පොල්අතු වහලින් යුතු පන්ති කාමර තිබෙන
ශ්‍රී පුර ධර්මාලෝක පිරිවෙන
නංවාලීමට උපකාර කරමු


අධ්‍යාපනය ඇත්තේ දිරුණු පොල්අතු වහලයේ වත් කැඩීගිය සිමෙන්ති පොළොවේ වත් නොවේ. කැපවූ ගුරුවරුන්ගේ සහ උනන්දුවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ "හිතට ගැනීම"තුළය නමුත් පරිසරයේ ප්‍රමාණවත් පහසුකම් සැලසුණු විට ප්‍රබෝධවත් මනසකින් යුතුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීමේ කටයුතුවල යෙදීමට පුළුවන.

මෙහි දැක්‌වෙන්නේ කොටි සටන් මැද වසර තිහක්‌ පමණ කල්ගෙවූ පදවි - ශ්‍රීපුර ජනතාවගේ උසස්‌ අධ්‍යාපන ආයතනය වූ ශ්‍රීපුර ධර්මාලෝක පිරිවෙණේ පන්ති කාමරයකි. පන්ති කාමරය අබලන් වූවත් මෙහි උගත් උසස්‌ පෙළ දරුවන් 2009 වර්ෂයේදී සියයට සියයක්‌ම සමත්වූ බව පරිවේනාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත කරන් බන්කුලමේ (කරඹ වැවේ) සිරිධම්ම හිමියෝ පවසති.

පදවි - ශ්‍රීපුර ප්‍රදේශයට පවත්නා එකම උසස්‌ අධ්‍යාපන ආයතනය මෙයයි. මෙහි උසස්‌ පෙළ අධ්‍යාපන පන්ති පමණක්‌ නොව විශ්වවිද්‍යාල බාහිර උපාධි පන්තිද පැවැත්වේ. මීට අමතරව නොමිලයේ පරිගණක පන්තියක්‌ද පැවැත්වේ.

කොටි උවදුරුවලින් ජීවිතයේ අතර මංවී සිටින දුවා දරුවන්ට උසස්‌ අධ්‍යාපනය ගෙන දෙන එකම උසස්‌ අධ්‍යාපන ආයතනය වන පදවි ශ්‍රීපුර ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් අධ්‍යාපන ආයතනය තවදුරටත් ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි පොල්අතු පන්ති කාමර වෙනුවට සුදුසු පන්ති කාමර ගොඩනගා ගැනීමට දානපතියන්ගේ උදව් උපකාර ලැබේනම් මැනවයි පරිවේණාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත කරන් බන්කුලමේ සිරිධම්ම හිමියෝ පවසති.

ශ්‍රී ධර්මාලොක පිරිවෙන් පදවි ශ්‍රීපුර එම ආයතනයේ ලිපිනයයි. පරිවේණාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත සිරිධම්ම හිsමියන්ගේ දුරකථන අංකය 071-2132972

එප්පාවල - රත්න බී ඒකනායක

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.