මිත්‍රත්වය හා ද්වීපාර්ශ්වීය සබඳතාවලට ශක්‌තියක්‌ වන
රටවල් අතර සංස්‌කෘතික හුවමාරු වැඩසටහන්
දේශපාලන සබඳතාවලට අවශ්‍ය ජවය ලබා දෙනවා

මොස්‌කව් මිත්‍රත්ව සරසවියේ 50 වැනි සංවත්සර
උළෙලට එක්‌වෙමින් ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි


රුසියාවේ මොස්‌කව් මිත්‍රත්ව (පැටි්‍රක්‌ ලුලුම්බා) සරසවියේ 50 වැනි සංවත්සර උළෙල සඳහා සහභාගි වූ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි ශ්‍රී ලාංකික සිසුවියක්‌ විසින් පිළිගත් අන්දම ඡායාරූපයේ වේ. - සුදත් සිල්වා

රටවල් අතර මිත්‍රත්වය හා ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්‌තිමත් වන්නේ සංස්‌කෘතික හුවමාරුවලින් වගේම දේශපාලන සබඳතා තිරසාරව පවත්වාගෙන යැමට අවශ්‍ය වන හරය හා ජවය ලබාදෙන්නේත් සංස්‌කෘතික සම්බන්ධතා තුළින් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මොස්‌කව් ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට පනස්‌ වසරක්‌ සපිරීම නිමිත්තෙන් පැවැති සංවත්සර උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

මෙහිදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කෙරුණු ශ්‍රී ලාංකීය සංස්‌කෘතික සංදර්ශනයක්‌ද පැවැත්විණි.

එම උත්සවය ඇමතූ ජනාධිපතිවරයා මෙසේද කීය.

සංස්‌කෘතියෙන් හා සෞන්දර්යයෙන් පරිපූර්ණ මොස්‌කව් නගරයේදී අප වෙත පළ කරන්නට යෙදුණු කාරුණික අනුග්‍රහයටත්, මටත් මගේ නියෝජිත පිරිසටත් දැක්‌වූ උණුසුම් ආගමික සත්කාරයටත් මගේ ස්‌තූතිය ප්‍රථමයෙන්ම පුද කරන්න ඕනෑ.

මේ ලෝක ප්‍රසිද්ධ නගරයට පැමිණිලා රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයට පනස්‌ වසරක්‌ සපිරෙන සාංවත්සරික උත්සවයට සහභාගිවීමත්, එහිදී ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමත් මා සලකන්නේ මා ලද ගෞරවයක්‌ හා වරප්‍රසාදයක්‌ ලෙසයි. ඒ වාගේම, මේ සන්ධ්‍යාවේදී එම විශ්වවිද්‍යාලයත් සමග එකතුවෙලා අපේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කෙරුණු ශ්‍රී ලාංකීය සංස්‌කෘතික සංදර්ශනයට සහභාගිවීමට ලැබීමත් මට සතුටකි.

විශිෂ්ට ගණයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්‌ ලැබීමට වගේම, නොයෙක්‌ රටවලින් ආ සහෝදර ශිෂ්‍යයන් සමග කිට්‌ටුවෙන් වැඩ කරන්නට ලැබීමත් ශ්‍රී ලංකාවෙන් පැමිණි දහස්‌ ගණන් සිසු සිසුවියන්ට පසුගිය පනස්‌ වසරක කාලසීමාව තුළදී ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ලබා දුන් ඒ අනගි අවස්‌ථාව අප සිහිපත් කරන්නේ කෘතවේදීවයි.

