ජාතිබේද නැති, පක්‍ෂ භේද නැති
සුබ අනාගතයක්‌


ලංකාවේ ග්‍රාමීය ජනතාව තුළ පවතින සැබෑ ජාතික හැඟීම මෙවර ජනපති මැතිවරණයේදී තවත් වරක්‌ තහවුරු විය. ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තයින් පරාජයට පත් කිරීමේ සටනේදී පළමුවරට මෙම හැඟීම ප්‍ර්‍රදර්ශනය විය. සියලුම බේද පසෙකලා සැවොම එකම ජාතික අදිටනකින් එදා ජනාධිපති තුමාට සහාය දුන්හ.

සරත් ෆොන්සේකා මහතා හමුදාවට නායකත්වය දුන් හමුදාපතිවරයා වුවද මෙවර ඔහු විජාතික පිළ නියෝජනය කරන ඒජන්තවරයෙකු බවට පත්වු ආකාරය ජනතාව නිරීක්‍ෂණය කළහ. එසේම ඔහුගේ හැසිරීමත්, නීච කතා විලාශයත් මගින් ජුගුප්සාජනක හැඟීමක්‌ ජනිත විය. මෙය භීතියක්‌ බවට පත්වීමට වැඩි කාලයක්‌ ගත නොවීය.

දිවිපුදා මුදාගත් මව්බිම යළිත් පරහස්‌තගත වීමට ඉඩ නොදිය යුතු බවට ගැමි මනසට තේරුම් ගැනීමට අපහසු නොවීය. ඔවුහු විසිහයවනදා උදය වරුවේම චන්ද මධ්‍යස්‌ථානවලට ගොස්‌ තෙරපෙමින් සිය චන්දය ප්‍රකාශ කළේ එදා ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීම සඳහා ජනාධිපති තුමාට දුන් ඒකමතික සහාය නැවතත් ප්‍රකට කරවමිනි.

එක්‌සත් ජාතික පාක්‍ෂිකයින් තුළ ජාතික හැඟීමක්‌ නොවුණියෑයි මෙහිදී නොකියමි. ඔවුහු ජාතියට වඩා පක්‍ෂය පෙරට ගනිමින් පාක්‍ෂික බසට අවස්‌ථාවක්‌ ලබා ගැනීමට ඡන්දය ප්‍රකාශ කළහ. මෙහිදී රට ජාතිය ආගම පසුපසට යමින් පක්‍ෂය පෙරට පැමිණි බව කිවයුතුය.

උතුරේ සහ නැගෙනහිරේ සිටින දෙමළ ජාතිවාදීන් සහ මුස්‌ලිම් අන්තවාදීන් මේ සියල්ලන් ගෙන්ම වෙනස්‌ව බෙදුම්වාදී හැඟීමෙන් චන්දය ප්‍රකාශ කොට ඇති බව කිව යුතුය. ඔවුහු සරත් ෆොන්සේකා මහතා කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ සිය ඊළාම් සිහිනය ඉටුකර ගැනීම සඳහාය.

ප්‍රභාකරන් විනාශ කළ පසු රජය උතුර සහ නැගෙනහිර වෙනුවෙන් විශාල සංවර්ධන යෝජනා ක්‍රම රැසක්‌ නිර්මාණය කළහ. මාර්ග පද්ධතිය සකස්‌ කිරීම ඒ අතරින් ප්‍රධාන විය. දකුණේ සිංහල ජනතාවගෙන් ලබාගත් බදු මුදලෙන් උතුරේ අවතැන් කඳවුරු නඩත්තු කෙරුණි. එසේම මිනිස්‌කම පෙරට ගනිමින් අවතැන්වූ ජනතාවට සිංහල බහුතරය උදව් කළ හැටි කාහටත් අමතක කළ නොහැකිය. ඒ ක්‍රියාදාමය තුළ රජය බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ ජාතිවාදී හැඟීම් අවම කර ගනිමින් එක්‌ රටක්‌ ලෙසට පෙරට යැමටයි.

මෙම ගතානුගතික ක්‍රමයේ සාර්ථක අසාර්ථක බව යළිත් විශ්ලේෂණය කිරීම අද කළ යුත්තකි. මෙම ක්‍රමය තුළින් ජාතිවාදී හැඟීම් නැති කර ගත නොහැකි බව ඔප්පු වී තිබීම මෙහිදී පැහැදිලිය.

ඉදිරියේදී මේ රටේ ජීවත් විය යුත්තේ එක්‌ ජාතියක්‌ බව ජනාධිපතිතුමා පැහැදිලි කළේ යුද්ධය අවසන් වීමෙන් පසුවයි. එහෙත් ඒ අරමුණ කරා යැමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග සියල්ල යල් පැන ගිය ඒවා විය. ගතානුගතික ලෙස දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂ දේශපාලනයට උඩ ගෙඩිදීමෙන් උතුරේ සහ නැගෙනහිරේ සිටි ජනතාවගේ ජාතිවාදී හැඟීම් යළිත් කුළු ගැන්වුණි. ප්‍රභාකරන් විනාශ කිරීම නිසා ඇතිවුණ වෛරයද ඔවුන් සිත් තුළ නොතිබුණාම නොවේ.

