එච්. ඒ. පෙරේරා කලාකරුවාගේ අභාවය
මුළු කලා ක්‍ෂේත්‍රයටම සිදුවූ පාඩුවක්‌

ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනපති කියයි

කලා ලෝකය පුරා පැතිර ගිය පුළුල් විඥනයක්‌ සහිත කලාකරුවන් අද සමාජයට බෙහෙවින් අවැසි මොහොතක එච්. ඒ. පෙරේරා වැනි කලා ශිල්පීන්ගේ වියෝව කලා ලොවටත්, නවක කලාකරුවන්ටත් සිදුවූ මහත් පාඩුවක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැයෙන් සමුගත් ප්‍රවීණ කලාකරු එච්. ඒ. පෙරේරා මහතාගේ වියෝව පිsළිබඳව ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එච්. ඒ. ගේ වියෝවෙන් ඇති වූ හිඩැස පිරවීමට කලා ලොව සතු වගකීමක්‌ බවත්, එය එච්. ඒ. පෙරේරා ශිල්පියා වෙනුවෙන් කරන විශාල ගෞරවයක්‌ වනු ඇතැයිද එම ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එච්. ඒ. පෙරේරා මහතාගේ අවසන් කටයුතු දහස්‌ සංඛ්‍යාත කලාකරුවන්, විද්වතුන් හා රසික - රසිකාවියන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, මාදම්පිටිය සුසාන භූමියේදී පෙරේදා (07) සවස පැවැති අතර එම අවමංගල්‍ය උත්සව සභාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එවා තිබූ ශෝක පණිවුඩය කියවන ලද්දේ රංගන ශිල්පි අමිත්ත වීරසිංහ මහතා විසිනි.

කලා ක්‍ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් බහුල ශිල්පීන් අතර, එච්. ඒ. පෙරේරා ශිල්පියාට හිමි වූයේ සුවිශේෂී ස්‌ථානයක්‌ වන අතර, එවැනි අද්විතීය කලාකරුවන් අහිමි වීම ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණයට හා අස්‌වැද්දීමට ඇති අවස්‌ථාවන් අහිමිවීමක්‌a යෑයි සඳහන් කර ඇත.

එවන් නිර්මාණශීලී රංගනයන්ගෙන් පරිපූර්ණ වූ පුද්ගලයින් බිහිවන්නේ ඉතා කලාතුරකින්ය. 70 දශකයේ වීදි නාට්‍ය ගණනාවක රංගන කුසලතා දක්‌වමින් අනතුරුව "සසරක පැතුම්" චිත්‍රපටියේ රංගනයට දායකවෙමින් සිනමාවට පිවිසුණු බැව් සඳහන් කරන ජනාධිපතිවරයා, සිනමාව තුළ තම ප්‍රතිභාව මනාව විදහා දක්‌වමින් සරසවි සම්මානයෙන් සහ සුමති ටෙලි සම්මානයෙන්ද පුද ලද එච්. ඒ. පුංචි තිරයේ නැතිවම බැරි චරිතාංග නළුවකු ලෙස රසික හදවත් තුළ සදානුස්‌මරණීය වනු ඇතැයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කරයි.

මෝදර ශාන්ත ඡේම්ස්‌ දෙව්මැඳුරේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව දේහය මාදම්පිටිය සුසාන භූමිය වෙත ගෙන එනු ලැබීය. අති විශාල ජනකායක්‌ අවසන් කටයුතු සඳහා සහභාගි වූ අතර සිය ග්‍රාමවාසීන්, රසිකයන්, රසිකාවියන් මෙන්ම එච්. ඒ. පෙරේරා මහතාගේ ශිෂ්‍ය පරපුරද මහත් සේ හඬා වැළපෙනු කාටත් දැකගත හැකි විය.

මෙහිදී අනුශාසනයක්‌ කළ කොළඹ 15, මෝදර, ධවලසිංහාරාමාධිපති පූජ්‍ය වස්‌කඩුවේ සිරිරතන නාහිමියෝ මෙසේ පැවසූහ.

