අලියාට ඉඩ දී හංසයා අයින් වෙයි
විපක්‍ෂ සන්ධානය තුනට කැඩෙයි

ජෙනරාල් සහ ජවිපෙ හාවා තෝරාගනී

පියසේන දිසානායක - අජිත් අලහකෝන්

ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වූ විපක්‍ෂයේ පොදු සන්ධානය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පිල් තුනකට බෙදී තරග කිරීමට තීරණය කර ඇත. පොදු සන්ධානයට එක්‌වූ පක්‍ෂ ඉදිරි මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණ, එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වශයෙන් තරග කරනු ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්ද, ජනතා විමුක්‌ති පෙරමුණ සහ එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඒකාබද්ධව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් හාවා ලකුණ යටතේද, දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රදේශයට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සමඟ ඒකාබද්ධවත් තරග කිරීමට ද තීරණය කොට තිබේ.

ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ තරග කළ පොදු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන වෙනම තරග කළ යුතු බවට මුලින් තීරණය කර තිබුණද පසුව එම තීරණය වෙනස්‌ කොට හංසයා ලකුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව පක්‍ෂ අතර සාකච්ඡා පැවැත්විණි.

සතියක පමණ කාලයක්‌ පැවැති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙලෙස කණ්‌ඩායම් තුනක්‌ වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට තීරණය වී තිබේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජාතික ලයිස්‌තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන බවට එක්‌සත් ජාතික පෙරමුණ ප්‍රථමයෙන් යෝජනා කොට තිබුණද මැතිවරණයට කුමන හෝ දිස්‌ත්‍රික්‌කයකින් තරග කළ යුතු බව ඒ මහතාගේ ස්‌ථාවරය විය.

ඒ අනුව තවදුරටත් පොදු විපක්‍ෂය ලෙස හංසයා ලකුණින් තරග නොකරන නිසා එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ලාංඡනය වන හාවා යටතේ සරත් ෆොන්සේකා මහතා ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණ සටනට පිවිසෙන බව විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.