, සෙංකඩගල නුවර බෝධියක්‌ ප්‍රතිෂ්ඨාපනය කරවා චෛත්‍යය ඉදිකිරීම, භික්‍ෂූන්වහන්සේලාට සිව්පසය සැපයීම, රෝගීන්ට බෙහෙත් හා මගීන් සඳහා මංමාවත් අසල තැබීමට කිරි, උක්‌ හකුරු ආදිය සැපයීම, ගුරුදෙණිය කෙත තමන් විසින්ම අස්‌වද්දා දළදා හිමියන්ට පිදීම ආදිය ද මේ රජු විසින් කර ඇති තවත් පුණ්‍යකර්මයන්ය. අලුතින් ගම් හැටදෙකක්‌ ඉදිකොට නිවාස ද සාදා දිළිඳුන්ට ලබාදී ඉතිහාසයේ "ගම්උදාව" පවත්වා ඇත්තේ ද මේ රජු විසිනි. එසේම වර්තමානයේදී කුණ්‌ඩසාල රජ මහ විහාරයේ තැන්පත් කර ඇති රන් ආලේපිත රත් හඳුන් පිළිමය එදිනෙදා වැඳුම් පිදුම් කටයුතු සඳහා කුණ්‌ඩසාලේ මහ වාසලෙහි තැන්පත් කර තිබූ පිළිමය බව සඳහන් වීමෙන් ගම්‍ය වන්නේ බෞද්ධ පිළිවෙත් අනුව රජු දිවි ගෙවා ඇති බවයි.

කුණ්‌ඩසාලෙ රජමහා විහාරය යනු වැලිවිට සරණංකර හිමියන්හට ආරක්‍ෂා සහිතව වැඩවිසීම සඳහා රජු විසින් ඉදිකර දුන් සේනාසනයයි. මැණික්‌ ගල්හත්සිය හතක්‌ ඔබ්බවා රන් ආලේප කොට තැනූ රියන් එකහමරක්‌ උස කරඬුවක්‌ ධාතූන්වහන්සේලා විසිනමක්‌ ද සහිතව උඩුනුවර නියම කන්දේ විහාරයට පූජා කිරීම පිළිබඳව සතුටට පත්වූ සරණංකර හිමියන් විසින් රජුට පින් අනුමෝදන් කර ඇත්තේ ගාථා අටකින් යුක්‌ත සන්දේශයක්‌ ඔප්පු කරමිනි. මේ හැරුණු විට දඹුල්ල, දඹදෙණිය, හුම්බුළුව, රුක්‌මලේ, මඩවල, මොරපාය, අරත්තන ආදී පුරාණ විහාර ප්‍රතිසංස්‌කරණය කරවීම, අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියට වන්නියේ ඉඩම් පූජා කිරීම, පෝයමළු විහාරයේ සති පිsරිත් පිංකම් පැවැත්වීම ආදිය ද නරේන්ද්‍රසිංහයන් විසින් සිදුකර ඇති අනෙකුත් පුණ්‍යකර්මයන්ය. එසේම කුලදරුවන් පැවිදි කරවීම සඳහා ද අනුග්‍රහය ලබාදුන් බව සඳහන් වීමෙන් පෙනී යන්නේ බුදුසසුන රැකගැනීමට රජු දැරූ උත්සාහයයි. රජු මේ සියල්ල සිදුකොට ඇත්තේ එවකට සිටි භික්‍ෂූන්වහන්සේලා ලෞකිකත්වයට බර වූ ජීවිත ගෙවමින් සිටියදීය. ඊට හොඳම නිදසුනක්‌ වන්නේ පෝයමළු විහාරයේ නායක කොබ්බෑකඩුවේ ගණේබණ්‌ඩාර හිමිනම පුත්තලමේ දිසාපති පදවියත්, උඩුනුවර සතර දේවාලවල බස්‌නායක පදවියත් දැරීමයි. රජුගේ ආගමික කටයුතුවල වටිනාකම තව තවත් උද්දීපනය වන්නේ මෙම තත්ත්වය හා සසඳන විටය. එසේ වුවත් ඇතැමුන් පවසන්නේ මෙම රජු බුද්ධාගමට ප්‍රමාණවත් අයුරින් අනුග්‍රහ නොදැක්‌වූ බවකි.

