සංස්‌කරණය : නාරද නිශ්ශංක

භද්‍රජී දකින "වැහි දවස"

"වැහිදවස" අලුත්ම සිනමා පටයක්‌... බොහෝවිට අලුත් චිත්‍රපටයක්‌ ගැන අප අතින් ලියෑවෙන්නේ එය නැරැඹීමෙන් පසුවය. ඒත් මේ චිත්‍රපටය... ඒ කියන්නේ "වැහි දවස" මාධ්‍යවේදීන්ට පෙන්වන්නේ අදය. ඒ ජාතික චිත්‍රපට සංස්‌ථා සිනමා ශාලාවේ සවස පහටය. "වැහි දවස" නරඹා ඒ ගැන වෙනත් දවසක තවත් ලිපියක්‌ ලියෑවෙනු ඇත. ඒත් ඊට කලින් මෙවැන්නක්‌ ලියන්නට හේතුවූ කාරණා කීපයක්‌ තිබේ.

"වැහි දවස" අධ්‍යක්‍ෂවරයා වන්නේ භද්‍රජී මහින්ද ජයතිලකය. භද්‍රජීගේ සිනමා සම්ප්‍රාප්තිය වැහි දවසින් ආරම්භ වීම විශේෂ කරුණකි. එපමණක්‌ද නොවේ "වැහි දවස" සිනමා කෘතියට පාදක වන්නේද භද්‍රජී විසින්ම ලියූ "වැහි දවස" නව කතාවය.

"වැහිදවස" නව කතාවේ නිමිත්ත ගැන භද්‍රජී පවසන්නේ මෙවැන්නකි.

"වැහි දවස එක්‌ නිමේෂයක මා තුළ උපන් කතාවකි. එක්‌ දවසක මම කඳුකරයට ගමන් කරද්දී මා ගිය වාහනය දර්ශන දෙකකට මැදිවුණා. එක පසෙක ගී ගයමින් ප්‍රීතිවන නළු නිළියන් රැගත් බස්‌ රථයක්‌ ගමන් ගත්තා. අනෙක්‌ පැත්තේ ක්‌ලික්‌... ක්‌ලික්‌... හඬ නැඟෙන ගල් කොරියක හිරිපොද වැස්‌සේ තෙත බරිතව ගල් කඩන මිනිසුන් පිරිසක්‌. මේ දසුන් දෙක ඔස්‌සේ "වැහි දවස" කතා පුවත මා තුළ උපන්නා. නව කතාව සාර්ථක වුණා. එය මුද්‍රණය වූ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා තෝරාගත් කෘති දහයට ඇතුළත් වුණා.

මිනිසුන් තම තමන්ගේ ජීවිත ගත කරනවා. මඳකට එකිනෙකා මුණ ගැසෙනවා. අහඹු දේ සිදුවෙනවා. හිරු උදාවේ සිට එය අවරට යන වේලාව දක්‌වා බොහෝ දේ සිදුවන්න පිළිවන්. අපි හැම දෙනා ජීවත් වන්නේ අපේම ලෝකවල. ඒත් සමහර වෙලාවට අපේ ලෝක ගැටෙනවා. බොහෝවිට සිද්ධ වන්නේ අපට පාලනය කරන්න බැරි දේවල්. කුමක්‌ සිද්ධ වුණත් අපේ ජීවිත ගලා යා යුතුමයි.

වැහි දවසට උත්පත්තිය දුන් භද්‍රජීගේ අදහසුයි ඒ.

"වැහි දවස" නවකතාව සිනමා තිර පිටපතකට රචනා කළේ හේමන්ත ප්‍රසාද්ය. හේමන්ත දක්‍ෂ තරුණ වේදිකා රංගන ශිල්පියෙකි. වැහි දවස අධ්‍යක්‍ෂණ කාර්යයට භද්‍රජීට සහාය වී තිබෙන්නේ උදේනි අල්විස්‌ය. උදේනිද වේදිකාවේ රූපවාහිනියේ රංගනයේ යෙදෙන දක්‍ෂ නිශ්චල ඡායාරූප ශිල්පියෙකි. වේදිකා නාට්‍ය ශිල්පී එම්. සහීර්ද කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නද "වැහි දවසට" භද්‍රජීට සහාය වී ඇත.

