සංස්‌කරණය : නාරද නිශ්ශංක

නිහඬ උස මිනිසා නිහඬවම නික්‌ම ගියේය
ජයන්ත චන්ද්‍රසිරි


ජිහාඩ් සාද් තරුණ සිරියානු නාට්‍යකරුවෙකි. පර්යේෂණාත්මක නාට්‍යකරුවෙකි. නාට්‍ය කලාවට පෙම්බැඳ සිටින්නකු වන අතරම ඔහුද අප මෙන්ම රූපණ කලාවටද අතිශය පෙම්බැඳ සිටින්නකු වෙයි. (එසේ වූවන්ට රූපණකලාව ආගමක්‌ද, පර්යේෂණාගාරයක්‌ද වෙයි.)

මෙතැන මා අප යෑයි යෙදූයේ තරුණ ශ්‍රියන්ත මෙන්ඩිස්‌ට සහ මටය.

මේ වර්ෂ 1990 ය. අපි බර්ලින් නුවර කුඩා රඟහලක අර්ධ මණ්‌ඩල රංග පීඨයක්‌ මතවූ විසිරුණු වේදිකා භාණ්‌ඩ කීපයක්‌ උඩ වාඩිවී සිටිමු. ලැබුණු කෙටි විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රිසි සිසු සිසුවියෝ කෝපිහලට ගොස්‌ සිටිති. අප තිදෙනා පමණක්‌ තවමත් මෙහි රැඳී සිටින්නේ මීට මොහොතකට පෙර අවසන්වූ "රූපණය අරභයා වන මනුෂ්‍ය ශරීරයේ උභතෝ කෝටිකයන්" පිළිබඳව ආචාර්ය ක්‌ලාවුස්‌ ෆිඩ්ලර්ගේ පාඩම තුළින් මතුවූ ගැටලු අප තවම විස¹ගෙන නොමැති නිසා නොවේ.

ජිහාඩ් සාද් අප විසින් ඔහු අතට පත්කරන ලද ශ්‍රී ලංකාවේ පී. යු. ඩී. පෙරේරා විසින් හෝ ටී. එම්. ජී. චන්ද්‍රසේකර විසින් හෝ ගනු ලැබූ අපගේa "මෝරා" නාට්‍යයේ ඡායාරූප ගණනාවක්‌ එකපැහැර නරඹමින් සිටින නිසාය.

තව ටික වෙලාවකින් ඔහු ඒවා අතරින් එක්‌තරා නළුවකුගේ පමණක්‌ ඡායාරූප කීපයක්‌ වෙන්කර ගනියි. අනතුරුව රූපණ ශිල්පියෙකුගේ ජීවයාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳව තමා තුළ පවත්නා විශ්මය ජනක අවබෝධය ප්‍රකට කරවමින් අපට මෙසේ කියයි.

"ඔහුගේ (මේ නළුවාගේ) බලාපොරොත්තු සුන්වූ පෙනුම
(long Face) ව්‍යාජෝපායක්‌ නොවේ, එය ඔහුගේ උප විඥානයේ අවශ්‍යතාවක්‌ වශයෙන් ඉදිරිපත් වන්නකි. එහෙත්, ඔහු බලාපොරොත්තු සුන්වූවකුද නොවේ. මේ උදාර තවුස්‌ රූපය (Ascetic Figure) ඔබේ නාට්‍ය තුළ කුමක්‌ නිරූපණය කරනවාදැයි මම නොදනිමි. නමුත්, මා නිවැරදි නම් ඔහු මේ මුළු නාට්‍ය පුරාම එක වදනකුදු නොදොඩනවා ඇත. නැතහොත් ඔහු එසේ කරනුයේ ඉතාමත්ම, ඉතාමත්ම, සීමිතව විය හැකිය.

සිරියාවේ ජිහාඩ් සාද්, හැව්ලොක්‌ ටවුමේ ලුම්බිණි රඟහලට පැමිණ නාට්‍යය නොබලා, හුදු ඡායාරූපයක්‌ දෙස පමණක්‌ම බලා මේ නිවැරැදිව කියන්නේ "මෝරා" නාට්‍යයේ නිහඬ උස මිනිසාගේ චරිතය රඟපෑ එච්. ඒ. පෙරේරා ගැනය.