ලොවේ එකම සත්‍ය මරණය පමණයි. ජීවිත කාලයක්‌ පුරා හරි හම්බ කළ දෑ, තම පවුලේ අය, ඥතීන්, හිත මිතුරන් අතැර තනියම යන්න වෙනවා යෑයි බුදුරජාණන් වහන්සේත් දේශනා කළා. තමන්ට, තමන් විතරයි කියා. එච්. ඒ. පෙරේරා මහතා මේ සියල්ල අවබෝධ කර ගෙන ජීවත් වුණා. හොඳ අධ්‍යාපනයක්‌ ලබා ගත්තා, මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැප කළා. ඔහුට විදේශ රටවල ශිෂ්‍යයන් ලැබුණේ නැතත්, අනුන්ට හිරිහැරයක්‌ නොවන අයුරින්, අනුන්ට අවශ්‍ය දේ ලබා දෙමින්, යහපත් ජීවිතයක්‌ ගත කළා. සමහරු කල්පනා කරනවා තමන්ට ගමෙන්, සමාජයෙන්, රැකියාව කරන ස්‌ථානයෙන් මොනවාද? ලැබෙන්නේ කියා. නමුත් එච්. ඒ. පෙරේරා මහතා තමන්ගෙන් ගමට, සමාජයට, රටට, ලෝකයාට ඉටු විය යුත්තේ කුමක්‌ද?.... කියා නිතරම සොයා බැලුවා.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආචාර්ය ලක්‌මින් සිල්වා ගරු පියනම-

කලාව වූ කලී ආනන්දයෙන් ප්‍රඥව කරා ගෙන යන මාධ්‍යයක්‌ වශයෙන් අර්ථ දක්‌වනවා. නමුත් කලාව යනු ආනන්දයෙන් ප්‍රඥවත් එතැනින් මනුෂ්‍යත්වය කරා ගෙන යන්නක්‌ බැව් එච්. ඒ. පෙරේරා ලොවට පෙන්වූවා. තරුණ දූ පුතුන්ගේ දෑස්‌වලින් කඩා වැටෙන කඳුළුවලින් මේ මොහොතේ අත්දකින්නේ එයයි. එච්. ඒ. ලෝකයේ මලක්‌ ලෙසින් පිදූහ. සමාජය සුවඳවත් කළා. මිනිසුන්ගේ සිත් සුවඳවත් කළා. තමුන්ගේ ගම මෝදර ප්‍රදේශය වුවත්, ගම- ආගම, ජාතිය කියා පටු මත, සීමාවන් තිබුණේ නෑ. දෙවියන්ගෙන් ලද කැඳවීම නිමවා දෙවියන් කරා යැමට එච්. ඒ. ට සිදුව තිබෙනවා. අපගේ ජීවිත කූඩාරම් වගෙයි. එහි කිසිම ස්‌ථීරත්වයක්‌ නෑ.

අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් එවන ලද ශෝක පණිවුඩයක්‌ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස්‌ රණසිංහ මහතා විසින් කියවන ලද අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිනි ලේෂා ද සිල්වා චන්ද්‍රසේන, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ පරාක්‍රම නිරිඇල්ල, මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ "80 අපි කණ්‌ඩායම වෙනුවෙන් කථිකාචාර්ය ජයලාල් රෝහණ, ඒකාබද්ධ වෘත්තීය සමිති සභාපති ඇන්ටන් මාකස්‌, එච්. ඒ. අධ්‍යාපනය ලද මෝදර ද ලාසාල් විදුහල වෙනුවෙන් ජගත් ප්‍රසන්න, එච්. ඒ. පෙරේරා මහතාගේ සොයුරු රෝහිත පෙරේරා යන මහත්වරු ද මෙහිදී කතා කළ අතර, ජාතික චිත්‍රපට සංස්‌ථාවේ උපදේශක සාමවිනිසුරු ටී. ඇම්. සංඝදාස මහතා අවමංගල්‍යය උත්සව සභාව මෙහෙය වීය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ හා මෝදර

ජෝසප් රම්මුතුගල

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.