ශ්‍යාම්ගේ පොත මුදල් ආයෝජනය පිළිබඳ
හැමදෙනාටම ගුරුහරුවක්‌

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විඡේවර්ධන

පුවත්පත් කලාවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත "කාලීන ආර්ථික සටහන් අංක එක" කෘතියෙන් පාඨකයනට දායාද කරනුයේ මුදල් ආයෝජනයේ ප්‍රතිලාභ සහ අවදානම් පිළිබඳ ගුරුහරුවකි. දිගු කලක්‌ තිස්‌සේ "දිවයින" පුවත්පතට ආර්ථිකමය කරුණු ගැන හරවත් ලිපි බොහෝ සංඛ්‍යාවක්‌ ලියා ඇති ඔහු සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය ලේඛකයෙකි.

ඉතා සුගම භාෂාවකින් ගැඹුරු ආර්ථික කරුණු සරල ලෙස ඉදිරිපත් කිරීමට ඔහුට ඇති හැකියාව ඉමහත්ය. යම් විෂයයක අභ්‍යන්තරයට කි¹ බැස, එම විෂයයට අදාළ සියලු කරුණු ගොනුකර මධ්‍යස්‌ථ දෘෂ්ඨි කෝණයකින් පාඨකයා නොවෙහෙසා ලිවීම ඔහුගේ ලේඛන ශෛලියේ ඇති විශේෂ ලක්‌ෂණයක්‌ වේ.

වත්මන් ලිපි එකතුවට ඇතුලත්ව ඇත්තේ ඉතා කාලීන වැදගත්කමකින් යුත් මුදල් ආයෝජනය පිළිබඳ ලිපි මාලාවකි. මුදල් ආයෝජනය අවදානම නිසි ලෙස තක්‌සේරු කර සුපරික්‌ෂාකාරීව සිදු කළ යුතු කර්තව්‍යක්‌ වේ. ඒ පිළිබඳව අප බොහෝ දෙනා තුළ ඇති දැනුම අල්ප බව වැටහෙනුයේ, ආයෝජනයට පසු ව්‍යාපාර බිඳ වැටීම නිසා සිදුවන අලාභ පිළිබඳව නගන මැසිවිලි දෙස බලන විටය. ඒ අවස්‌ථාවේදී, මහ බැංකුවට, රජයට සහ ආයෝජනයට තමන් පෙළඹවූ සියලු දෙනාටම දෙස්‌ දෙවොල් තැබීම අප බොහෝ දෙනාගේ සිරිතක්‌ව තිබේ. එහෙත් වරද අප අත බවත්, මුලින් කරුණු නිසි පරිදි සොයා නොබලා ආයෝජනය කිරීම ව්‍යවසනයට මූලික හේතුව බවත් පසක්‌ වන විට සියල්ල සිදුවී හමාරය. එබැවින් මෙම ලිපි මගින් ආයෝජන පිළිබඳව දෙනු ලබන මූලික පාඩම් ඉතා අගනේය.

ලිපි මාලාව පාඨකයාගේ පහසුව පිණිස ප්‍රධාන කොටස්‌ හතරකින් ඉදිරිපත් කර ඇත. පළමුවැනි කොටස වෙන් කර ඇත්තේ මහ බැංකුවෙන් අවසරලත් මූල්‍යායතන පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමටය. මහබැංකුවේ අවසරයක්‌ නොමැතිව ක්‍රියාත්මක කෙරෙන මූල්‍යායතන පිළිබඳව සාකච්ඡා කිරීමට පොතෙහි දෙවන කොටස යොදාගෙන තිබේ. එම කොටස ඇත්ත වශයෙන්ම එවැනි ආයතනවලට මුදල් තැන්පත් කිරීමේ අපේක්‌ෂාවෙන් සිටින පුද්ගලයන් දැනුවත් කර ඉන් වලක්‌වා ගැනීමට යොදාගෙන ඇත. භාවිතා කර ඇති මාතෘකා පවා අනතුරු හඟවන සුළුය. එසේම කාව්‍යමය ස්‌වරූපයක්‌ දරයි. "හොර පොලී සක්‌විති - නිසා සමහරු අහෝ දුක්‌වෙති" සහ "මහබැංකුවෙන් වැසුවා හොර පොලී තිරේ - සක්‌විති පරපුරම ඉවරයි මෙදා සැරේ" ඉන් නිදසුන් දෙකක්‌ පමණි. මෙම කොටස හොඳින් පරිශීලනය කළ පාඨකයකු තව දුරටත් එවැනි ආයතනවල මුදල් තැන්පත් කිරීමට පෙළඹෙන්නේ නම්, ඔහුගේ මානසික සෞඛ්‍යය පරීක්‌ෂාවට භාජනය කිරීම වටනේය.

තුන්වන කොටසින් විග්‍රහ කර ඇත්තේ මහජනතාව සූදුවක්‌ ලෙස ඇබ්බැහි විය හැකි තවත් ව්‍යසනයක්‌ පිළිබඳව දැනුවත් කර ඔවුන් ඉන් මුදවා ගැනීම සඳහාය. එය නම්, ලොව පුරා භයානක උවදුරක්‌ සේ පැතිර පවත්නා "පිරමීඩ යෝජනාක්‍රම" යයි. ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනා මෙකී පිරමීඩ ක්‍රමවලට හසුව තමන්ගේ ධනය නැති නාස්‌ති කර ගත්හ. ඉන් පසු තම මුදල් බේරා දෙන ලෙස රජයට සහ මහ බැංකුවට යෑදුනාහ. එම ක්‍රම පැතිර ගිය මුල් අවධියේදීම ඒවාට එරෙහිව තම ලිපි මගින් හඬක්‌ නැගූ ප්‍රධාන පෙලේ ලේඛකයකු වූයේ මෙම කෘතියේ ලේඛකයාය. ඇතැම් අවස්‌ථාවලදී ඔහුගේ ජීවිතයට පවා තර්ජන එල්ලවින. එහෙත් මෙම ලේඛකයා නොබියව තම යුතුකම ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලය වූයේ, වේගයෙන් පැතිරෙමින් තිබූ පිරමීඩ ක්‍රම ක්‍රමයෙන් අභාවයට යාමය. අදත්, මෙම ලේඛකයා පිරමීඩ ක්‍රම හිස එසවීම පිළිබඳව ඇස ගසා සිටිමින් කල් තබා බලධාරීන්ටත්, මහජනතාවටත් අනතුරු හැඟවීමේ නිරතව සිටී.

සිව්වන කොටස මුදල් ප්‍රවේශම් ලෙස ආයෝජනය කිරීම සඳහා අසා දැනගත හැකි ස්‌ථාන හඳුන්වා දීමට කැපකර තිබේ. එම කොටස ඇත්ත වශයෙන්ම, පාඨකයාගේ ඉමහත් ප්‍රයෝජනයට හේතුවනවා ඇත.

සමස්‌තයක්‌ ලෙස ගත් කල, මෙම කෘතිය පොදු පාඨකයාටත්, මෙම විෂයයන් හැදෑරීමේ යෙදී සිටින ශිෂ්‍යයන්ටත් ඉමහත් සේ ප්‍රයෝජනවත්වේ.
 
Powered By -