අංක එකේ මහජන සතුරාට මුහුණ දීම

අංක එකේ මහජන සතුරා ලෙස සැලකෙන්නේ උද්ධමනයයි. එයට හේතුව නම් උද්ධමනය විසින් දිනෙන් දිනම ජනතාව පෙළමින් ජනතාවට නිරන්තරයෙන්ම සතුරුකම් කරන බැවිනි. ජනයා පීඩාවට පත් කරන බැවිනි. මේ සතුරාට අප මුහුණ දෙන්නේ කෙසේද? මේ සතුරා අපට මුළුමනින්ම පරාජයට පත් කළ හැකිද? මෙකී කරුණු කාරණා පිළිබඳව අද දවසේ සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. ඊට හේතුව නම් මෙකී උද්ධමනය හා බැඳුණු බඩු මිලේ ප්‍රශ්නය සහ ජීවන වියදමේ ප්‍රශ්නය පිළිබඳව නිරන්තරයෙන්ම මැතිවරණ වේදිකාව තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන බැවිනි. පසුගිය ජනපතිවරණ වේදිකාව තුළත් මේ ගැන බෙහෙවින් කතා බහට ලක්‌ විය. ඉදිරි මහ මැතිවරණ වේදිකාව තුළත් මේ ගැන ඕනෑ තරම් කතාබහට ලක්‌ වනු ඇති බවට කිසිම සැකයක්‌ නැත. ඒ නිසා උද්ධමනයේ හැසිරීම සහ උද්ධමනයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

මේ සියල්ලටම ප්‍රථම "උද්ධමනය" යනු කුමක්‌දැයි හඳුනා ගෙන සිටීම වැදගත්ය. "උද්ධමනය" සහ "බඩු මිල" අතර සම්බන්ධයක්‌ තිබුණත් උද්ධමනය යනු බඩු මිල නොවේ. උද්ධමනය යනු රටේ භාණ්‌ඩ හා සේවාවන්ගේ සමස්‌ත මිල මට්‌ටම ඉහළ යාමයි. මේ මිල මට්‌ටම් ඉහළ යාම මනිනු ලබන්නේ මිල දර්ශකවලිනි. ශ්‍රී ලංකාවේ උද්ධමනය මනිනු ලබන නිල මිල දර්ශකය කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. උද්ධමනය මනිනු ලැබූ විට ලැබෙන අගය උද්ධමන අනුපාතයයි. මේ නිසා උද්ධමන අනුපාතය යනු රටේ සමස්‌ත මිල මට්‌ටම ඉහළයැමේ වේගයයි. තවත් සරලව කියන්නේ නම් උද්ධමන අනුපාතයෙන් පෙන්නුම් කෙරෙන්නේ රටේ බඩු මිල ඉහළ යාමේ වේගයයි. මේ අනුව උද්ධමන අනුපාතය ඉහළ අගයක්‌ ගන්නා විට වේගයෙන් බඩු මිල ඉහළ යමින් තිබෙන බවද උද්ධමන අනුපාතය අඩු අගයක්‌ ගන්නා විට රටේ බඩු මිල සාපේක්‍ෂව අඩු වේගයකින් ඉහළ යමින් තිබෙන බවද අප වටහා ගත යුතුයි. මේ නිසා උද්ධමනය ධන අගයක්‌ ගන්නා සෑම අවස්‌ථාවකදීම සමස්‌තයක්‌ වශයෙන් රටේ බඩු මිල ගණන් ඉහළ යමින් තිබෙන බවද අප තේරුම් ගත යුතුය.

