o

 
 
 
 
 

 

මෑතකදී ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම
රාජ්‍ය නායකයා ජනපති මහින්ද රාජපක්‍ෂයි
ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමියෝ
බර්ලින්හි පැවැති නිදහස්‌ සමරු උළෙලේදී කියති

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ටී. බී. මඩුවේගෙදර මහතා ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවූ අයරු සහ ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමියෝ නිදහස්‌ උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූ අවස්‌ථාව. ජර්මනියේ නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් ඩයස්‌ මහතා ඇතුළු කාර්ය මණ්‌ඩලයත් ආගමික නායකයන් කිහිප දෙනකුත් ඡායාරූපයේ වේ.

මෑත ඉතිහාසයේ ඉංග්‍රීසින් සමග පැවති යුද්ධය අවසන් වී ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 62 ක්‌ ගත වුවද එයින් වසර 30 ක්‌ම ලංකාවේ කොටි ත්‍රස්‌තවාදීන් සමග යුද්ධයක්‌ පැවති බවත් ඒ යුද්ධය අවසන්කොට ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ සිය මව් බිම තුළ ජීවත්වීමේ නිදහස ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බවත් එහෙයින් මෑත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බවත්, එහෙයින් එතුමා යුග පුරුෂයකු වන බවත්, එතුමාගේ ශ්‍රී නාමය ලක්‌ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන බවත් ජර්මනියේ බර්ලින් නුවර සම්බෝධි විහාරාධිපති හා ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථීකාචාර්ය ශාස්‌ත්‍රපති පූජ්‍ය රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ පසුගිය පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිබුණ 62 වැනි නිදහස්‌ උළෙල නිමිති කරගෙන ජර්මනියේ බර්ලින්නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති නිදහස්‌ උළෙලේ ප්‍රධාන අනුශාසනාව සිදුකරමිනි.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ටී. බී. මඩුවේගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.

මෙහිදී තවදුරටත් කතා කළ දේවානන්ද හිමිපාණෝ, ඩී. එස්‌. සේනානායක මැතිඳුන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා අර්ථ ශාස්‌ත්‍රඥයකු වූ සර් ඔලිවර් ගුණතිලක හා සර් අයිවර් ජෙනිංග්ස්‌ සමග එක්‌ව එංගලන්තයට ගොස්‌ එවකට වින්සන්ට්‌ චර්චිල් අග්‍රාමාත්‍යවරයාගෙන් පසුව 1945 දී අගමැති ධුරයට පත්වූ කම්කරු පක්‍ෂයේ නායක ක්‌ලෙමන්ට්‌ ඇට්‌ලි සමග සාකච්ඡාකොට ලංකාවට නිදහස උදාකරගත් බවත් 1939 සිට 1945 දක්‌වා දියත් වුණ දෙවන ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යයට අයත් ආසියාතික අණ දෙන මූලස්‌ථානය පේරාදෙණිය පිහිටුවා ගැනීමේදී ශ්‍රී ලංකාව ඔවුනට උදව් වුණ බවත් කිසිම උදව්වක්‌ නොකළ ඉන්දියාවට නිදහස දෙන්නෙ නම් උපකාර කළ ශ්‍රී ලංකාවට නිදහස නොදෙන්නේ මන්දැයි විමසීමෙන් නිරුත්තර වූ බ්‍රිතාන්‍ය නායකයන් ලංකාවට නිදහස ලබාදුන් බවද පැවැසූහ.

මෙසේ ලබාගත් නිදහසට වසර තිහක්‌ යනවිට කොටි ත්‍රස්‌තවාදයෙන් බාධා එල්ල වූ බවත්, ඒ නිසාම ඒ යුද්ධය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අවසන් කළ බවත් පැවැසූ රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමිපාණෝ ශ්‍රී ලාංකික අපට කිලෝමීටර් පහළොස්‌ දහසක්‌ පමණ මෙපමණ දුරක්‌ ආ හැකි වුවද වසර තිහක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට යැමට නොහැකි වූ බවද අද ඒ තත්ත්වය වෙනස්‌ වී ඇති බවද පැවැසූහ.

ද්‍රවිඩ ජාතිකයන් වෙනුවෙන් ශිව ශ්‍රී සාමි ත්‍රිවේන්ද්‍ර කුරුක්‌කල් ස්‌වාමිද මුස්‌ලිම් ජාතිකයන් වෙනුවෙන් මොහොමඩ් ෂොයෙබ් ඉෂාඩ් ද ක්‍රිස්‌ත්‍රියානි ආගම වෙනුවෙන් ජර්මන් ජාතික කාර්ල් හෛන්ස්‌ මෙර්ට්‌ස්‌ පියතුමාද අනුශාසනා කළහ.

ජනාධිපතිතුමාගේ නිදහස්‌ දින පණිවිඩය තානාපතිතුමන් විසින් කියවන ලද අතර අග්‍රාමාත්‍යතුමාගේ නිදහස්‌ දින පණිවිඩය නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ මහතා විසින්ද, විදේශ කටයුතු පිළිබඳ අමත්‍යවරයාගේ නිදහස්‌ දින පණිවිඩය තානාපති කාර්යාලයේ පළමු ලේකම් සිසිර සෙනෙවිරත්න මහතා විසින් ද කියවූ අතර නිදහස්‌ පණිවිඩ තුනම ද්‍රවිඩ භාෂාවෙන් තානාපති කාර්යාලයේ සේවයේ නියුතු මෙනන් මහත්මිය විසින්ද කියවූවාය.

මෙහිදී උත්සව සභාව ඇමැතූ තානාපති ටී. බී. මඩුවේගෙදර මහතා උතුරු නැගෙනහිර සංවර්ධන වැඩ පිළිවෙළට ආධාර කරන ලෙසත් පාසලක්‌, රෝහලක්‌ හෝ එවැනි පොදු සේවාවක්‌ සඳහා ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට හෝ දායකවන ලෙසට පැමිණ සිටි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය. සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් හා ජර්මන් ජාතිකයන් විශාල පිරිසක්‌ මෙම නිදහස්‌ උළෙලට සහභාගි වූහ.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.