රජු දැඩි දේව භක්‌තිකයකු වූ බවට ද සාක්‍ෂි ඇත. සෙංකඩගල නුවර නාථ දේවාලය කරවීම, පිටියේ දෙවියන් සඳහා උඩුගොඩ හා දම්බරාව දේවාල කරවීම, අත්තනකුඹුර පත්තිනි දේවාලයට දිනපතා තෙල් වියදම් ලබාදීම, හඟුරන්කෙත මහ විෂ්ණු දේවාලයේ පෙරහැර කටයුතු වෙනුවෙන් දේවාලය ඉදිරිපිට ඇති ඉඩම් පවරා දීම මගින් ඒ බව තහවුරු වේ.

කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජු කළ කටයුතු ලෙස උඩුගොඩ සිට කුණ්‌ඩසාලේ දක්‌වා සැතපුම් දහයක්‌ පමණ දිග "රහස්‌ ඇළ" කරවා කුඹුරු සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, දම්බරාව, අඹේවෙල, මහවැව, දඹව ආදී වැව් කරවීම, වාගොල්ල, තලාතුඔ ආදී ප්‍රදේශවල කුඹුරු අස්‌වැද්දවීම, වලපනේ, ඌව, හේවාහැට ආදී ප්‍රදේශවල වාරිමාර්ග කරවා කුඹුරු අස්‌වැද්දවීම ආදිය දැක්‌විය හැකිය. එදා ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක්‌ වූ පුවක්‌ වගාව නැංවීමට රජු කටයුත කළ බව.

"සදා පොල් පුවක්‌ ගහ දෙපස දැලේ

සෙල්ලං නිරිඳු වඩනා කුණ්‌ඩසාලේ..."

යන කවි දෙපදයෙන් හෙළිවේ.

නරේන්ද්‍රසිංහයන්ගේ මාර්ග සංවර්ධනයට අයත් ව්‍යාපෘති වූයේ කොත්මලේ හා ඌවේ මාර්ග තැනවීම, රට මැද පාර, වලපනේ හෙය (පාලම) හා මාර්ගය පැනවීම දුම්බර හා සෙංකඩගල මාවත් තැනවීම, මහවැලි ගඟ හරහා ගෙයක්‌ කරවීම ආදියයි. (මන්දරාම්පුර පුවත 463 වන කවිය)

සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් ද උරදුන් මේ රජුගේ කාලය තුළදී ලියෑවී ඇති ග්‍රන්ථ ගණනාවකි. ඒ අතරින් "සාරාර්ථ සංග්‍රහය", "භේසජ්ජ මංජුසා සන්න" ආදිය කළේ සඟරජ හිමියන්ය. සතුරු කරදර මැද වුවද ග්‍රන්ථකරණයට උචිත පරිසරයක්‌ රජු විසින් සලසා දුන් බව "ශෘංගාරාලංකාරය" "හේම කුරුළු සංදේශය", "මනිචෝර ජාතකය", "ඉතිබිසෝ" ජාතක කාව්‍යය", "සුමුගු දා කව", "අතුල රජ පුවත", "තෙරුවන් මාලා" ආදී වශයෙන් වන ග්‍රන්ථ නාමාවලියෙන් තහවුරු වේ. මේවාට අමතරව හරිශ්චන්ද්‍ර කතාව,දුකුල රජ පුවත ආදී දෙමළෙන් සිංහලට පරිවර්තනය කළ ග්‍රන්ථ ද ලියෑවී ඇත්තේ ද මෙම වකවානුවේදීය. එසේම පෘතුගීසි වෛද්‍ය ග්‍රන්ථ දෙකක්‌ පරිවර්තනය කිරීමට ද රජු විසින් අනුග්‍රහය දක්‌වා ඇති බව සඳහන්ය.