මේ විශ්වවිද්‍යාලය සිය ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව අනුව සලකා බලන විට පුංචි ලෝකයක්‌ වගේ. නොයෙකුත් ආකාරයේ සංස්‌කෘතික ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්නටත්, ඒ වගේම නොයෙකුත් ලෝක ප්‍රජාවන්ගේ සම්ප්‍රදායන් එකතු කර තබන්නටත් මේ විශ්වවිද්‍යාලයට හැකිවෙලා තිබෙනවා. මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන හැම ශ්‍රී ලාංකීය ශිෂ්‍යයෙක්‌ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙක්‌. ඒ වගේම තානාපතිවරයෙක්‌. නොයෙක්‌ රටවලින් පැමිණෙන ශිෂ්‍යයන් තමන්ගේ රටවල සංස්‌කෘතික සම්ප්‍රදායන් ආදිය මේ විශ්වවිද්‍යාල ජීවිතයට එකතු කර තිබෙනවා. මුළු ලෝකයම නියෝජනය කරන ආයතනයක්‌ හැටියට මේ විශ්වවිද්‍යාලය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නවා.

මිත්‍රවරුනි, රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර තිබෙන්නේ බොහෝ කලක සිට එන සම්බන්ධතාවයක්‌. 19 වැනි සියවසේ අවසාන භාගයේදී ලංකාවට ආපු ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයින් දෙපලක්‌ වූ ඇන්ටන් චෙකොෆ්, අයිවන් බනින් මේ සම්බන්ධතාවයට දායක වුණා යෑයි මා කල්පනා කරනවා. අපි ඒ දෙපලගේ ගමන සිහිපත් කරන්නේ අභිමානයෙන්. චෙකොෆ් තම ග්‍රන්ථයන්හි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ පුංචි පාරාදීසය කියලයි. 1890 ගණන්වලදී චෙකෝෆ් සහ බනින් දුටු අපේ මේ සුන්දර දිවයින පුරා දශක 3 ක්‌ තිස්‌සේ තිබුණු රුදුරු ත්‍රස්‌තවාදයේදී දැඩි ප්‍රහාරයෙන් ලත් ව්‍යසනයන්ගෙන් පීඩා විඳින්නට සිදුවීම ඉතාමත් කනගාටුදායක කතාවක්‌.

ත්‍රස්‌තවාදින් සමග අපේ ආරක්‍ෂක හමුදාවන් කළ සටනේදී අපි ලැබූ අත්දැකීම් අපට අමතක කරන්න බැහැ. ලෝකය පුරාම දශක ගණනාවක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකාවට විරුද්ධව අති භයානක මඩ ව්‍යාපාරයක්‌ ගෙන ගියා. ලෝක මතය ඒ නිසා අපට විරුද්ධව ගොඩනැගුනා. පසුගිය වසර හතර තුළ ජාත්‍යන්තරයෙන් විශාල බලපෑම් ඇති කළා. මිනිස්‌ අයිතිවාසිකම් කඩකරන ම්ලේච්ඡ ක්‍රියා සිදුකරන රටක්‌ හැටියටයි ශ්‍රී ලංකාව ගැන ලෝක මතය ගොඩනැගී තිබුණේ. ඒ නිසා ඒ සියල්ලටම මුහුණ දීල ලෝක මතය වෙනස්‌ කරන්න අප කටයුතු කළා. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කරන මානුෂික මෙහෙයුම නවතා දමන්නැයි ලෝක බලගතු රටවල් කණ්‌ඩායම් අපට මොන තරම් බලපෑම් එල්ල කළාද? ඒ සියල්ලටම මුහුණදීල අපි අපේ කටයුත්ත ත්‍රස්‌තවාදය අපේ මවුබිමෙන් ඉවත් කරන තුරුම ඉෂ්ට කළා. අපට එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්වලදී සමහර රටවල් එක දෙයක්‌ අමතක කළා. ඒ අවුරුදු 30 තිස්‌සේ ත්‍රස්‌තවාදීන් අපේ රටට, අපේ අහිංසක ජනතාවට කරන ලද මනින්න බැරි විනාශයයි.

