පෙරදිග මුතු ඇටය සුරැකෙන මඟ!

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හිමිකර ගන්නා ලද ඓතිහාසික විජයග්‍රහණයට දසදෙසින් ගලා එන සුබපැතුම් වලට අපගේ හෘදයාංගම සුභාශිංසන ද එක්‌ කරමින්ම අපි මෙම තීරුව ආරම්භ කරමු. ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් වූ අය මෙන්ම ඉච්ඡාභංගත්වයට පත් වූ අය ද නොසිටිතියි කිව නොහැක.

මෙම ජනාධිපතිවරණයේදී අප දුටු දේශපාලන හැසිරීම්වලින් ද විපක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය තුළින් ද පිළිsබිඹු වූයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට වඩා වෙනස්‌ තත්ත්වයක්‌ බව ද කනගාටුවෙන් වුවද කිව යුතුය. මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතාගේ සාක්‍ෂිය වැඩි දෙනකුට පිළිගත හැකි එකක්‌ බව ද අපගේ විශ්වාසයයි.

මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ නමැති නායකයාගේ පෞද්ගලික ජයග්‍රහණයක්‌ ලෙස අපි හඟිමු. තිස්‌ අවුරුදු ශාපලත් දේශයක අඳුරු ඉරණම වෙනස්‌ කළ සොඳුරු ප්‍රතාපවත් රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට විචිත්‍ර පරිච්ඡේදයක්‌ එක්‌ කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට හැකිවීම දේශප්‍රේමී ජනතාවගේ කෘතවේදිත්වයට නිමිත්ත වූ බව ද නිසැකය. එහෙත් ඒ විජයග්‍රහණයේ උරුමය රටට ඉදිරිපත් කරමින් පමණක්‌ නොව සිය සේනාධිනායකයාගේ ප්‍රබල ප්‍රතිවාදියා බවට පත්වීමට ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වීම ද ඒ සටන වඩාත් උණුසුම් කරන්නක්‌ම විය.

ජයග්‍රහණය තරමට පරාජය භාරගැනීමට අපි බොහෝ විට මැලිවන්නෙමු. එහෙත් මේ ජයග්‍රහණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්‌වරයා මෙන්ම මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් විසින් ද දෙන ලද සහතිකය අපට සෑහේ. එනිසා අපට ඒ පිළිබඳව විවේචනයක්‌ ද නැත. එහෙත් මෙම ප්‍රතිඵලයෙන් දකුණ හා උතුර නැගෙනහිර යන අවාසනාවන්ත බෙදුම් රේඛාව යළිත් පැහැදිලි වී තිබීම අපගේ සංවේගයට හේතුවකි.

ශ්‍රී ලංකාව ඒකීය රටක්‌ ලෙස, නොබෙදුණු, නොබිඳුණු රටක්‌ ලෙස පැවතිය යුතුය යන්න දිවයිනෙහි ද ආස්‌ථානය බව අපි මීට පෙර ද පවසා ඇත්තෙමු. මෙවර මැතිවරණ ප්‍රතිඵලය විමසා බලන කවරෙකුට වුවද උතුර නැගෙනහිර ජනමතය හැසිරී තිබෙන ආකාරය දැන මැන ගැනීම අසීරු නැත. උතුර නැගෙනහිර ජනතාව සිය අභිමතය මගින් පෙන්නුම් කළේ කුමක්‌ද යන්න අර්ථකථනය කිරීමට දෙමළ සන්ධානය ප්‍රමුඛ ෆෙඩරල්වාදීහු නිසැකවම ඉදිරිපත් වෙති. එය මහින්ද රාජපක්‍ෂට එරෙහිව පමණක්‌ නොව ඔහු විසින් මකා දමන ලද ඊළාම් සිතියමට පක්‍ෂව ඉදිරිපත් වූවක්‌ ලෙස ද ෆෙඩරල්වාදීන්ට මෙන්ම මේ රට බෙදා වෙන්කිරීමට මාන බලන බටහිරයන්ට ද දැක්‌විය හැකිය.

ඉතිහාසය මුළුල්ලේම අඳුරු අඩි තබමින් ඉදිරියට පැමිණි බෙදුම්වාදයේ භූතයා පළමු වරට අපට දැකගත හැකි වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති සාහසික රූපයෙනි. ජනාධිපති රාජපක්‍ෂ මහතා අද ඔහුට ප්‍රතිපක්‍ෂ වුවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ද සහාය ඇතිව වනසා දමන ලද්දේ එකී බෙදුම්වාදී හිස සහ ඒ සමඟ බද්ධ වී සිටි අනෙකුත් හිස්‌ ය. එහෙත් දැන් සිදුවිය හැක්‌කේ කුමක්‌ද?

