පානිය ජල හිඟය, විදුලිය නොමැති වීම ඇතුළු
විවිධ අඩුපාඩුකම් රැසකින් පීඩිත
දුම් වැටි කඳුර ගම්මානයේ ජන දුක

පානිය ජල හිඟය, විදුලිය නොමැතිකම, මාර්ග අපහසුතාව ඇතුළු විවිධ අඩුපාඩු රාශියක්‌ හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් දුම්වැටිකඳුර ගම්මානයේ පදිංචි පවුල් 40 ක්‌ පමණ විවිධ අපහසුතා රැසකට ගොඳුරු වී සිටිති.

තම ගම්මානයේ ජනතාව මුහුණ දී සිටින ගැටලූ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වු ඩී. එම්. ජයසේන මහතා මෙසේ කීවේය.

මේ ගම ඉතා දුෂ්කර ගමක්‌ ගමට එන්න පාරක්‌ නැතිකම විශාලම අඩුවක්‌. ගමට එන්න තියෙන්නෙ අබලන් ගුරු පාරක්‌. එකෙ සමහර තැන් කැලේට යටවෙලා. සමහර තැන් හේදිලා ගිහිං අඩිපාරක්‌ වගේ. වැහි කාලෙට පයින්වත් යන්න බෑ.

පාරක්‌ නැතිකම කියා හදිසියකට ලෙඩෙක්‌වත් රෝහලකට රැගෙන යන්න පුළුවන් කමක්‌ නැහැ. ඡේ. එම්. පුංචිබණ්‌ඩා මෙසේකී ය.

ගමේ එක ගෙදරකටවත් විදුලිය නෑ. ඒත් මේ අවට හැම ගමකටම විදුලිය තියෙනවා. අපේ ගමේ අය විතරක්‌ කුප්පි ලාම්පු පත්තු කරනවා.

මේ ගමේ මිනිස්‌සු ජීAවත් වෙන්නෙ ගොවිතැන් කරලා. ටික දෙනකුට කෝමාරික ව්‍යාපාරයේ කුඹුරු හම්බ වෙලා තියෙනවා. ඒත් එන්න එන්න පවුල් ගාන වැඩිවීම කියා ටිකෙන් ටික ඉඩම් අඩුවෙලා. කාලෙකට ඉස්‌සර හේන් කෙටුවා ඒත් දැන් ඒ හේන්වල මිනිස්‌සු පදිංචි වෙලා.

ඩී. එම්. පොඩි මහත්තයා මෙසේකීය

අපේ ගමේ කුඹුරුවලට වතුර දෙන්නෙ කෝමාරික ඇළෙන්. ඒත් යල් කන්නෙදී හරියට වතුර ලැබෙන්නෙ නෑ. වගාකරන ඉඩම් හැමදාම වේලිලා විනාශ වෙනවා.

ගමේ බොහෝ දෙනෙකුට ජල පහසුකම් නෑ. බොහෝ දෙනෙක්‌ බොන්නේ ඇළේ අපවිත්‍ර වතුර පායන කාලෙට සැතපුම් ගණනාවක්‌ ගෙවා ගෙන ගිහිං ලොග්ගල්ල ඔයෙන් තමයි වතුර ගේන්නෙ. වතුර නැතිව මේ ගම්වල මිනිස්‌සු පුදුම දුකක්‌ විදිනවා.

ඩී. එම්. ජිනදාස මෙසේකීය

ගමේ බොහෝ දෙනෙක්‌ ජීවත් වෙන්නෙ සමෘද්ධි ආදායමෙන් ඒ නිසා ගෙයක්‌ දොරක්‌ හදා ගන්න වත්කමක්‌ නෑ. බොහෝ දෙනෙක්‌ තාමත් ඉන්නෙ තාවකාලික ගෙවල් වල.

ගමට පෙරපාසලක්‌ තියෙනවා. ඒත් ඒකට ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ නෑ. තාවකාලික මඩුවක තමයි ඒක පවත්වගෙන යන්නේ.

ඩී. එම්. ලලිතා මෙසේ කීවාය

ගමට කියල පොදු පහසුකම් කිසිවක්‌ නෑ. ක්‍රිඩාපිටියක්‌ ළමා උයනක්‌ පුස්‌තකාලයක්‌ මේ මොනාවත් නෑ. අවුරුදු ගානකට ඉස්‌සර මේ ගමේ මිනිස්‌සුන්ට ලැබුණ ඉඩම් ටික ඇරුණම වෙන කිසිම පහසුකමක්‌ නෑ. අඩුම ගානෙ ගමේ මිනිස්‌සු ඉන්නවද මැරුණද බලන්නවත් කවුරුත් නෑ.

ගමේ කාටවත් ස්‌ථිර ආදායම් නැති නිසා එදා වේල හොයාගන්නෙත් හරි අමාරුවෙන් අඩුම තරමේ අපිට වේලක්‌ ඇර වේලක්‌ කාල ඉන්න ආදායම් ලැබෙන ක්‍රමයක්‌වත් හදල දෙනවනම් පිං සිද්ධ වෙනවා.

වියලූව ශ්‍රී. ලං. නි. ප සංවිධායක හා පළාත් සභා මන්aත්‍රී ඡේ. එම්. ගුණතිලක මහතා,

මේ ගමට එන්න පාරක්‌ තිබුණේ නෑ. අපේ රජය යටතේ පාරක්‌ කැපීම ආරම්භ කළා. ඉදිරියේදී එය කොන්ක්‍රීට්‌ කර දීමට කටයුතු කරනවා.

විදුලිය ලබා දීමත් ප්‍රජාශාලාවක්‌ ලබා දීමත් අපි ඉක්‌මනින්ම ඉටුකර දීමට බලා පොරොත්තු වෙනවා.

සටහන සහ ඡායාරූප- වියලූව වාර්තාකරු

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.