ඉතින්, එය එසේ නම් රූපණයට අදාළව මිනිස්‌ සිරුරේ පවතින්නේ කුමන උභතෝකෝටිකයක්‌ද මේ සිරුරට අරක්‌ගත් මනස, තම චිත්තවේගීය ඒකාග්‍රතාවේ සහායෙන් යුතුව සිදුකරන අව්‍යාජ ප්‍රකාශනය තව කෙනකු තුළ සහනුභූතියක්‌ ඇති කිරීමේ පුදුමය කුමක්‌ද? ප්‍රේක්‍ෂකයා කෙරෙන්වන මේ ඓශ්චර්යටත් අවබෝධයටත් අදාළ පළමු කොන්දේසිය නම් රූපණ ශිල්පියා සතු අව්‍යාජ බවම නොවේද, ඔහු අන්‍යයකුගේ වේශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටින්නකු නොවිය යුතු බවම නොවේද, තවත් කොන්දේසි තිබේ, එහෙත් මේ ඒවා කතාකරන වෙලාව නොවේ.

එච්. ඒ. අභාවප්‍රාප්ත විය.

දැන් දින කීපයට පෙර ඒ මා දුටු නිසල රූපයත්, එදා ජිහාඩ් සාද් දුටු එච්. ඒ. ගේ ආලේඛ්‍ය ඡායාරූපයත් අතර බරපතළ වෙනසක්‌ තිබේ. හුදු භෞතිකමය විග්‍රහයකට අනුව නම් මේ දෙකේහිම ජීවයක්‌ නැත. එහෙත් ඒ "මුලාවෙන්" ඉවත්ව නරඹන කල ඒ දෙකේ අහසට පොළොව මෙන් වෙනසක්‌ තිබේ. යම් චරිතාවේශයක්‌ කරනකොට, ඔහුගේ මානසික රසායනය
(Mental Chemistry) විසින් නිපදවනු ලැබූ ජීවයක්‌ එක්‌ ඡායාරූපයක තිබීම ඊට හේතුවය.

ඒ විස්‌කම මේ ලෝකයේ ඕනෑම නළුවකුට හෝ නිළියකට හෝ කළහැක්‌කක්‌ද නොවේ. එසේ කළ හැක්‌කෝ විරළයහ. අප රටේ නම් අති විරළයහ. පසුගිය ඉරිදා අපගෙන් සමුගත්තේ ඒ අතිවිරළ වර්ගයේ රංගන ශිල්පියාය.

හුදු ඡායාරූප කීපයකින් පමණකින්ම රංගන විශාරදයකුගේ මානසික රසායනය පුබුදු කළ එච්. ඒ. පෙරේරා නමැති සුවිශේෂ නාමරූපය අප රටේ ශ්‍රේෂ්ඨ නළුවන්ගේ නාමලේඛනයේ සටහන් කළ යුත්තකැයි මා පවසන්නේ හැඟීම්බරව නොවේ.

අප හැඟීම්බරවන්නේ ඔහුගේ ලෙන්ගතු මිත්‍ර සමාගම හමුවේය. අප හැඟීම්බර වන්නේ ඔහු සතුව පැවැති විශිෂ්ට මිනිස්‌කම් හමුවේය.

ඇත්ත වශයෙන්ම ඔහු මට ආදරණීය මිතුරකු හා ශ්‍රේෂ්ඨ නළුවකු පමණක්‌ නොවේ. මා අතිශයින් ප්‍රියකරන්නාවූද, එහෙත්, මේ රටේ තිබෙන "අන්ධකාරතම විෂයය" වූ සහ "නොසලකා හරිනු ලබන්නාවූ විෂයද වූ රූපණ කලාවේ, ශාස්‌ත්‍රීය අංගයන් රස කර කර කතා කරන්නට මට සිටි අතළොස්‌සක්‌ දෙනාගෙන් සුවිශේෂතම මිනිසාද ඔහුය.

