දිය රකුසාට ජීවිතය කැප කළ වර්ජිනියා වුල්ෆ්


ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට නිර්මාණකරුවන් අතර කැපී පෙනෙන ජගත් ලේකාවක ලෙස හැඳින්විය හැකි වර්ජීනියා වුල්ෆ් 1882 වර්ෂයේ ජනවාරි 25 දා එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබුවාය.

ඇගේ මව සහ පියා වංශවත් පෙළපතකට අයත් වූහ. ඔවුන් නමින් ජූලියා සහ ඩක්‌වර්ත් නමින් හැඳින්විණි. මෙම සුප්‍රසිද්ධ ලේකාවගේ සම්පූර්ණ නම ඇඩ්ලින් වර්ජීනියා වුල්ෆ්ය. වර්ජීනියා යන නම පටබැඳුනේ ලංකාවේ සිටි ලෙනාඩ් වුල්ෆ් නමැත්තා සමග විවාහ වූ හෙයිනි. ජනප්‍රිය "බැද්දේගම" කෘතිය රචනා කරන ලද්දේ ලෙනාඩ් වුල්ෆ් බව පාසල් දරු දැරියන් දනිති. ලෙනාඩ් වුල්ෆ් සුදු පාලන යුගයේ අප රටේ සිවිල් නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි. එසේම ඔහු ද ලේඛකයෙකි. ඔහු එංගලන්තයට නිවාඩුවක්‌ සඳහා ගොස්‌ සිටියදී වර්ජීනියා හමුවී පෙම් සබඳතාවයක්‌ මත විවාහ වූයේය. මෙම විවාහය සිදුවී ඇත්තේ 1912 අගෝස්‌තු මාසයේදීය.

වර්ජිනියා වුල්ෆ් තම ළමා විය පසු කරද්දී අභාග්‍යයකට මෙන් මව ජූලියා මෙලොවින් සමුගත්තීය. ඇගේ මරණින් පසු ජැක්‌සන් ඩක්‌වර්ත් (පියා) දෙවැනි විවාහයක්‌ කර ගත්තේය. ඒ කලින් බිරිඳ ජූලියාගේ සහෝදරියක වූ ස්‌ටෙලාය. වර්ජීනියා හදා වඩා රැක බලා ගැනීමේ කාර්යයට සුළු මව ස්‌ටෙලා ඉමහත් කැපවීමකින් කටයුතු කළද, වසර 02 කට වඩා ඇයට ජීවත් වීමේ භාග්‍ය නොලැබිණි. ඇයද මිය ගියාය.

ළමා වියේදී වර්ජිනියාට ඉගැන්වීමේ කටයුතු කිරීමට, පාසල් යාමට අවස්‌ථාවක්‌ උදා නොවීම නිසා පියා විසින් පොත්පත් කියවීමට, ලිවීමට මග පෙන්වීම ඇයට මහත් අස්‌වැසිල්ලක්‌ විය. මේ අතර වර්ජිනියාට ඇතැම් අවස්‌ථාවලදී සිහිමද ගතියකින් පෙළීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවිය. සිහි විසඥතාවය සුව වීමෙන් පසු යළි පොත්පත් කෙරෙහි උනන්දු වීමත් ස්‌මරණ ශක්‌තිය මතකය ඇතිවීමත් නිසා ලේඛන කලාව කෙරෙහි ඇය උනන්දු වූවාය. මේ අතර 1904 දී ඇගේ පියාද මෙලොව අත හැර ගියේය. මෙවන් පසුබිමක වර්ජිනියාට තම සහෝදරිය "වැනෙන්සා" සහ සහෝදර එඩ්රියන් සමග ගෝර්ඩන් චතුරශ්‍රයේ අලුත් නිවසක පදිංචියට යාමට සිදුවිය. මෙම නිවස "බ්ලූම්ස්‌ බරී" නමින් වූ අතර බ්ලූම්ස්‌බරී සාහිත්‍ය සංවිධාන මූලස්‌ථානයක්‌ බවට පත්විය.