සාමාන්‍යයෙන් අප "බඩු මිල" ලෙස අදහස්‌ කරන්නේ රටේ භාණ්‌ඩ හා සේවාවන්ගේ සමස්‌ත මිල මට්‌ටමයි. ඒ නිසා අපේ රටේත් ලෝකයේ වෙනත් රටවලත් බඩු මිල නිරන්තරයෙන්ම වැඩි වෙමින් පවතී. මෙසේ සමස්‌තයක්‌ ලෙස බඩු මිල වැඩිවෙමින් තිබුණත්, ඒ තුළ ඇතැම් භාණ්‌ඩවල මිල අඩුවීමත්, ඇතැම් භාණ්‌ඩවල මිල වැඩිවීමත් සිදු විය හැකිය. උදාහරණයක්‌ ලෙස රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා අය කරන බදු අඩු කළේ යෑයි සිතමු. එවිට එකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ගණන් අඩු වෙයි. එනම් එම අවස්‌ථාවේදී සිදුවන්නේ අදාළ භාණ්‌ඩවල මිල අඩුවීමකි. මෙය භාණ්‌ඩ වර්ග කිහිපයක මිල අඩුවීමක්‌ මිස රටේ බඩු මිල අඩුවීමක්‌ ලෙස සැලකිය නොහැකිය. හේතුව නම් කලින්ද සඳහන් කළ පරිදි බඩු මිල යනු රටේ සමස්‌ත මිල මට්‌ටම වන බැවිනි. ඒ නිසා අඩු වන්නේ සහ අඩු කළ හැක්‌කේ "භාණ්‌ඩ මිල" (භාණ්‌ඩ වර්ග කීපයක මිල) මිස බඩු මිල නොවේ. මේ නිසා සාමාන්‍යයෙන් බඩු මිල අඩුවන්නේ නැත. බඩු මිල අඩුවීමට නම් රටේ සමස්‌ත මිල මට්‌ටමේ පහළ යැමක්‌ සිදු විය යුතුය. එවිට උද්ධමනය සෘණ අගයක්‌ ගන්නා අතර ඒ තත්ත්වය අප හඳුන්වන්නේ අවධමනය ලෙසයි. මෙවැනි අවධමනකාරී තත්ත්වයක්‌ ආර්ථිකයක ඉදිරි ගමනට සුදුසු උත්තේජනය නොසපයන නිසා අවධමනය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන්නේ යෑයි කියනු ලැබේ. කවරක්‌ නමුත් මෙකී "අවධමනය" යන්න අප වෙනම කතා කළ යුතු මාතෘකාවකි.

රටේ සමස්‌ත මිල මට්‌ටම් පහළ වැටෙන අවධමනකාරී තත්ත්වයක්‌ ආර්ථික වර්ධනයට සහ ආර්ථික ඉදිරි ගමනට සුදුසු නැත්නම් වඩාත් සුදුසු තත්ත්වය කුමක්‌ද? සාමාන්‍යයෙන් ආර්ථිකයක ඉදිරි ගමනට කිසියම් උද්ධමනයක්‌ පැවතිය යුතු බව පිළිගැනේ. ආර්ථික වර්ධන ක්‍රියාවලියට අවශ්‍ය උත්තේජනය ලැබෙන්නේ එවිටය. නැතහොත් සිදුවන්නේ ආර්ථිකය එක තැන පල්වන තත්ත්වයකට පත් වීමයි. ඒ නිසා අවශ්‍ය වන්නේ උද්ධමනය හෙවත් බඩු මිල ඉහළ යැමේ වේගය හැකිතාක්‌ අවම මට්‌ටමක්‌ දක්‌වා අඩු කරගෙන, ඒ තත්ත්වය අඛණ්‌ඩව පවත්වාගෙන යාමයි. එසේ පවත්වාගෙන යන අතරම ජනයාගේ ආදායම් මට්‌ටම් ඉහළ නංවන තත්ත්වයන් නිර්මාණය කිරීමයි.

