රජයට එරෙහිව කුමන්ත්‍රණය කළැයි
ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට
ජනපති ඝාතන කුමන්ත්‍රණයක්‌!
යුද හමුදාව බෙදන ප්‍රකාශ!
හයිකෝප් ගනුදෙනුව!


සිරිමෙවන් කස්‌තුරිආරච්චි, සමන් ගමගේ

ඉකුත් ජනාධිපතිවරණයට විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක ලෙස තරග කළ හිටපු ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08 වැනිදා) රාත්‍රි යුද හමුදා නීතිය යටතේ යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යුද හමුදාපතිවරයා ලෙස සිටියදී සහ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂ සමග එක්‌ව රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, යුද හමුදාව දෙකඩ වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම, මත භේදයට තුඩුදී ඇති හයිකෝප් සමාගමේ ගනුදෙනු සම්බන්ධව සහ ජනාධිපතිවරයා ඇතුළු රජයේ උසස්‌ නිලධාරීන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක්‌ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ජෙනරාල් ලක්‍ෂමන් හුලුගල්ලේ මහතා "දිවයින"ට පැවැසීය.

ඊයේ (8 වැනිදා) රාත්‍රි 9.00 ට පමණ යුද හමුදා පොලිසිය විසින් ජෙනරාල්වරයාගේ කොළඹ රාජකීය මාවත පිහිටි දේශපාලන කාර්යාලයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව ද හුලුගල්ලේ මහතා කීවේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් ෆොන්සේකා මහතා මේ වන විට යුද හමුදා පොලිසියේ රැඳවුම්බාරයේ සිටින බවත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ඉදිරියේදී ඔහුව යුද අධිකරණයට ඉදිරිපත් කරන බවත් ලක්‌ෂ්මන් හුලුගල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.