2009 වර්ෂයේ මැයි මාසයේදී අපේ රජය අපේ වීරෝදාර හමුදාවන් මාර්ගයෙන් ඒ වගේම, අපේ අහිංසක ජනතාවගේ කැපකිරීම් තුළින් මේ රුදුරු බලවේගයන් පරාජය කළා. එහෙම කරන තෙක්‌ ම මේ ව්‍යසනකාරී තත්ත්වය අපේ ජාතියේ පැවැත්මට බලවත් තර්ජනයක්‌ වුණ බව රහසක්‌ නොවෙයි. ඒ ත්‍රස්‌ත භීෂණයට විරුද්ධව අප ගෙන ගිය සටනේදී අපේ රටට තිර අදිටනකින් සහාය දැක්‌වීම ගැන රුසියානු රජයටත්, රුසියානු ජනතාවටත් අපේ කෘතවේදිත්වය පළ කරනවා. මිත්‍ර රටවල්වලින් ලැබුණු සහායත්, තිර අධිෂ්ඨානයකින් අප ක්‍රියා කළ නිසාත් සංවර්ධනයට විශාල බාධාවක්‌ව තිබුණු ත්‍රස්‌තවාදය මුළුමනින්ම විනාශ කර දැමීමට පුළුවන් කියලා අපි මුළු ලෝකයටම පෙන්නුවා. එය බොහෝ රටවල ප්‍රශංසාවට ලක්‌ වුණා.

පසුගිය සති දෙකකට කලින් තිබුණ ජනාධිපතිවරණයේදී මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 58% ක්‌ ලබාදීලා මා නැවත වරක්‌ ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට පත් කිරීමෙන් අපේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල අනුබලයක්‌ දුන්නා. ඒ වගේම 75% ක්‌ තරම් සංඛ්‍යාවක්‌ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ශක්‌තියක්‌ වුණා. ඉතා පැහැදිලි තීන්දුවක්‌ දීල අපේ ජනතාව කෘතගුණ සලකනවා. ඒ වගේම ඉදිරි අනාගතය පිළිබඳ අපි ඉදිරිපත් කළ යෝජනාවලටත් ඒ අයගේ කැමැත්ත පැහැදිලි ලෙස ප්‍රකාශ කළා.

මිත්‍රවරුනි, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පළමු වන නිල චාරිකාව ලෙස, අපට කවදත් මිත්‍රශීලී බවක්‌ දක්‌වන ජනතාවක්‌ වෙසෙන රුසියාවට ඒමට පුළුවන් වීම සුබ නිමිත්තක්‌. ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව ලත් විජයග්‍රහණය සමග අප රටේ සාමය හා සංවර්ධනය සඳහා ලැබී ඇති මේ සුවිශේෂී අවස්‌ථාව අර්ථවත් කර ගැනීමට අපි ඇප කැප වෙනවා. මේ චාරිකාවෙන් අපේ රටවල් දෙක අතර තිබෙන ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයන්ගේ නව පරිච්ඡේදයක්‌, ඒ වගේම නව යුගයක්‌ පටන් ගත්තා යෑයි මා තදින් විශ්වාස කරනවා.

රුසියාව සිය වත්මන් නායකත්වය යටතේ වේගවත් සංවර්ධනයක්‌ ලබා තිබීම ශ්‍රී ලංකාවේ අපට ඉමහත් සතුටට කරුණක්‌. ජාත්‍යන්තර සාකච්ඡා මණ්‌ඩපවලදී රුසියාවේ හඬටත් මතයටත් ප්‍රබල තැනක්‌ ලැබෙමින් තිබෙන බවක්‌ අපට පේනවා. ඒ ගැනත් අප ඉතා සතුටු වෙනවා.

මිත්‍රවරුනි, අනාගතයේදී මහින්ද චින්තන ඉදිරි දැක්‌ම අනුව අපේ රට පංච මහා සංවර්ධන බලවේගයන්වල කේන්ද්‍රස්‌ථානය බවට පත් කරන්නට දැනටමත් අප කටයුතු කරමින් තිබෙනවා. නාවික, ගුවන්, වාණිජ, බලශක්‌ති සහ දැනුම කියන මේ පංචවිධ ක්‍ෂේත්‍රයන්හි කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අප කැපවීමකින් කටයුතු කරනවා. මේ සඳහා දැනටමත් අපි විසින් දියත් කර ඇති සංවර්ධන ක්‍රියාදාමයන් දායක වනවා.