තමන්ට එරෙහිව කෙතරම් කුමන්ත්‍රණ තිබුණද කවිකළු රසයෙහි රජු තුළ වූ ලොල්බවෙහි ද අඩුවක්‌ තිබී නැත. වර්තමානයේදී ද භාවිත වන උඩරට වන්නම දහඅට නිර්මාණය වී ඇත්තේ නරේන්ද්‍රසිංහ සමයේදී බව, වන්නම් උපත පිළිබඳව කියෑවෙන සන්නයක... "ශ්‍රී ලංකා භූ මණ්‌ඩලේස්‌වර වූ ශ්‍රී වීර පරාක්‍රම අධිරාජයාණන් වහන්සේගේ රාජ සභා... සර්ගාදී අටලොස්‌ වර්ගය නොහොත් වන්නම් දහඅට විභාග කොට ශෘංගාරාදී නව නාට්‍ය රසයෙන් යුක්‌තව...." යනාදී වශයෙන් සඳහන් වීමෙන් පැහැදිලි වේ. සෝමා විඡේසේකර පිටුව 39) ඒවායින් ගජභා වන්නම ලියෑවී ඇත්තේ රජුගේ මංගල හස්‌තිරාජයා වූ කෙංගල්ලේ ඇතාගේ ගමන් විලාශය අනුව යයි පිළිගැනීමක්‌ පවතී. මෙම ඇතුගේ දළ දෙක අදද කුණ්‌ඩසාලේ රජමහ විහාරයේදී දැකගත හැකිවේ.වන්නම් ප්‍රබන්ධකරුවන් ලෙස සැලකෙන්නේ රම්මලක අදිකාරම, ගණිතාලංකාර බ්‍රාහ්මණ සහ මල්වතු විහාරයේ වැඩ විසූ හිsමිනමකි. රම්මලක විසින් ශෘංගාලංකාරය නම් කෘතිය ප්‍රබන්ධ කොට ඔප්පු කිරීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රසාදයට පත් රජු උඩුනුවර රම්මලක ගම ඔහුට ත්‍යාග කොට ඇත්තේ මත්ගමු ඔයෙහි ඇති ගලක කොටවන ලද සන්නසක්‌ මගිනි. උඩරට ශාසනික හා අධ්‍යාපන දියුණුවේ උච්චතම අවස්‌ථාව ලෙස සැලකෙන්නේ 1675-1760 අතර කාලය වන අතර ඊට මේ රජුගේ පාලන වකවානුව ද අයත් වන බව අමතක කළ යුතු නොවේ.

ඇතැමෙක්‌ මේ රජු සම්බන්ධයෙන් නඟන චෝදනාවක්‌ වන්නේ ලන්දේසීන් විසින් කවරාකාරයේ මදිපුංචිකමක්‌ කළ ද ඒ වග නොතකමින් සෙල්ලක්‌කාර ජීවිතයක්‌ ගෙවීය යන්නයි. එහෙත් මොහු ලන්දේසීන් හා ගනුදෙනු කර ඇති අයුරු බලද්දී එසේ ඇස්‌ කන් පියාගෙන සිටි වගක්‌ පෙනෙන්නට නැත.

1706 දී ලන්දේසීන් මෙරට සියලු වරායන් වසා දැමුවේ උඩරට නිදහස්‌ වෙළෙ¹මට නැවතීමේ තිත තබමිනි. ඒවා විවෘත කරන ලෙස 1715 වන තෙක්‌ සුහදව ඉල්ලා සිටියත් ලන්දේසීන් එය කනකට නොගත්තෙන් 1715 දී උඩරට සියලු කඩවත් වසා දැමිණි. ගස්‌ යට පුවක්‌ කුණුවන විට කඩවත් ඇරෙනු ඇතැයි ලන්දේසීන් සිතුව ද ඒවා ඇරුණේ අවුරුදු දහඅටකට පසුව 1734 දීය. රජුගේ මෙම දැඩි ක්‍රියාව නිසා උඩරට සම්බන්ධ සිය ප්‍රතිපත්තිය වෙනස්‌ කිරීමට පවා ලන්දේසි ආණ්‌ඩුවට සිදු වූ බව සඳහන්ය.

පසුකාලීනව සම්බන්ධතා පළුදු වුවද මුලදී දෙපක්‍ෂය අතර තෑගි බෝග පවා හුවමාරු වී ඇත. ලන්දේසීන්ගෙන් රජුට ලැබුණු ත්‍යාග අතර අශ්වයන්, අශ්ව කරත්ත දෙකක්‌, පෝය දින සහිත රන් ඔරලෝසුවක්‌, වියත් හතහමාරක්‌ දිග දුර දක්‌නයන් හැරුණු විට රන් රිදී හෙප්පුවල දමන ලද මුතුඇට පනස්‌ දෙකක්‌ ද වූ බව කියෑවේ. 1717 දී යෑවූ අශ්ව කරත්තය හංසයකුගේ හැඩය ගත් එකකි. රජු විසින් ද විවිධ ත්‍යාග ලබා දී ඇති අතර වරක්‌ ලන්දේසි ආණ්‌ඩුකාරයකුගේ පවුලේ සාමාජිකයන් තිදෙනකුට ඇතුන් තිදෙනකු ත්‍යාග කර ඇත.

