සංස්‌කරණය : නාරද නිශ්ශංක

සියලු රස සමඟ ගෙදරට එන මිත්‍රයා

එල්. එම්. ආර්. බී. නම් නවතම දත්ත විමර්ශනයක්‌ මගින් කරන ලද සමීක්‍ෂණයකින්. ශ්‍රී ලංකාවේ "එෆ් එම්" ගුවන් විදුලි නාලිකා අතුරින් සිරස එෆ් එම් සේවාව වැඩිම ශ්‍රාවක ප්‍රතිචාර දිනා යළිත් වරක්‌ පළමු තැනට පත්වී ඇත.

මෙම තත්ත්වයට "සිරස " පත් කිරීම පිළිබඳව තම ගුවන් විදුලිය මගින් සිය රසවතුනට නිතරම ස්‌තුතිය පිරි නැමීමට "සිරස" නිරහංකාර වීමද සතුටට කරුණකි. එසේම මේ අවස්‌ථාවේදී "සිරස" පිළිබඳව කෙටියෙන් හෝ සටහනක්‌ තැබීම යුතුකමක්‌ සේද හඟීමි.

සිරස පටන් ගත් සමයේ සමහර ශ්‍රාවකයන් විසින් එය හඳුන්වනු ලැබුවේ පන්නිපිටියේ මොන්ටිසෝරිය" නමිනි. එහෙත් අද වන විට එම ශ්‍රාවකයන් විසින්ම එම "මොන්ටිසෝරිය" තමන්ගේ පළමු පෙළේ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාව බවට පිළිගැනීම කෙතරම් නම් ආශ්චර්යයක්‌ද?

මේ පිළිබඳව සුළුවෙන් හෝ හේතු කාරණා විමසා බැලිය යුතු යෑයි සිතූ අපි නිතර දෙවේලේම සිරසට කන් දීමට පෙළඹිණි. මෙම එෆ්. එම්. සේවාව පැය 24 පුරාම පැවැතියද, සැබවින්ම එහි ආරම්භය අලුයම 3.30 බව අපේ හැඟීමයි. ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි පරිපාලකයකු වන මරික්‌කාර් නම් (සමාවන්න, මුල් අකුරු මතක නැත) ඉස්‌ලාම් ලබ්ධිකයකු "සියලු රස සමඟ" ප්‍රධානියා ලෙස කටයුතු කළද සිංහල බෞද්ධ රටකට උචිත පරිදි ඔවුන්ගේ එම සේවාව පාන්දර 3.30 ට ඇරැඹෙන්නේ ඉතාමත් වැදගත් පිරිත් සඡ්ජායනා වැඩ සටහන් කිහිපයකිනි. ගිරිමානකන්ද සූත්‍රය, ආරක්‍ෂක ගාථා, ජය මංගල ගාථා, රත්නමාලි පිරිත් සඡ්ජායනා ආදියෙන් සිය ශ්‍රාවක ජනතාව අවදි කරවන්නාවූ සිරස එෆ්. එම්. නාලිකාව ඉන් පසු දිගින් දිගටම සිය ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීමේ වැඩසටහන් ප්‍රචාරය කරනු ලැබේ.

කුඩා දරුවන්ද අනාගතයේදී හොඳ නිවේදක නිවේදිකාවන් බවට පත් කරවීමේ අරමුණ ඇතිව කුඩා දරුවන් ලවා අලුයම් කාලයේ කෙටි කාලයක්‌ තුළ නිවේදන කටයුතු කරවීම ඉන් කැපී පෙනෙන එකකි. ඉන් පසුව කුඩා දරුවන්ට සුළු වේලාවක්‌ තුළ පැවැත්වෙන ඉංග්‍රීසි පාඩම සමහර විට ටිකක්‌ ඉහළ පන්තිවල සිසුනට පවා ප්‍රයෝජනවත් වේ. පිනිබර යාමය - සූරිය සිරස, සමනළ සිරස, දහසක්‌ මල්, ලොවින් කැදැල්ල, සිරස එෆ්. එම්. නාලිකාවේ ඉතා ජනප්‍රිය වැඩ සටහන් බව අප විසින් කරන ලද පෞද්ගලික සමීක්‍ෂණයේදී අපට ඒත්තු ගිය කාරණයකි.

පන්සිල් හැන්දැව, සනරාමර සෙවන සිරසේ බෞද්ධ ආගමික වැඩසටහන් අතර විශේෂයෙන් කැපී පෙනේ.

