ජෙනරාල්ගේ කාර්යාලයෙන් අත්අඩංගුවට ගත්
පරිගණක ගැන විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන්න

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නියෝග කරයි

සමන්ත ඉලේපෙරුම

ජනාධිපතිවරණයට තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය මාවතේ පිහිටි දේශපාලන කාර්යාලයේ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක හා සංයුක්‌ත තැටි සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්‌ෂණ පීඨයෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්නම් මහත්මිය ඊයේ (01 දා) නියෝග කළාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

අපරාධයක්‌ සිදු කිරීමට සැළසුම් කරන බවට ලද තොරතුරක්‌ අනුව කරනු ලැබූ ස්‌ථාන පරීක්‍ෂණයක්‌ සම්බන්ධයෙන් කරුණු ගොනු කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සිsද්ධියට අදාළ ඉල්ලීම සිදු කරනු ලැබීය.

අනන්‍යතාව හෙළිකිරීමට අකමැතිවූ පුද්ගලයකු තමන් වෙත පැමිණිල්ලක්‌ කරමින් අංක තහඩු නැති යතුරුපැදිවලින් යුද්ධ හමුදා සෙබළුන්ට සමාන පිරිසක්‌ ගිනි අවි රැගෙන කොළඹ 07, රාජකීය මාවත, අංක 1/3 දරණ ස්‌ථානයට පැමිණි බවට කළ දැනුම් දීම අනුව එම ස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කළ බව දැන්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අංක තහඩු නැති යතුරු පැදි 06 ක්‌ද අංක තහඩු ඇති යතුරු පැදි 02 ක්‌ද, හමුදා සෙබලුන් 16 දෙනෙක්‌ හා සිවිල් පුද්ගලයන් 07 දෙනෙක්‌ වැඩිදුර විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවත් සෝදිසි කිරීමෙන් අනතුරුව අදාළ ස්‌ථානය දමින්ද පෝරගේ, එච්. ජී. ෂර්මිලා, දිල්හානි මිල්රෝයි හා චානුක පෙරේරා යන අයවලුන් වෙත නැවත භාරදීම සිදු කළ බවත් දන්වා සිටියේය.

සෝදිසි කිරීමට ලක්‌ කළ ස්‌ථානයේ තිබී පරිගණක දත්ත සැකසුම් ඒකක (Cඡඹ) 18 ක්‌ද, ලැප්ටොප් වර්ගයේ පරිගණක 05 ක්‌ද, දත්ත බහාලුම් 01 ක්‌ද, සංයුක්‌ත තැටි 53 ක්‌ද, පටිගත කරන ලද කැසට්‌ 47 ක්‌ද මුද්‍රd තබා අත්අඩංගුවට ගත් බව ද දැන්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම භාණ්‌ඩ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ පරිගණකයන්ගේ අන්තර්ගත දත්ත හා මකා ඉවත් කළ දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත් පරිගණක හා සංයුක්‌ත තැටි සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්ලේෂණ වාර්තාවක්‌ කැඳවන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක්‌ කළේය.

ඉදිරිපත්වූ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරිය විමර්ශනයට අදාළළව අත්අඩංගුවට ගෙන ඇති සංයුක්‌ත තැටිවල අඩංගු කරුණු හා පරිගණකවල දත්ත බහාලුම් වල දැනට ඇති දත්ත හා යම් කොටසක්‌ මකා ඉවත් කර ඇත්නම් එසේ කිරීමෙන් පසු ප්‍රති උත්පාදනය කරන ලද දත්ත සම්බන්ධයෙන් වාර්තාවක්‌ කැඳවන ලෙසත් පැමිණිල්ල වැඩිදුර විභාගයට ලබන 11 දා යළි කැඳවන ලෙසත් නියෝග කළාය.
 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.