එදා නරේන්ද්‍රසිංහයන් සතුව තිබූ භාණ්‌ඩ රැසක්‌ අද කුණ්‌ඩසාලේ රජමහ විහාරයේදී දැකගත හැකිය. ඒවායින් වඩා වැදගත් වන්නේ රජුගේ උඩුකය ඇඳුමයි. වර්තමානයට වුවද ගැලපෙන මෝස්‌තරයකින් මසා ඇති අය කොඩ්රින්ටන් නම් ඉතිහාසඥයා විසින් විශාල මුදලකට මිලදී ගැනීමට උත්සාහ කළත් එවකට සිටි විහාරාධිපති හිමියන් ඊට එකඟ වී නැත්තේ ජාතියේ වාසනාවටය.

නරේන්ද්‍රසිංහයන්ට එරෙහිව ඉදිරිපත් වන ප්‍රබලම චෝදනාව වන්නේ සරණංකර හිමියන් විසින් කොතෙකුත් ඉල්ලා සිටියද භික්‍ෂු උපසම්පදාව ගෙන්වා දීමට උනන්දුවක්‌ නොගත්තේය යන්නයි. මෙම ඉල්ලීම ඉටුකරන්නට රජුට නොහැකි වූයේ අභ්‍යන්තර දේශපාලන ආරාවුල් නිසා මෙන්ම ලන්දේසීන් හා උඩරට අතර හොඳ හිත පසු කාලයකදී පළුදු වීම නිසා ද විය හැකිය. ඇතැම් විට ගනේ බණ්‌ඩාර වැනි හිමිවරුන් විසින් ඒ සඳහා උනන්දු නොවන ලෙස ලන්දේසීන්ගෙන් ඉල්ලා සිටින්නට ද ඇත. එම හිමිකම රජු වෙනුවෙන් ලන්දේසීන් හා සාකච්ඡා සඳහා නිතර නිතර කොළඹට ගිය අයෙකි. එසේම සරණංකර හිමියන් හා අමනාපයෙන් පසුවුවෙකි. වරක්‌ රජු විසින් සරණංකර හිමියන් නුවරින් පිටුවහල් කරන ලද්දේ ද මෙම හිමියන්ගේ බතට අවනතවීමෙන් යෑයි කියෑවේ.

නරේන්ද්‍රසිංහයන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් වුවද රට දැය ආගම වෙනුවෙන් රජු කළ සේවය නිසාම ඔහු ජනප්‍රිය නරපතියකු වූ බවට කොතෙකුත් සාක්‍ෂි ඇත. "හේම කුරුලු සංදේශය" ලියූ දික්‌වැල්ලේ හිමියන් කඳසුරිඳුට එය ඔප්පු කරමින් ඉල්ලා සිටියේ රජු රැකගනිමින් ඔහුට උතුම් පුත් රුවනක්‌ ලබාදෙන ලෙසයි. එසේම සුමගු දා කව" ලියූ ගන්නොරු විහාරයේ මහාසේන හිමි රජුගේ පරිත්‍යාගශීලීව වර්ණනා කර ඇත්තේ කව් ගණනාවකිනි. සිංහල සාහිත්‍ය වංශය, පිටුව (399) කර්තෘ අඥත වූ "නිසබා අස්‌න" ලියෑවී ඇත්තේද නරේන්ද්‍රසිංහයන්ගේ යසස්‌ තෙද උසස්‌ කොට, ශතාධික වර්ෂයක්‌ දිගසිරි ද සව්සිරි ද ලබාදීම පිණිසයි. ජීවිතය අහිමි වන්නට ගිය අවස්‌ථා දෙකකදීම රජු බේරාගෙන ඇත්තේ හිතවත් ඇමැතිවරුන් ඉදිරිපත් වීමෙනි. ලේවැල්ලේ තොටට දිය කෙළියට ගිය රජු ගඟේ ගසාගෙන යද්දී බේරා ගත්තේ දෙණියේ හළුවඩන මැතිඳුය. එසේම සිරිපා කරුණා කරද්දී ලක්‍ෂපානේදී රජු ඉදිරියට දිවආ මඳ කිපුණු වල් අලියාගෙන් බේරුණේ කොට්‌ටාව නිළමේ ඉදිරියට පැන මතුරා අලියා පලවාහැරීම නිසාය. (මන්දාරම්පුර පුවත 447, 449 කවි)