මේ සියලුම වැඩසටහන්වලට වඩා "සිරස" වරින් වර ප්‍රකාශයට පත් කෙරෙන, ඊළඟ පුවත් ප්‍රකාශයේ "සිරස්‌ තල" ද ශ්‍රාවකයන් ඉතා උනන්දුවෙන් සවන් දෙන අවස්‌ථාවකි. පුවත් පිපාවෙන් පෙළෙන ශ්‍රාවකයන් "සිරස" ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය වන තුරු සමහරවිට බලාසිටින්නේ අලුත්ම යමක්‌ දැන ගැනීමේ අටියෙනි. මෙහිදී වෙනත් නාලිකා සමඟ "සිරස" සන්සන්දනය කිරීම මාගේ අරමුණ නොවේ.

මේ අතර සවස්‌ කාලයේ සිරස එෆ්. එම්. වැඩසටහන් අතර "ටාසන් බාප්පා" හමුවන අවස්‌ථාව එන තුරු සමහර ශ්‍රාවකයන් විනෝදවීමට පුල පුලා බලා සිටින බවද රහසක්‌ නොවේ. පසුගිය ජනාධිපතිවරණ සටනේදී (ජනාපතිවරණයට පෙර) "ලොවින් කැදැල්ල" තුළින් "සමුපකාරවරණය" යනුවෙන් ඉදිරිපත් කළ වැඩසටහන අතිශයින්ම ජනප්‍රියවූ එකක්‌ විය.

මේ සියල්ලටම අමතරව සිර එෆ්. එම් මගින් පවත්වන මුදල් තෑගි දීමේ තරග ද කැපී පෙනේ. ඉන් එක්‌ තරගයක්‌ මගින් දිනපතාම රුපියල් 50,000 ක්‌ සිය ශ්‍රාවකයන්ට පිරිනමන අතර තවත් තරගයක්‌ මගින් ත්‍රිරෝද රථ 50 ක්‌ සිය ශ්‍රාවකයන්ට පිරි නැමීමට කටයුතු යොදා ඇත. එම තරගයෙන් ත්‍රිරෝද රථ 10 ක්‌ පසුගිය ජනපතිවරණය පැවැති දින රාත්‍රියේ ජයග්‍රාහකයන් වෙත පිරි නමන ලදී ඉතිරි රථ 40 නුදුරු දිනයක පිරි නමනු ඇත. මේ තරග සියල්ලම ශ්‍රාවකයන්ට ඉතා පහසුවෙන් සහභාගි විය හැකි ඒවා වීමද විශේෂයකි. සිරස එෆ්. එම්. මගින් සෙනසුරාදා ප්‍රචාරය කෙරෙන වැඩ සටහන් අතර "දහසක්‌ මල්" ඉතා ජනප්‍රිය එකකි. ජනප්‍රිය නිවේදක, ජනප්‍රිය පමණක්‌ම නොවන ජ්‍යෙෂ්ඨ නිවේදක, නිහාල් එදිරිසූරිය ගීත පද මාලා රචකයකු සමඟ එහිදී පවත්වන සාකච්ඡාවද ඉතා හරබරය. පසුගිය සෙනසුරාදා නිහාල් සමග සාකච්ඡාවට එක්‌වූයේ ප්‍රවීණ ගීත රචකයකු වන කරුණාරත්න සපුතන්ත්‍රීය.

ගීත රචකයන් සමග නිහාල් පැවැත්වූ සාකච්ඡා කීපයක්‌ම අප විසින් නොකඩවා ශ්‍රවණය කරන ලද අතර විශේෂයෙන් ගිය සෙනසුරාදා "සපු" සමඟ නිහාල් කතා බස්‌ කරද්දී මට සිතුණේ එම ජනප්‍රිය නිවේදකයාටද ගීත රචනයට පිවිසීමට ඉතා පහසු මාවතක්‌ එම සාකච්ඡා මගින් නුදුරේම උදාවනු ඇතැයි කියාය. සියලු රස සමගින් ශ්‍රාවකයා හමුවට පැමිණ ඔවුන්ගේ මනදොල පිනවන්නාවූ සිරස එෆ්. එම් සේවාව දිනෙන් දින තව තවත් ජනප්‍රිය වේවායි අපේ පැතුමයි.

මෙම සටහනේදී මා විසින් මරික්‌කාර්ගේ සහ නිහාල්ගේ නම් සඳහන් කර ඇතත් ඔවුන් මා පෞද්ගලිකව හඳුනන මිත්‍රයෝ නොවෙති. කලකට පෙර දිනයක කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහලේ පැවැති මාධ්‍යවේදීන්ට උපහාර පිරි නැමීමේ උළෙලකදී මොහොතකට මට නිහාල් හමුවී ඇත. "සිරස" ට සම්බන්ධ අයගෙන් මා ටිකක්‌ හෝ හඳුනන්නේ කිංස්‌ලි රත්නායක සහ ප්‍රියන්ත විඡේසිංහ යන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා පමණි.

මෙරිල් පෙරේරා
 

 
Powered By -