මෙකී සාකච්ඡා කළ කරුණු කාරණා අනුව අපට "උද්ධමනය" සහ "බඩු මිල" යන කාරණා දෙකෙහි වෙනස මැනවින් වටහා ගත හැකිය. එනම් බඩු මිල යනු රටේ සමස්‌ත මිල මට්‌ටම වන අතර උද්ධමනය යනු එකී සමස්‌ත මිල මට්‌ටම හෙවත් බඩු මිල ඉහළ යන තත්ත්වයයි. ඒ නිසා උද්ධමනය අඩු වූ පමණින් බඩු මිල අඩු වූයේ යෑයි අදහස්‌ නොවේ. උද්ධමනය අඩුවීම යනු බඩුමිල ඉහළ යැමේ වේගය අඩු වීමයි. එහිදී බඩු මිල අඩුවීමක්‌ සිදුව නැති අතර බඩු මිල තවදුරටත් ඉහළ යමින් පවතියි. යම් අවස්‌ථාවක රටේ උද්ධමන අනුපාතය සියයට 7 සිට 6 දක්‌වා අඩුවූයේ යෑයි සිතමු. මෙහි අදහස බඩු මිල අඩු වී ඇති බවක්‌ නොව බඩු මිල ඉහළ යන වේගය සියයට 7 සිට 6 දක්‌වා අඩු වී ඇති බවයි. එනම් තවදුරටත් බඩුමිල සියයට 6 කින් ඉහළ යමින් තිබෙන බවයි. උද්ධමනය අඩු වී ඇතැයි කී විට බොහෝ දෙනෙක්‌ අසන්නේ "කොහේද බඩු මිල අඩුවෙලා තියෙන්නේ? " යනුවෙනි. එහෙත් දැන් ඔබට මේ කරුණ ඉතා හොඳින් වැටහෙනු ඇතැයි අපි සිතමු.

මේ අනුව ආර්ථිකයක නොයෙකුත් අවස්‌ථාවලදී යම් යම් භාණ්‌ඩවල මිල ගණන් අඩුවීම් සහ වැඩිවීම් සිදු වෙයි. එහෙත් සමස්‌තයක්‌ ලෙස සිදුවන්නේ බඩු මිල ඉහළ යැමයි. ඒ නිසා කිව යුත්තේ "භාණ්‌ඩ මිල" (භාණ්‌ඩයක හෝ කිහිපයක මිල) අඩු කළ හැකි වුවත් එසේම අඩු විය හැකි වුවත් බඩුමිල අඩු කළ නොහැකිය. ඒ නිසා උද්ධමනය නමැති අංක එකේ මහජන සතුරා, මුළුමනින්ම පරාජයට පත් කළ නොහැකිය. එසේ නම් අප මේ සතුරාට මුහුණ දෙන්නේ කෙසේද? එනම් මේ සතුරාගේ බලය හැකිතාක්‌ මර්දනය කොට, එනම් මේ සතුරා හැකිතාක්‌ උපරිම මට්‌ටමක්‌ දක්‌වා දුර්වල කොට ඒ මට්‌ටමින් පවත්වා ගැනීමයි. මෙලෙස උද්ධමනය හැකිතාක්‌ උපරිම මට්‌ටමක්‌ දක්‌වා අඩු කරගෙන, ඒ මට්‌ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මේ සතුරාගේ බල අපට බිඳිය හැකිය. උද්ධමනය අංක එකේ මහජන සතුරා වුවත්, ඒ සතුරා මහජනයාට සතුරුකම් කළ නොහැකි දුර්වලයකු බවට පත් කළ හැකිය. මෙලෙස උද්ධමනය අවම මට්‌ටමක පවත්වාගෙන යමින්, ආර්ථික වර්ධනය හා සංවර්ධනය ඉහළ නංවා ගන්නා විට ජනතාවගේ ආදායම් මට්‌ටමද ඉහළ නැංවෙන නිසා, උද්ධමනය කිසියම් මට්‌ටමකින් තිබුණත්, ඉන් ජනතාවට කළ හැකි සතුරුකමක්‌ නැත. ඒ නිසා බඩු මිල ප්‍රශ්නයට, ජීවන වියදමේ ප්‍රශ්නයට සහ උද්ධමනය නමැති අංක එකේ මහජන සතුරාට මුහුණ දිය යුත්තේ මේ ආකාරයටය.