කෙතරම් ජනප්‍රිය වුවද රජු ගත් නොමනා තීරණයක්‌ හේතුවෙන් සියල්ල කනපිට පෙරළිණි. ඒ 1732 දී උඩරට රදළ පවුල් සතු තනතුරක්‌ වූ මහ ගබඩා නිළමේ ධුරයට සිය නායක්‌කර් මෙහෙසියගේ සුළු පියාගේ පුත්‍රයා පත්කොට ඔහුට "අලකොලංශ" ගම පවරාදීම නිසයි. මින් රදළයන් පමණක්‌ නොව සාමාන්‍ය ජනතාව ද රජුට එරෙහි විය. කැරලිකරුවන් විසින් නායක්‌කර් වංශික ගබඩා නිළමේ මරණ ලද්දෙන් යක්‍ෂාවේශ වූ රජු ඔවුන් ඝාතනය කොට ඔවුන්ගේ ගම්බද ගිනි තැබුවේය. රම්මලක මහ අදිකාරම මෙන්ම රජු මරණයෙන් බේරාගත් දෙණියේ හළුවඩන නිළමේ හා කොට්‌ටාව නිළමේ ද එක ළඟ පිහිටි ගල් දෙකක්‌ අතරින් මුළු මහවැලි නදියම ගලන රන්ටැඹේ ගල අසලින් සැඩ දිය පහර හරහා පීනා රාජ සම්මාන දිනූ බ-ජල නිළමේද ඇතුළු උඩරට ප්‍රධානීන් විසිපස්‌දෙනෙක්‌ පමණ නායක්‌කර් වංශිකයා වෙනුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවූහ.

මුල්වරට රාජකීය සම්බන්ධයක්‌ නැති පවුලකට මහ අදිකාරම් ධුරය හිමිවූයේ ද මේ අවස්‌ථාවේදීය. ඒ තරුණ ඇහැලේපොල විෙ-සුන්දර මුදියන්නැහේ එම තනතුරට පත් කිරීමෙනි. ඉන් රජු බලාපොරොත්තු වූයේ රදළයනට පාඩමක්‌ ඉගැන්වීම වුවද එයට සාමාන්‍ය ජනතාව ද එරෙහි වූ බව "සිංහල සාහිත්‍ය වංශය" පවසයි. (පිටුව 383) ඇහැලේපොල සන්නස අනුව එම පරම්පරාව දෙවන රාජසිංහ යුගයේ සිට විවිධ උසස්‌ තනතුරු දැරුව ද මහ නිලමේ තනතුරට පත්වන්නේ මෙම සිද්ධියෙන් පසුවය. සාමාන්‍ය ජනතාව නරේන්ද්‍රසිංහ රජුට එරෙහි වූ මුල් අවස්‌ථාව ලෙස මෙය සඳහන් කළ හැකි අතර ඊට සම්බන්ධ වූ හේවාහැට ජනතාවට රජු දඬුවම් කළේ ඔවුන් තරාතිරමෙන් පහත හෙළීමෙන් බව ලෝරි පවසයි.

නරේන්ද්‍රසිංහ රජු මියයන්නේ වසරක පමණ කාලයක්‌ තිස්‌සේ බරපතල ලෙස රෝගාතුරව සිටීමෙන් පසුවය. රජුට ප්‍රතිකාර කිරීම පිණිස ලන්දේසීන් විසින් ද ඩැනියෙල්ස්‌ නම් වෛද්‍යවරයකු එවුවද ඉනුදු පළක්‌ නොවීය. ක්‍රි.ව. 1739 මැයි 13 වැනි දින රජුගේ අභාවය සිදුවූ අතර ඒ වසර හතළිස්‌ නවයක්‌ වැනි කෙටි ජීවිත කාලයක්‌ ඇවෑමෙනි. සිය තිස්‌ අවුරුදු රාජ්‍ය කාලය තුළ රජු මුහුණදුන් සිදුවීම් දෙස බලන විට එම මරණය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ වීමට ද පුළුවන.