"භද්‍රජී මහින්ද ජයතිලක" යනු ක්‍ෂේත්‍ර ගණනාවක්‌ ඔස්‌සේ කලාවට එක්‌වූ සහෘදයෙකි. හේ මේ ගමන අරඹන්නේ ලේඛකයෙක්‌ ලෙසය. ඔහු රචනා කළ කෘති සංඛ්‍යාව සියය ඉක්‌මවයි. නවකතා, කෙටි කතා, වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය, පරිවර්ථන ග්‍රන්ථ, පර්යේෂණ ග්‍රන්ථ, රචනා කළ භද්‍රජී තවත් වරෙක ගී පද රකයෙකු ලෙසද, ගී තනු නිර්මාණ ශිල්පියෙකු ලෙසද භූමිකා රඟ දක්‌වයි.

ඔහු ලියූ "පවුරු බැඳි රාජ්‍යය" නව කතාවට 1994 දී ඩී. ආර්. විජයවර්ධන සම්මානයද, 1970 දී සරච්චන්ද්‍ර සම්මානයද හිමිවිය. ඔහුගේ "රෝස පාට පුංචි ගේක" නාට්‍ය පිටපත දිනෙක කුසිනාරාවේ නවකතාව මෙන්ම ඇමරිකාවේ කසාවත (රාජ්‍ය සාහිත්‍ය) සම්මාන හිමිකර ගත්තේය.

ජනප්‍රිය ගායකයෙකු, ටෙලි නාට්‍ය රචකයෙකු, රංගන ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකුද වන භද්‍රජී මහින්ද ජයතිලක 1973 දී ඇමරිකා එක්‌සත් ජනපදයට ගියේය.

චිත්‍රපටයක්‌ නිර්මාණය කරන්න මම හැමදාම සිහින මැව්වා. හැම තරුණයෙකුටම සිහින තිබෙනවා. මා අවුරුදු හැටක්‌ පුරා මගේ මේ සිහිනය දුටුවා. ඇමරිකාවට ගිය මම ඒ පිළිබඳ හදාරන්නට පටන් ගත්තා. ස්‌වාධීන රූපවාහිනිය අපේ රටට හඳුන්වාදීමේ සම්බන්ධීකාරයා වීමේ ගෞරවයත් එම රූපවාහිනි සේවාවේ මෙන්ම ජාතික රූපවාහිනියේත් උපදේශක, නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරන්නත් මට අවස්‌ථාව ලැබුණා. මම ලියා අධ්‍යක්‍ෂණය කළ "අතරමඟ නවාතැන" කෙටි ටෙලි නාට්‍යය පළමුවරට චිත්‍රාගාරගත කැමරා තුනකින් සජීවී ලෙස සංස්‌කරණය කරමින් එවැනි පළමු නාට්‍ය ලෙස ඉතිහාසයට එක්‌කරන්න හැකි වුණා. මම කැලිෆොaනියාවේ "ධන කුවේරයෝ" නමින් පැයක ටෙලි නාට්‍යයක්‌ ලියා අධ්‍යක්‍ෂණය කළා. ඇමරිකාවේ නිපදවූ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය "ධන කුවේරයෝයි."

දැන් අපි යළි "වැහි දවස" දෙසට හැරෙමු. "වැහි දවස" නුවරඑළිය ශීතල පුරවරයේ රූගත කළ සිනමා පටයකි. භද්‍රජී වැහි දවස චිත්‍රපටයේ කතා සාරාංශය පෙළ ගස්‌වන්නේ මතු දැක්‌වෙන ආකාරයටයි.

ශීත මීදුම් සළු පොරවාගත් නුවරඑළිය නගරය තවමත් නිදාගෙන. කඳුයායත් තේ පඳුරු පිරි බෑවුමත් තවමත් ඇහැරෙන්නට සූදානම් නැහැ වගේ. එහෙත් එලීසාට එලෙස අලසව සිටින්නට බැහැ. තම කුසීත සැමියා විලිසොන් කලින්දා උපයා දුන් සොච්චමින් දරු පැටවා ඇතුළු තිදෙනකුගේ කුසගිනි නිවීමට සූදානම් විය යුතුයි. අසනීපව පසුවන දරු පැටියා කෙසේ හෝ මහ රෝහලේ වෛද්‍යවරයාට පෙන්වා ප්‍රතිකාර ගත යුතුයි.

