ලයිට්‌ කණු පැටවූ ලොරියක්‌ යද්දී
සියඹලාණ්‌ඩුව හිරිපිටිය පාලම කඩාවැටේ


මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර සහ මොනරාගල - නයන ඉහළ ගෙදර

සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටි හිරිපිටිය ගම්මානයට පිවිසීමට ඉදිකර තිබූ පාලම 07 දා රාත්‍රි ලයිට්‌ කණු පැටවූ ලොරියක්‌ සමග කඩාවැටී තිබේ.

ලොරියේ සිටි අයගේ ජීවිත අනූනවයෙන් බේරී ඇත. පාලම කඩාවැටීම නිසා මෙම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

මේ නිසා හිරිපිටිය ගම්වාසීහු මහත් අසීරු තත්ත්වයට පත්ව සිටිති. කෘෂිකර්ම නිෂ්පාදන වෙළෙඳ පළට ගෙන යැමට පමණක්‌ නොව අසාධ්‍ය රෝගියකුවත් රථවාහනයකින් ගෙන යැමට නොහැකි ව ඔවුහු මහත් අසරණ තත්ත්වයට පත්ව සිටිති.

කඩාවැටී ඇති පාලම අප්‍රමාදව ඉදිකර දෙන ලෙස එම ගම්වාසීහු ඌව පළාත් මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මොනරාගල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.
 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.