අවසානයේ රජු මියගියේ සිය නායක්‌කර් වංශික මෙහෙසියගේ සොහොයුරාට උඩරට සිංහාසනය පවරා දෙමින් මන්දාරම්පුර පුවත පවසයි. ඇතැම් මූලාශ්‍රවලට අනුව රජුගේ යකඩ දෝලියකගේ පුතකු වූ උනම්බුවේ බණ්‌ඩාර සිංහාසනාරූඪ කරවීමට රජුට හා සමහර ඇමැතිවරුනට අවශ්‍ය වුවත් ඊට එරෙහි වී ඇත්තේ සරණංකර හිමියන් හා මහාදිකාරම් වූ ඇහැලේපොළ මුදියන්නැහේය. සරණංකර හිමියන්ට අවශ්‍ය වූයේ සිය ගෝලයා සිහසුනට පත්කොට ඔහු ලවා උපසම්පදාව ගෙන්වා ගැනීමටයි. ඇහැලේපොළට වුවමනා වූයේ තමන් අභිබවා වෙනත් රදළ පවුලක්‌ ඉස්‌මතුවීම වැළැක්‌වීමටයි. එසේම ඇහැලේපොළත්, නායක්‌කර් වංශික බිසවත් අතර තිබූ අයථා සම්බන්ධයක්‌ නිසා ඔහු නායක්‌කර් පක්‍ෂය ගත් බවක්‌ ද ජනප්‍රවාදයෙහි සඳහන්ය.

1739 දී සරණංකර හිමියන් හා ඇහැලේපොළ මැදිහත් වී බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහ නමින් සිහසුනට පත්කරන ලදී. රෝගාතුරව සිටි රජුට එය වැළැක්‌වීමට නොහැකි වූයෙන් හිතවත් ඇමැතියකුලවා පාරම්පරික රාජකීය ඔටුන්න මහවැලි ගඟේ ගැඹුරු වක්‌කලමකට දම්මවන ලද බවත් එම නිසා ඔටුණු පැළඳීමේදී නව රජුට ඔටුන්නක්‌ සාදවා ගැනීමට සිදු වූ බවත් අද කෞතුකාගාරයෙහි දක්‌නට ඇති දෙමළ ඌරුවක්‌ සහිත අටමුළු ඔටුන්න විය හැකි බවත් එම ජනප්‍රවාදයෙන් තවදුරටත් කියෑවේ. (මග දිගට ජනකතා, ඩී. පී. වික්‍රමසිංහ, පිටුව 196) සත්‍යය එය නම් නරේන්ද්‍රසිංහයන් ජාතිවාත්සල්‍යයෙන් යුක්‌ත වුවෙකු බවද පිළිගත යුතු වේ.

ඇහැලේපොල මුදියන්නැහේ විසින් එදා 1739 දී උඩරට සිහසුන පරහස්‌ත ගත කළද ඉතිහාසය විසින් එම චෝදනාවට ද වගඋත්තරකරු කර ඇත්තේ නරේන්ද්‍රසිංහ රජුවය. මින් පෙනී යන්නේ කවදත් පාවාදෙන්නන්ගෙන් හිඟයක්‌ මෙරටට තිබී නැති බවයි. 1736 සිට වසර හැත්තෑපහක්‌ ගතවන තැනදී තමන්ගේ මුණුබුරෙකු තමන් විසින් බලයට පත්කළ නායක්‌කර් වංශය හා උඩරට සිංහාසනයත් විජාතියකට පාවාදෙන බවත්, ඒ නිසාම ඇහැලේපොළ පරම්පරාව ද සමූලෝත්පාටනය වන බවක්‌ දැනගැනීමට තරම් නුවණක්‌ ඇහැලේපොල විෙ-සුන්දර මුදියන්නැහේට එදා තිබිණි නම් අන්තිම සිංහල රජු ලෙස නරේන්ද්‍රසිංහ නාමය ඉතිහාසයට එකතු වන්නේ නැත.

පද්මිණී සෙනෙවිරත්න

 
Powered By -


        උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
          223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.