වෙන කවරදාටත් වඩා නැගෙනහිර පළාතේ ඉඩම් අත්පත් කර ගනිමින් ජාතිවාදීව කටයුතු කිරීමට මුස්‌ලිම් පක්‍ෂ උනන්දු විය. අවතැන්වු දෙමළ මුස්‌ලිම් ජනතාව යළි පදිංචි කරවීමට රජය මුල් තැනක්‌ දුන්නද වසර තිහක්‌ තිස්‌සේ සිය ගම්බිම් අතහැර එමින් සිටි සිංහල ජනතාව යළි පදිංචි කරවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ නොවීය. වෙසෙසින්ම යාපන ප්‍රදේශයේද නැගෙනහිරද ජීවත්වු සිංහල ව්‍යාපාරිකයින් ගේ ඉඩම් සහ දේපළ සකස්‌ කර දීමට කථාබහක්‌වත් නොවූ බව කිවයුතුය.

මේ තත්ත්වය මත උතුරේ හා නැගෙනහිර ජනතාවගේ ඊළාම් සිහිනය තවදුරටත් පෝෂණය වෙමින් තිබූ බව පැහැදිලිය. ඒවායේ ප්‍රථිඵලය පසුගිය චන්දයෙන් ප්‍රකට විය. කොටි ත්‍රස්‌තයින් විසින් ඝාතනයට ලක්‌වූ එහෙත් සිය උපන් බිම අත්හැර නොපැමිණි. සේරුවිල ජනතාව ජනාධිපති තුමා ඉහළින්ම ඔසවා තබමින් සිය වීරෝදාර හැඟීම ප්‍රකට කළේ දෙමළ ජාතිවාදයට විරෝධය පළ කරමිනි.

දෙමළ නිජබිම් සංකල්පය ඊළාම් දේශයක්‌ ලබාගැනීම දක්‌වා වු ගමන් මගට අත්වැල් සැපයූ ලංකාවේ දේශපාලකයින් බහුතර සිංහල ජනතාව අමතක කොට සුළු චන්ද ප්‍රතිශතයක්‌ ලබා ගැනීම සඳහා දෙමළ මුස්‌ලිම් ජනවර්ග වෙත වැඳ වැටුණාහ. එහි ප්‍රථිඵලය වූයේ මේ රටේ සම්පත් ඩැහැ ගැනීමට මාන බලමින් සිටි විජාතික බලවේග ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමයි.

මේ විනාශය සිදු කරන විජාතික ප්‍රවාහය පරාජයට පත් කළද දෙමළ ජාතිවාදය සහ මුස්‌ලිම් අන්තවාදය පරාජයට පත් වී නොමැත. ඔවුහු තවමත් ජගත් ඊළාම් ප්‍රජාවගෙන් පෝෂණය ලබති. මුස්‌ලිම් ජිහාඩ් කල්ලිය එලෙසම ජගත් මුස්‌ලිම් ප්‍රජාවගෙන් උදව් ලබති.

ලංකාවේ දේශපාලකයින් එදා සිටම උත්සාහ ගත්තේ දෙමළ මුස්‌ලිම් ප්‍රජාව දිනා ගැනීමටයි. ඒ සඳහා දුන් දෙමළ පිදේනි අපමණ වෙයි. දේශපාලන යෝජනාවලියක්‌ සකස්‌ කොට ස්‌වයං පාලනයකට පදනම දැමීමද මේ දොළ පිදේනිවලට අයත්ය. එහෙත් ඔවුන් නොදන්නා දෙයක්‌ ඇත. කිසි දිනක වත් මේ ජනතාව දිනා ගැනීමට නොහැකි බව ඒ සත්‍යයයි. එයට හේතුව දෙමළ ජනතාව තවමත් සිය ගෝත්‍රික හැඟීම්වලින් වෙලී සිටීමය. මුස්‌ලිම් ප්‍රජාවද එසේමය.

මේ පිරිස තුළ පවතින ජාතිවාදී හැඟීම වෙනස්‌ කිරීමට නම් රටේ ප්‍රධාන සංස්‌කෘතික ප්‍රවාහයට ඔවුන් ඇතුලත් කර ගත යුතුය. ඒ සඳහා භාවිත කළ හැකිවන පළමු ප්‍රවේශය භාෂාවයි. ඉංග්‍රීසි භාෂාව සියල්ලන්ටම කාවද්දා නව ශ්‍රී ලාංකික ජාතියක්‌ බිහි කරලීමේ බලාපොරොත්තුව රට ඉදිරියේ ඇත්තේ මේ අරමුණෙන් විය යුතුය. එහෙත් ඒ මග ගමන් ගැනීමෙන් සිදු වන්නේ දෙමළ පමණක්‌ නොව සිංහල ද නැති වීමයි. දෙමළ බස දකුණු ඉන්දියාවේ පවතින බව අප දනිමු. නමුත් සිංහල බස අතුරුදන්වීම වැලැක්‌විය හැකි නොවේ. මේ නිසා අප කළ යුත්තේ සිංහල බස පළමු බස ලෙසට භාවිතා කිරීමේ පුරුද්ද රටේ සියළුම ජන කොටස්‌ තුළ ඇති කරලීමයි. දෙවන බසක්‌ ලෙසට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙළඹවීම වරදක්‌ නොමැති වුවද එය උපකරණයක්‌ පමණක්‌ බවට පත් කර ගත යුතුය.