මැගේ ළමා විය සහ තරුණ විය පසු කරද්දී වික්‌ටෝරියා රැජිණ ගේ මරණය මෙන්ම ඊළඟ වර්ෂ 02 කේ දී (1903) ගුවන් යානය නිපදවූ රයිට්‌ සහෝදරයන් ගැනද තොරතුරු ප්‍රචලිත විය. මීට අමතරව 1914 දී පැවති පළමු ලෝක යුද්ධය කෙරෙහිද සමාජ පසුබිම් තත්ත්වයන් හි නා නා විධ වෙනස්‌කම් සිදුවිය. මේ සියලු කාරණා කටයුතු මෙන්ම සමාජ සුධාරකයන්, විද්වතුන් ලේඛකයන් බිහිවීමෙන් නව පරිසර රටාවකට මේ තල්ලුවීම වර්ජිනියාගේ ලේඛන කලාවට ඉනිමගක්‌ වූයේය. සමාජයේ ඇති වූ වෙනස්‌කම් හා තම ජීවන ගමනේ රටාවන් පාදක කරගෙන තම සාහිත්‍ය කලා නිර්මාණයන් ගොතන ලද්දේ නව කථා, කෙටි කථා, චරිතාපදාන කථා,විචාර ලිපි, දින සටහන් ආදී වශයෙනි. මැය විසින් රචිත මුල්ම නව කථාව වූයේ "ද වොයෙ- අවුට්‌" (The Voyage Out) නොහොත් විනෝද ගමන යනුවෙනි. මෙම අන්දරය 1913 දී එළි දැක්‌වා තිබේ. "නයිට්‌ ඇන්ඩ් ඩේ" (Night and Day) නොහොත් රැය දවාල කෘතිය ප්‍රකාශයට පමුණුවා ඇත්තේ 1919 දීය. "ජෙකොබ්ස්‌ රූම්" නොහොත් ජෙකොබ් ගේ කාමරය කතාව 1922 දී ප්‍රසිද්ධියට පත්විය. "ඩැල්ලොවේ මහත්මිය" (Mrs. Dalloway) ටු ද ලයිට්‌ හවුස්‌ (To the light house) ද වෙවුස්‌ (The Waves) ද ඉයර්ස්‌ (The years) වැනි නව කථාද පිළිවෙළින් 1925, 1927, 1931, 1937 වර්ෂ වලදී නිකුත් වූයේය.

කෙටි කථාන්තර වශයෙන්ද " ද මාර්ක්‌ ඔන් ද වෝල්" "කිව් ගාඩ්න්ස්‌" යන කථා එළිදක්‌වා තිබේ. චරිතාපදාන නවකථා ලෙස ඩලැන්ඩෝ (DRLANDO) ෆ්ලෂ් (Flush) රොජර් ප්‍රයි (Roger Fry) ප්‍රකාශයට පමුණුවා තිබේ. ඇගේ දෛනික සටහන් සහ වෙනත් ලිපි කීපයක්‌ද පළකර ඇත්තේ මරණින් පසුවය.

නවකථා කරණයේදී එතෙක්‌ පැවති ආකෘතිය වෙනත් මගකට ඇය ගෙන ගියාය. චරිත සහ අත්දැකීම් කෙරෙහි ඇගේ පෑනට මුල්තැනක්‌ හිමිවිය. ධර්ලැන්ඩෝ (DRLANDO) චරිතාපාදන කථාව උසස්‌ කෘතියක්‌ බවට පිළිගැනුණි.

ඉංග්‍රීසි සාහිත්‍යට උසස්‌ මෙහෙවරක්‌ කරමින් ලේඛන කලාවේ පෝෂණයට ඇය දුන් දායකත්වය අසීමිතය. මෙම ජගත් ලේඛිකාවගේ කෙටි කථා, නවකථා, විචාරාත්මක කෘති කෙරෙහි නවීන කාල වකවානුව බලපා ඇති වග පෙනේ. ලොව දක්‌ෂ සාහිත්‍යධරයන් බිහිවීමට වර්ජිනියාගේ සිව්මැලි ඇඟිලිවලින් දැක්‌වූ දස්‌කම්, විස්‌කම්, සාහිත්‍ය පෝෂණයට සුවිශේෂී මෙහෙවරක්‌ වූයේය.

මෙම ලේඛිකාව යොවුන් වියේදී උමතුවෙන් කටයුතු කළ බව පසක්‌ කෙරේ. තමාගේ සමීප ඥතියකු විසින් තම පාරිශුද්ධත්වය කෙළෙසූ වගක්‌ ගැනද අතීත දින පොත් සටහන්වලින් ගම්‍ය වෙයි.

ලෙනාඩ් වුල්ෆ්, වර්ජිනියා සමග විවාහ වීම නිසා යළි ලංකාවට නෙපැමිණ එංගලන්තයේම සිටියේය. ඔහු රැකියාව වෙනුවෙන් "හෙගාන්" නමින් මුද්‍රණාලයක්‌ ආරම්භ කළේය. මුද්‍රණාලයක්‌ පිහිටුවීම ගැන වර්ජිනියා ඉමහත් සතුටට පත් වූවාය. ඇයගේ ප්‍රථම නවකථාව වූ "වොය- අවුට්‌" නොහොත් විනෝද ගමන කෘතියේ දෙවැනි මුද්‍රණය කරන ලද්දේ යටකී මුද්‍රණලය මගිනි.

මෙම ජගත් ලේඛිකාවගේ, සාහිත්‍යධරියගේ මරණය සිදුවූ අයුරු ඉතාමත් ඛේදජනකය. කලින් සටහන් කළ පරිදි මානසික ආබාධයකින් සිටි ඇය මාරයාට ළං වන්නට සිතුවාය. ඒ බව ඇගේ දින පොත්වලද සටහන් වීය. 1941 මාර්තු 28 දා ඇය ජලාශයකට පැන දිවි තොර කර ගත්තාය.


ආර්. ඇම්.ටී.බී. රත්නායක

 

 
Powered By -