මේ නිසා ඉදිරි මැතිවරණයේදී නොව කවර මැතිවරණයකදී වුවත් යමෙකු "බඩු මිල අඩු කරනවා" යෑයි කිවහොත් එය ඉටු කළ නොහැකි සම්පූර්ණයෙන්ම බොරු කතාවක්‌ බව ඔබ දැන් දනී. එහෙත් ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්‌ඩ වර්ගවල මිල ගණන් අඩු කළ හැකිය. එය කළ යුතුය. එවැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ මත රජය අය කරන බදු අඩු කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් මේ මිල අඩුකිරීම සිදු කළ හැකිය.

මේ නිසා සාමාන්‍යයෙන් ඕනෑම රජයකට එරෙහිව කියන් සටන් පාඨවලදී "බඩු මිල අඩු කරව්" යන්න ජනප්‍රිය සටන් පාඨයක්‌ වුවත් ප්‍රායෝගික යථාර්ථය වන්නේ එය කළ නොහැකි දෙයක්‌ බවයි. එහි අදහස බඩු මිලේ ප්‍රශ්නයට, ජීවන වියදමේ ප්‍රශ්නයට රජයක්‌ විසින් විසඳුම් ලබා නොදිය යුතුය යන්න නොවේ. ඒ සඳහා විසඳුම් ලබාදිය යුතු ආකාරය පිළිබඳව අපි ඉහතින් සාකච්ඡා කළෙමු.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත ගණනය කරන උද්ධමනය 2008 ජුනි මාසයේදී සියයට 28.2 ක්‌ දක්‌වා උපරිම මට්‌ටමකට ඉහළ ගියේය. එය 2009 සැප්තැම්බර් මස අග වනවිට සියයට 0.7 දක්‌වා උපරිම ලෙස අවම මට්‌ටමක්‌ දක්‌වා අඩුවීමද සිදුව ඇත. කවරක්‌ නමුත් ඉන්පසු යළිත් ක්‍රමානුකූළව උද්ධමනය ඉහළ යන්නට පටන් ගෙන ඇති අතර 2010 ජනවාරි මස අග වනවිට එය සියයට 6.5 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මූලික උද්ධමනය ද ඉහළ ගොස්‌ ඇත. කවරක්‌ නමුත් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2010 ජනවාරි මස අගදී සියයට 3.1 දක්‌වා සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙන බවද කිව යුතුය.

ඉදිරි උද්ධමන අපේක්‍ෂාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ කියයි.

"2010 වසරේදී උද්ධමනය වර්තමානයේ පවතින අඩු මට්‌ටමේ සිට ඉහළ අගයකට ළඟා වේ යෑයි අපේක්‍ෂා කළද එය තනි අංකයක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඉල්ලුමෙහි ඇති වූ පීඩනය මැඩ පවත්වා ගැනීම සඳහා නාමික දළ ජාතික නිෂ්පාදිතයෙහි වර්ධනයට අනුරූපීව පුළුල් මුදල්වල වර්ධනය පවත්වාගනු ඇත. භාණ්‌ඩවල ජාත්‍යන්තර මිල ගණන් පවතින මට්‌ටමට වඩා වැඩි නොවන තත්ත්වයක්‌ තුළදී රටෙහි කෘෂි කාර්මික නිෂ්පාදනවල සැපයුම වැඩි වේ යෑයි උපකල්පනය කර ඇත. ඒ අනුව ඉල්ලුමෙහි හා සැපයුමෙහි යන දෙඅංශයෙන්ම උද්ධමනයට ඇති කරන පීඩනය දැඩි නොවනු ඇති අතර, එබැවින් උද්ධමනය තනි අංකයක රඳවා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වුවද, ලෝක ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් වීම නිසා ඛනිජ තෙල් ඇතුළු භාණ්‌ඩවල ජාත්‍යන්තර මිල අපේක්‍ෂිත මට්‌ටමට වඩා ඉහළ යැමට ඉඩ ඇති බැවින් මෙම පුරෝකතන අගය ඉහළ යැමේ අවදානමක්‌ පවතී."


(මෑතකාලීන ආර්ථික ප්‍රවණතා, 2009 නොවැම්බර්, පි. 10)

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

 
Powered By -