සංස්‌කෘතියෙන් ඒකීය ජන සමාජයක ජාතිවාදය සහ ගෝත්‍රවාදය ඉස්‌මතු වන්නේ ඇඟිල්ලෙන් ඇන රිදවුවහොත් පමණකි. ඉඳහිට කුලවාදය ඇවිස්‌සෙන්නේද එලෙසය. එම නිසා ජාති බේද නැති රටක්‌ බිහිකරලීමේ පළමු පියවර එක සිංහල සංස්‌කෘතියක්‌ තුළ ජනතාවගේ සිත් සතන් පුබුදු වීමයි. මේ සඳහා උතුර හා නැගෙනහිර ප්‍රදේශවල උරුමය මත සිංහල ජනතාව පදිංචිකරවීම අනිවාර්ය කරුණකි. හමුදා ගම්මාන ඇතිකරවීමද කළ යුත්තකි.

එක්‌ ජාතියක්‌ ගැන බලාපොරොත්තු තබා තිබුණද තවමත් අපගේ ජාතික කොඩියේ පටි දෙකක්‌ එල්ලෙමින් පවතී. එයද ඉවත් කරවීම මගින් ඒකීය රටක්‌ සුබ අනාගතයක්‌ බිහි වීමට පදනම වැටෙනවා ඇත.

ජාතිබේද දුරුවන කල්හි පක්‍ෂ බේද ඉතිරි වේ. දැනටමත් රජයේ බහුතරයක්‌ විපක්‍ෂයේ ජනතා නියෝජිතයින් ගෙන් සමන්විතය. ඔවුහු මහින්ද චින්තනය පිළිගෙන කටයුතු කරති. ජනතා නියෝජිතයන් පක්‍ෂ බේද දුරලා එක්‌ ප්‍රතිපත්තියකට ගොනු වේ නම් එම පක්‍ෂ වල සාමාජිකයන්ට එලෙස එක්‌ ප්‍රතිපත්තියකට පැමිණීමට බාධාවක්‌ නොමැත. ඒ සඳහා පක්‍ෂ දේශපාලනයට තිබෙන වටිනාකම ක්‍රමයෙන් අහෝසි කළ යුතුය.

මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වූ දඹදෙණිය හිටපු මන්ත්‍රී යු. බී. විඡේකෝන් මහතාද මේ අදහස ඉදිරිපත් කරමින් රටේ ආර්ථික සංවර්ධනයට ග්‍රාම රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කර ඇත. මෙය සලකා බැලිය යුතු මතයෙකි. ජාති බේද ඉවත් කොට එක්‌ සංස්‌කෘතියක්‌ එක්‌ ජාතියක්‌ නිර්මාණය වන්නේ නම් පක්‍ෂ බේද තිබිය නොහැකිය. පක්‍ෂ ක්‍රමය නොමැති ප්‍රජාතන්ත්‍රවාදය නව ප්‍රවේශයක්‌ද විය හැකිය.

ප්‍රභාකරන් වැනසීමෙන් පසු ජාතික සමගියෙන් එකට එක්‌වූ ජනතාව නැවත භේද භින්න කළේ පක්‍ෂ දේශපාලනයයි. ඒ සඳහා කැස කැවූ ජ. වි. පෙ. සහ එ. ජා. ප. නායකයින් ජාතික සමගිය නැති කරලීමේ මහා පාපයට හවුල් විය.

වසර හයසීයකට පමණ පසු රට එක සේසත්ව නැගී සිටීමට උත්සාහ කිරීම ජාතියේ ස්‌වර්ණමය අවස්‌ථාවකි. මේ ස්‌වර්ණමය අවස්‌ථාව ඉවෙන් මෙන් අවබෝධ කර ගත් ග්‍රාමීය ජනතාව සිය නායකයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා තෝරා පිළිගෙන ඇත.

රටේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නයේ ආශිර්වාදයද මේ සඳහා හිsමි විය යුතුය. එයට පැරැණි රාජකීය සිරිතට අනුව මහනුවර මගුල් මඩුවේ සපථ කරවා නාථ දේවාලයේදී නාථ දෙවියන් ඉදිරියේදී දශ රාජ ධර්මයට අනුව රට කරවීමේ වරම හා මග පෙන්වීම ඔහුට දිය යුතුය. බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මෙකී ජන සම්මතවාදය නිසැකයෙන්ම රටට යළිත් ගැලපී යනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

 
Powered By -


     සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.