අසල පැල්පතේ ඉන්නා තේජාද තමන්ගේ පෙම්බර සැමියා බංදු පාලට උදැසනම තේ කෝප්පයක්‌ සාදා දී සූදානම් වන්නේ එලීසා සමග රෝහලට ගොස්‌ තම කුස තුළ සිටින කුළුඳුල් දරුවාගේ සුවදුක්‌ දැන ගන්නටය.

සුපිරි සිනමා නළු දිලිප්ද ශිල්පීන් කණ්‌ඩායමක්‌ සමග බස්‌ රථයක නුවර එළියට පිවිසෙන්නේ නාට්‍ය දර්ශනයකටය. මේ නාට්‍ය දර්ශනයේ ආරාධිතයා වන්නේ මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාය. වෛද්‍යවරයා සමග ඔහුගේ බිරිය අනෝජාද ලහි ලහියේ හඬවන්නේ තම සිහින කුමරා වන දිලිප් සමග සුරතල් වන්නටය.

ඒත් සොබා දහම ගැන අනාවැකි පළ කළ හැකිද... එකම නිමේෂයක නුවරඑළියේ මහා කඳු යායක්‌ සසලව ඇද වැටේ. ඒ මේ හැම කෙනෙකුගේම ජීවිත උඩු යටිකුරු කරමිනි.

"වැහි දවස" සමගින් සිනමාවට අලුත්ම නළු නිළි පිරිසක්‌ එක්‌වේ. ප්‍රභා සඳසීලී, සංගීතා, තදානි, සැනට්‌ දික්‌කුඹුර, ප්‍රසාද් දේශප්‍රිය, බිබිෂන කුරේ, විශාකා ජයවීර, ප්‍රේම් ජයන්ත කපුගේ සහ ඇමරිකාවේ සිට ආ සේරුක්‌ ඉන්දික, නාලක ජිනේන්ද්‍ර මේ රංගන ශිල්පීන්ය.

ඊට අමතරව සැනට්‌ දික්‌කුඹුර, හේමන්ත ප්‍රසාද්, උදේනි අල්විස්‌, භද්‍රජි මහින්ද ජයතිලක යන පළපුරුදු ශිල්පීන්ද වැහි දවසට එක්‌වේ.

"වැහි දවස" මම ළඟදීම ඇමරිකාවේ ප්‍රදර්ශනය කරනවා. මම පදිංචිවෙලා ඉන්නේ ඇමරිකාවේ. ඒ නිසා එහි ප්‍රධාන නගර කිහිපයකම "වැහි දවස" ප්‍රදර්ශනය කරන්නත්, ඇමරිකාවේ ඡ්කප Sඑරසබටි සිනමා උළෙලට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව තමයි ලංකාවේ ප්‍රදර්ශනය කරන්නේ. මම මේ චිත්‍රපටයට අලුත්ම ශිල්පීන් පිරිසක්‌ තෝරා ගත්තේ මෙහි නැවුම් බව රැකගන්නයි. නිතර දැක පුරුදු නළු නිළියෝ යොදා ගත්තානම් අලුත් නැහැ. මේ පිරිස සිනමාවට අලුත් වුණත් වේදිකාවට අලුත් නැහැ. ඔවුන් වේදිකාවේ හොඳින් දස්‌කම් දැක්‌වූ අය.

"වැහි දවස" ගැන කලින්ම මෙවැන්නක්‌ ලියන්නට හේතුවූ තවත් කාරණාවක්‌ ඇත. ඒ ලේඛන කලාවේ හතළිස්‌ වසරක්‌ සම්පූර්ණ කළ භද්‍රජීගේ අලුත්ම පොත "ලිහිණි ගල" නමින් එළිදැක්‌වීමයි. "ලිහිණිගල" ජාතික ගුවන් විදුලියේ ප්‍රචාරය වූ දීර්ඝ ළමා නාට්‍යයකි. "ලිහිණිගල" නවකතාව හැඳින්වීමේ උළෙල පසුගිය 02 වැනිදා ගුවන් විදුලි සංස්‌ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී සිදුකෙරිණි.

අජිත් අලහකොන්

 

 
Powered By -