අපේ ඒකපුද්ගල ආදායම පසුගිය වසර 4 තුළදී දෙගුණයක්‌ වෙලා. අපි නිදහස ලබා අවුරුදු පනස්‌ ගණනක්‌ ගිහිල්ලත් 2004 අවුරුද්ද වෙන කොට අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1014 පමණයි. මේක 2008 වනවිට ඩොලර් 2014 දක්‌වා වැඩි වුණා. ඒ අපි පවත්වාගෙන ගිය ඉහළ ආර්ථික වර්ධන වේගය නිසා වුණ දෙයක්‌. මේ ඒකපුද්ගල ආදායම 2015 වන විට ඩොලර් 4000 දක්‌වා ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය දෙගුණයක්‌ කරන්න කටයුතු හදලා තිබෙනවා.

අපේ රටේ විරැකියාවත් ඉතා අඩු මට්‌ටමකයි තියෙන්නේ. ඒ 5.8% ක්‌ විතර. අද ආර්ථික වර්ධන වේගය ගත්තොත් අප චීනයට පමණයි දෙවැනි වන්නේ කියලා ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක පළවී තිබුණා. ඒ වගේම සංචාරකයන් සංචාරය කළ යුතු රටවල් 31 අතුරින් ශ්‍රී ලංකාව පළවැනි තැනයි ඉන්නේ කියලා නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පත මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී ප්‍රකාශ කළා. මේ නිසා සංවර්ධනය කරා යැමේ අපේ ප්‍රයත්නය මොන හේතුවකින් වත් අසාර්ථකවීමට ඉඩක්‌ නැති බව මා ඔබට කියන්න ඕනෑ. කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වීමත් එක්‌කම අපේ රටට එන සංචාරකයින්ගේ ප්‍රමාණය ගොඩක්‌ වැඩි වෙලා. ඒ, රුසියානු ලේඛක චෙකොෆ් කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන ඒ පාරාදීසය දැක බලාගන්න, ඇවිල්ලා අපේ රටේ උණුසුම් ආගන්තුක සත්කාර විඳින්න විදේශ සංචාරකයන් බලාපොරොත්තු වෙලා ඉන්න නිසා.

අපේ විදේශ ප්‍රතිපත්තිය කවදත් නොබැඳි පිළිවෙත අනුව හැඩගැසුන එකක්‌. අධිරාජ්‍යවාදී, පොහොසත්, සමාජවාදී, කියලා රටවල් වෙන් කරලා ඒ අනුව හැඩගසා ගත් විදේශ ප්‍රතිපත්තියක්‌ නොවෙයි මගේ පාලන කාලයේ දී මා හිතේ තබා ගත්තේ එක දෙයයි. මගේ මව් බිමට අපේ ජනතාවට යහපත්, ඒ වගේම වාසිදායක දෙයක්‌ ලබා ගන්න පුළුවන් යෑයි හිතලා තමයි, ඒ ඒ රටවල් සමග සම්බන්ධතාවයන් ගොඩනගා ගත්තේ, ත්‍රස්‌තවාදීන්ට එරෙහිව පසුගිය අවුරුදු 4 ක කාලයේදී අපි කරපු සටන්වලදීත් අපි පැහැදිලි ලෙස අනුගමනය කළේත් මේ විදේශ ප්‍රතිපත්තියයි. ත්‍රස්‌තවාදය පරාජය කරන්නට යම් රටක්‌ අපට උදව් කළා නම්, ඒ රටත් සමග අපි අපේ සම්බන්ධතාවයන් ශක්‌තිමත් කළා. දැන් අපට සාමය උදාකර ගැනීමට හැකිවෙලා තිබෙනවා. අපේ ඉදිරි කාලයේදීත් මේ ප්‍රතිපත්තිය අනුව ගිහිල්ලා අපේ රටට සෞභාග්‍යය උදාකර ගැනීමට දායක වන සම්බන්ධතාවයන් අපි ඇතිකර ගන්නවා. අපි අමාරුවෙන් දිනාගත්ත නිදහස මොන ආකාරයෙන්වත් පාවා නොදී තමයි, මේ සම්බන්ධතාවයන් අපි ගොඩනගාගන්නේ.

