සම්ප්‍රදාය රුකුලක්‌ කරගත් කලාකරුවා

මහගමසේකර විසිවැනි සියවස පහළ වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. ඔහු 1929 දී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ රදාවාන නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේය. මේ ගම්මානයේ පැවති සුන්දර පරිසරය, සේකරගේ කලා නිර්මාණ පෝෂණය වීමෙහි ලා ඉවහල් විය. සේකරයන්ගේ කලා නිර්මාණ ඇරැඹෙන්නේ "තුංමං හන්දිය" නමැති නවකතා නිර්මාණයෙන් ය. ඔහු නිරන්තරයෙන්ම ගැමි ජනතාව ඇසුරු කළ නිසා, ඔවුන්ගේ ජීවන අත්දැකීම් තම නිර්මාණයන් සඳහා රසඥතාවෙන් යුතුව යොදා ගත්තේය.

මහගමසේකර කලා ක්‌ෂේත්‍රයේ අංශ කිහිපයක කුසලතා දැක්‌වූ දුර්ලභ ගණයේ කලාකරුවෙකි. ඔහු ප්‍රවීණ ලේඛකයෙකි. කවියෙකි, ගීත රචකයෙකි, චිත්‍ර ශිල්පියෙකි, අති දක්‌ෂ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි, කෙටිකතා නිර්මාපකයෙකි, කුසලතා පිරි නවකතාකරුවෙකි. ඔහු අනුකාරකයකු නොවූ අතර නිර්මාපකයෙකු විය. ජනප්‍රියත්වය පසුපස නොගිය අතර ජනප්‍රියත්වය ඔහු පසුපස හඹා ආවේය. ඔහුට තම කලා නිර්මාණ සඳහා සම්ප්‍රදායය අකුලක්‌ නොවූ අතර රුකුලක්‌ විය. මහගමසේකර සතුව සුන්දර හදවතක්‌ තිබිණි. ඔහුගේ "තුංමං හන්දිය" නවකතා කෘතියෙන් එය සනාථ වෙයි. එහි නිරූපිත ලොකු මාමාගේ චරිතයෙන් වනිත වන්නේ මහගමසේකරයන්ගේ චරිත ස්‌වභාවයයි. සේකරයන් තුළ පැවති අව්‍යාජත්වය, අවංකත්වය, මානව දයාව හා ගැමි ස්‌වභාවය ලොකු මාමාගේ චරිතයෙන් නිරූපණය කෙරේ. සේකරයන්ගේ බොහෝ නිර්මාණයන්ගෙන් ගැමි සුවඳ වහනය වෙයි. ඔහු ගැමි පරිසරයේ තිබෙන සුන්දරත්වයට සුවිශේෂ ඇල්මක්‌ දැක්‌වීය. එහෙත් නාගරික පරිසරය අමතක නොකරයි. මහගමසේකරයන්, විමලරත්න කුමාරගම මෙන් මානව දයාවෙන් සපිරුණු මිනිසෙකි. එමෙන්ම චන්ද්‍රරත්න මානවසිංහයන් මෙන්ම ගීතවත් කවියෙකි.

මහගමසේකර යථාර්ථවාදී කවියකු විය. ඔහු කාව්‍ය සංග්‍රහ අටක්‌ රචනා කළේය. ව්‍යාංග්‍යා (1960), සක්‌වාලිහිණි (1962), හෙට ඉරක්‌ පායයි (1963), මක්‌ නිසාද යත් (1964), රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත (1967), බෝඩිම (1970), නොමියෙමි (1973) හා ප්‍රබුද්ධ (1977) වේ. මේ කාව්‍ය සංග්‍රහවලින් මහගමසේකරයන්ගේ කවීත්වය ක්‍රමයෙන් පරිණත වූ ආකාරය වනිත වේ. ඔහුගේ "ප්‍රබුද්ධ" කාව්‍ය සංග්‍රහයෙන් කවිය යනු රස නිෂ්පත්තියට පමණක්‌ සීමා වන්නක්‌ නොවන බව පිළිබිඹු වෙයි. පවතින සමාජ ක්‍රමය බිඳ දමා, යහපත් ආකාරයෙන් එම සමාජ ක්‍රමය ප්‍රති නිර්මාණය කිරීමේ කාර්ය භාරයද කවියා බාරගත යුතු බව එයින් වනිත වේ. මහගමසේකර කවියා මරණය සුන්දර දෙයක්‌ ලෙසින් දකියි. එහෙත් වෙනත් බොහෝ කවීන් මරණය දකින්නේ භයංකර දෙයක්‌ සේය. සේකර සැබෑ මරණය ලෙසින් දකින්නේ ජීවත් වීමයි. මිනිසා ජීවන අරගලයට මුහුණ දෙන අවස්‌ථාවේදී මතුවන ඇතැම් ගැටලු නිසා ජීවිතයේ සිය දහස්‌ වරක්‌ මැරි මැරී උපදියි. සේකර කවියා ගිලන් වී ඇඳේ සිටියදී මරණයේ සුන්දරත්වය අගය කරයි.

මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ

මහගමසේකර මරණය සුන්දර දෙයක්‌ ලෙස සැලකූ බව උක්‌ත පද්‍යයෙන් පැහැදිලිය.

සේකර නව කාව්‍ය සම්ප්‍රදායක්‌ ගොඩනැඟුවේය. එළිවැට කාව්‍ය ආකෘතිය, නිසඳැස්‌ කාව්‍ය ආකෘතිය හා ජන කවි ආකෘතිය යන අංශ තුනම උපයුක්‌ත කොටගෙන හේ පද්‍ය රචනා කළේය. කාව්‍ය භාෂාවට නොගැළපෙතැයි සැලකූ අසම්මත වචනද සේකර යොදා ගනියි. ඔහු සිය නිර්මාණ සඳහා යොදා ගන්නා වචන මෙන්ම, වචන යොදන විලාසයද අපූර්වය. විශේෂයෙන්ම ඔහුගේ පද්‍ය පන්තිවල රිද්මය මෙන්ම ගීතවත් භාවය රැකෙන්නේ වචන යොදන විලාසය අනුවයි.

"උඩින් උඩින් දෙපා - තබා මඩෙන් මිදී
සුරංගනාවියෝ - මුඩුක්‌කුවෙන් බසිත්"
"බිඳෙන් බිඳේ ජලේ පයිප්පයෙන් වැටේ
බෙලෙක්‌ක ටින් රැගත් -ළමෝ වටා සිටිත්"

සේකරයන්ගේ පද්‍ය පන්තීන් හි රිද්ම රටා ගැබ්වී තිබෙන ආකාරය මෙයින් පෙනේ. එය අදාළ අවස්‌ථාවට උචිතය. ඔහු මුඩුක්‌කු පරිසරය ද දුටුවේ මානව දයාවෙන් යුතුවය. එබඳු කර්කශ පරිසරයක ජීවත් වන කාන්තාවන් වුවද සුරංගනාවියන් ලෙසින් දැකීමට තරම් සේකර නිහතමානී වන්නේය.

ගීත ක්‌ෂේත්‍රයේ ද නිපුණතා දැක්‌වූ ඔහු දේශීය සංගීතයක්‌ ගොඩනැඟීමේ අරමුණෙන් තම කලා කුසලතාවන් ගීතයෙන් එළිදැක්‌වීය. "මළහිරු බසිනා සැන්දෑයාමේ", ඉරට මුවාවෙන් ඉඳගෙන", "පාළු අඳුරු නිල් අහස මමයි", "මා මළ පසු සොහොන් කොතේ" යන අදට ද එක සේ රසවත් ගීතවලින් සේකරයන්ගේ නිර්මාණ කෞශල්‍යය ගම්‍ය මාන කෙරේ.

මහගමසේකරයන් වර්තමානයේ පවා අපේ හදවත් තුළ නිදන්ගත ව ඇත්තේ, ඔහු පොදු ජනතාව අතර ජීවත් වූ නිසාය. මේ කවියා යුගයේ අවශ්‍යතාව හඳුනාගෙන සිsටි අතර කවිය සර්වකාලීන නිර්මාණයක්‌ විය යුතු බව පිළිගත්තේය. ඈත අහසේ දීප්තියෙන් බැබළෙන තාරකාවක ආලෝකය පොළොවට පතිත වන විට එම තාරකාව මියගොස්‌ බොහෝ කලක්‌ ගතවිය හැකිය. මහගමසේකරයන්ගේ වටිනාකම වඩ වඩාත් දැනෙනු ඇත්තේ, අදටත් වඩා හෙට දවසේ ය. විසිවැනි සියවසේ මෙරට බිහිවුණ විශිෂ්ටතම නිර්මාපකයකු සේ මහගමසේකරයන් හැඳින්විය හැකිය. ඔහු 1976 ජනවාරි 14 වැනි දින අප අතරින් සදහටම වෙන්විය.

රෝහණ වංශතිලක
 

 
Powered By -