ජෙනරාල්ගේ බෑණාගේ ඇප ඉල්ලුම ගැන තීන්දුව හෙට ඒ. ඡේ. ඒ. අබේනායක "හයිකොෆ්" අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන්නේ යෑයි පෙන්වා දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑණා වූ දනුන තිලකරත්න මහතා විසින් ඉදිරිපත් කොට තිබූ අපේක්‍ෂිත ඇප අයෑදුම්පත පිළිබඳව තීන්දුව හෙට (10 වැනිදා) ලබාදීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (8) පස්‌වරුවේ තීරණය කළාය. එම සමාගමට කිසිදු සම්බන්ධයක් නොමැති තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ සූදානමක් ඇති බව පෙන්වා දෙමින් ඊයේ (8 වැනිදා) පස්‌වරුවේ දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්‌වමින් ඉදිරිපත් කොට තිබූ අපේක්‍ෂිත ඇප අයෑදුම්පතක් සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය ලබා දුන්නාය. අදාළ සමාගමට පෙත්සම්කරුගේ නෛතික සම්බන්ධතාවක් නොමැති වුවත් එහි හිමිකරුවන් හා නිලධාරීන් සමග පෙත්සම්කරු සම්බන්ධ බවට ප්‍රබල සාක්‍ෂි ඇති බවත් ඒ පිළිබඳ රහස් තොරතුරු වාර්තා මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇති බවත් පෙන්වා දෙමින් එහිදී කරුණු දැක්‌වූ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා එම අපේක්‍ෂිත ඇප අයෑදුම්පත් ප්‍රතික්‍ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සලකා එලෙස රහස්‍ය වාර්තාවක් මගින් දැක්‌වූ කරුණු පිළිබඳව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දිය නොහැකි බවද එහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තොරතුරු අනාවරණය කර ගැනීමෙන් මිස විමර්ශන නිලධාරීන් අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නා බවත් එහිදී පෙන්වා දුන් රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඉදිරිපත් වන සාක්‍ෂි අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමක් හෝ නොගැනීමක් සිදුවිය හැකි බවද පෙන්වා දුන්නේය. ඉදිරිපත්වී ඇති ප්‍රබල සාක්‍ෂි අනුව පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇතත් ඔහු රැඳී සිටින ස්‌ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරක් දැනගැනීමට නොමැති බවද රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා අධිකරණය හමුවේදී එහිදී පෙන්වා දුන්නේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ රජයේ නීතිඥවරයා පෙන්වා දෙන කිසිදු කරුණක් හෝ සාධාරණ හේතුවක් පෙත්සම්කරු සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණවලට අදාළ නොවන බවත් එය හුදෙක් ද්වේෂ සහගතව සිදුකරන පදනම් විරහිත පරීක්‍ෂණයක් බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුක්‌ෂාන් නානායක්‌කාර මහතා එහිදී පෙන්වා දුන්නේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ඩී. ගජසිංහ මහතා හා ප්‍ර්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිරිවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.