මිත්‍රවරුනි, ශ්‍රී ලංකාව, අපේ විදෙස්‌ පාර්ශ්වකරුවන් සමග තවදුරටත් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සාමය උදාවීමත් එක්‌ක අපේ රටේ වෙළ¹ම, ආයෝජනය වෙනුවෙන් විශාල වශයෙන් ඉඩකඩ ලැබී තිබෙනවා. දැනට බොහෝ විදේශ ආයෝජකයන් මේ ගැන විමසලත් තිබෙනවා. අපේ අපනයන ක්‍ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කරලා අගය එකතු කළ භාණ්‌ඩ වැඩියෙන් අපනයනය කිරීමටත් කටයුතු කෙරෙනවා.

අපේ රටවල් දෙක අතර තිබෙන ආර්ථික සබඳතා තවදුරටත් දියුණු කිරීමට මේ ලැබී ඇති, ඒ වගේම විරල අවස්‌ථාව, දෑතින්ම පිළිඅරගෙන සමෘද්ධිය කරා යැමට අපට උදව් වන ලෙස රුසියානු ආයෝජකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ ගැන කතා කරන විට රුසියානු ලේඛක චෙකොෆ් කියපු වදනක්‌ මට මතක්‌ වෙනවා. "අපි සාමය සොයා ගන්නෙමු. අපි සුරදූතයන්ට ඇහුම්කන් දෙන්නෙමු. දියමන්තිවලින් දිදුලන අහස අපි දකින්නෙමු." මේ වචන කිහිපය ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය විග්‍රහ කරන්නත් ඉතාමත් සුදුසුයි. මාගේ අදහසේ හැටියට මෙයින් කියවෙන්නේ ශ්‍රී ලංකාව අප සිතන පතන ආකාරයට සමෘද්ධිය කරා ගෙන යැමට පුළුවන් බවයි.

මිත්‍රවරුනි, රටවල් අතර මිත්‍රත්වය හා ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්‌තිමත් වන්නේ සංස්‌කෘතික හුවමාරුවලින්. ඒ වගේම දේශපාලන සබඳතා තිරසාරව පවත්වාගෙන යැමට අවශ්‍ය වන හරය හා ජවය ලබාදෙන්නේත් සංස්‌කෘතික සබඳතා තුළින්. අපේ රටවල් දෙක අතර තිබෙන සම්බන්ධතාවය ගැන සලකා බලන කොට මේක සත්‍යයක්‌. මගේ මතකයේ හැටියට පසුගිය දශකය තුළ රුසියානු සංස්‌කෘතික කණ්‌ඩායම්, සර්කස්‌ කණ්‌ඩායම්, සංගීත කණ්‌ඩායම් අප රටට පැමිණීම අපේ සංස්‌කාතියට විශාල ශක්‌තියක්‌ වුණා. ඒ වගේම අපේ ජනතාවට විශාල වින්දනයක්‌ ලැබීමටත් එයින් හොඳ අවස්‌ථාවක්‌ ලැබුණා.

එම නිසා අද දින පැවැත්වෙන මේ සංස්‌කෘතික සංදර්ශනය ශ්‍රී ලංකාවේත් රුසියාවේත් ජනතාවන් අතර පවතින මිත්‍රකම වැඩි කරගන්නට මෙය ඉවහල් වුණා කියලා මා සතුටු වෙනවා. ඒ වගේම ඉදිරියටත් මෙවැනි සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සංස්‌කෘතික සංදර්ශනය නරඹා සතුටට හා ප්‍රීතියට පත්වන්නැයි ඔබෙන් ඉල්ලා සිටිමින් ඔබට සුබ අනාගතයක්‌ වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්‌ථාවට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි මැති ඇමැතිවරුන් පිරිසක්‌ ද සහභාගි වූහ.

 

 
Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.