දෙමළ දේශපාලන නායකයන් ලෙස ආර්. සම්බන්ධන් මෙන්ම ආනන්ද සංගරී ද තම ජනතාව පෙළගස්‌වන්නේ කෙසේද යන්න පිළිබඳව අලුත් ඇසකින් හා අලුත් මනසකින් බැලිය යුතු කාලය එළඹ තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යqහය තුළ සුහදව හා සාමයෙන් ජීවත් විය හැකි දේශපාලන සංස්‌කෘතියක්‌ වුවමනාය. දෙමළ ජනහිස තුළ ප්‍රභාකරන් විසින් මෙන්ම ඇතැම් දෙමළ නායකයන් විසින් ද තැන්පත් කරන ලද බෙදුම්වාදයේ හා වර්ගවාදයේ මළකඩ ඉවත් නොකර එක්‌සත් රටක්‌ හෝ එක්‌සත් ජාතියක්‌ ගොඩනැඟිය නොහැකි බව ඉතා පැහැදිලිය.

තමන් සියලු ජන කොටස්‌වල මෙන්ම තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු දෙනාගේම ජනාධිපතිවරයා බව සිය දෙවැනි විජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා පැහැදිලිව කියා සිටියේ ද මෙම අභියෝගයේ ප්‍රමාණය මනාව දත් විචක්‍ෂණ දේශපාලනඥයකු හා ජනනායකයකු ලෙසය. එහෙත් ඒ අභියෝගය ඔහුට තනිව ජයගත නොහැක.

දැන් රට ඉදිරියේ තිබෙන මතවාද වෙනස්‌කම් අවම කර ගැනීම ඉතා අවශ්‍යය. රටට හිතකර අලුත් ගමනකට අවශ්‍ය වන්නේ ද එයයි. එ.ජා.ප.ය, ජ.වි.පෙ. මෙන්ම දෙමළ හා මුස්‌ලිම් දේශපාලන නායකයෝ ද ජනාධිපතිවරණ සටනේදී සිය අසමතුලිත පිළිවෙත් අතහැර එකට සිට ගත්හ. එහෙත් ඔවුන්ට සිය මතවාදය ජයග්‍රහණයට පත්කළ නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනවරම අලුත් විය.

මෙහිදී ඔවුන් විසින් කළ යුත්තේ ද ඒ ජනවරම රටේත් සියලු ජාතීන්ගේත් අභිවෘද්ධිය පිණිස යොදාගත හැකි ආකාරයට භාවිත කරන තැනකට මහින්ද රාජපක්‍ෂ මහතා තල්ලු කිරීමය. එය ඔහුට කරන පෞද්ගලික උපකාරයක්‌ නොව රටට කරන උපකාරයක්‌ බව කල්පනා කළ යුතුය.

දේශපාලනයේදී හැමවිටම සියල්ල යහපත් නොවේ. මහින්ද රාජපක්‍ෂගේ කණ්‌ඩායම තුළ ද හොඳ හා නරක සංකලනයක්‌ විය. එහෙත් රටේ ජනතාවට ලැබෙන සහන හා ප්‍රතිලාභවලට වඩා සමෘද්ධිමත් ජීවිත දේශපාලනඥයන්ට හිමිකර දුන් බවට ජනාධිපතිවරයාට ප්‍රබල චෝදනාවක්‌ විය. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සේවාවන් දිගින් දිගටම පිරිහී ගිය අතර ජනතාවගේ ජීවන තත්ත්වයද පීඩාකාරී විය. එහෙත් ජනතාව සිය නායකයාට කෘතවේදී විය.

මේ තත්ත්වයට ක්‍ෂණික විසඳුම් මෙන්ම සැලසුම් සහගත විසඳුම් වුවමනාය. දේශපාලන ප්‍රශස්‌තිවලින් හෝ නායකයාට කරන අභිනන්දනවලින් රටක්‌ වෙනස්‌ කළ නොහැක. දූෂණය, නාස්‌තිය සපුරා නැති කළ නොහැකි වුවද ඒවා අනුමත නොකිරීමත්, දූෂිතයන්ට දඬුවම් දීමත් ජනතාව අපේක්‍ෂා කරති.

යහපාලනය මෙන්ම විශ්වාසනීය වෙනසක්‌ රටම අපේක්‍ෂා කරයි. ඒ සඳහා කොපමණ වැරැදි තිබුණත් සිය පළපුරුදු නායකයාම යහපත් බව බහුතර ජනතාව සුපැහැදිලිව තීන්දු කර තිබේ. ඒ ජන අභිලාෂය මල්පල ගැන්වීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකිවේවා යි ද අපි ප්‍රාර්ථනා කරමු.

අප ලත් දෙවැනි නිදහස අර්ථවත් කළ හැකිවන්නේ ද එබඳු අලුත් වෙනසකින් පමණි. අසත්‍ය සත්‍යයෙන්ද, හිංසාව අහිංසාවෙන් ද වෛරය මෛත්‍රියෙන් ද ජයගත යුතු වෙමු. එහි පළමු පියවර තැබීමට කාලය එළඹ තිබේ. පෙරදිග මුතුඇටය සුරැකීම සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු කල්‍යාණ මිත්‍රයන්ගේ වගකීම බව අපි සුපැහැදිලිව කියන්නෙමු.
 

 
Powered By -