"මෝරා" ඔත්තුකාරයා" යන නාට්‍ය ද්වයේදීත් වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ එක්‌ අංකයකදීත් මම ඔහු මෙහෙයවා ඇත්තෙමි. මට වඩා බෙහෙවින් ජ්‍යෙෂ්ඨයකු වූ ඔහු තමා මෙහෙයවන අධ්‍යක්‍ෂවරයා කෙතරම් කනිෂ්ඨයකු වුවත් ඔහු කෙරෙහි පුදන ගෞරවය අත්දැකීමෙන් විඳඇත්තෙමි. එහෙත් අතිශය විෂයානුබද්ධව කටයුතු කරන්නකු වන ඔහු අමතන භාෂාව අධ්‍යක්‍ෂවරයා දැන සිටිය යුතු විය.

ක්‍රමවේදීය රූපණය ලොවට හඳුන්වාදුන් ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන කොන්ස්‌ටන්ටීන් ස්‌ටැනිස්‌ලවුස්‌කි වරක්‌ ප්‍රකාශ කළේ

රූපණ ශිල්පියා ඥන ගවේෂණයක යෙදෙන්නකු වන අතරම හමුදා භටයකු සතු විනයකටද යටත්විය යුතු බවය. ස්‌ටැනිස්‌ලවුස්‌කි එච්. ඒ. දැක තිබුණා නම් තම පරමාදර්ශයට උදාහරණ දක්‌වන්නේ එච්. ඒ. පෙන්වා බවට මට සැකයක්‌ නැත.

මම එච්. ඒ. රඟපෑ බොහෝ නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය දැක ඇත්තෙමි. එහෙත් මා දුටු ඔහුගේ විශිෂ්ටතම චරිත නිරූපණය තිබෙන්නේ පරාක්‍රම නිරිඇල්ලද සමඟ එක්‌ව ඔහු නිර්මාණය කළ "ගැලිලියෝගේ ජීවිතය" නාට්‍යයේය. මම මේ නාට්‍යයේ උමතු රසිකයෙක්‌මි. ඒ කෙතරම්දයත් මගේ "අත්" නාට්‍යයේ පළමු දර්ශනය මා පිදුවේ ගැලීලියෝ නාට්‍යයටය.

මේ දැනුත් අපගේ විශ්වාසය නම් පරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කළ ශ්‍රේෂ්ඨතම නාට්‍යය "ගැලීලියෝ" නාට්‍ය වන අතර එච්. ඒ. පෙරේරා එහි "ගැලීලියෝ ගැලිලි" වශයෙන් ඉදිරිපත් කළ නිරූපණය මේ රටේ චරිත නිරූපණ කලාවේ අතිවිශිෂ්ට චරිත නිරූපණයන් අතළොස්‌ස අතර ඉදිරියෙන්ම තිබෙන්නක්‌ බවය.

සංගීතය හැදෑරීම සඳහා ලයනල් වෙන්ඩ්ට්‌ රංගශිල්ප ශාලිකාවට බැඳුණු එච්. ඒ. පෙරේරා නළුවකු බවට පත්කරන ලද්දේ ධම්ම ජාගොඩයන් විසින් බව කියෑවෙයි. චරිත විද්‍යාව පිළිබඳවත් ඕනෑම ආකාරයක නළු කලා ශිල්ප පිළිබඳවත් අප්‍රමාණ අවබෝධයකින් සිටි ධම්ම ජාගොඩ නෙතට එච්. ඒ. ලක්‌වීම පුදුමයට කරුණක්‌ නොවේ.

චරිතයක ඇතුළාන්ත ජීවිතය විදාරණය කරනු වෙනුවට තම රූපය ආභරණයක්‌ කොටගෙන විවිධ අනුකරණයන්ගෙන් එහි බාහිර රූපයම ඉදිරිපත් කරන රංගන සමාජයකට ප්‍රතිවිරුද්ධව ගිය ඔහු කැපී පෙනුණා පමණක්‌ නොව" පෙනී කැපුණාද" විය.

එහෙත් ඒ කිසිවකින් ඔහු කළකිරුණේ නැත. සතුටටත්, දුකටත්, සියල්ලටමත් ඔහු කළේ වැඩ කිරීමය. ප්‍රධාන නගරයේද ප්‍රත්‍යන්ත නගරවලද ඈත ගම් දනව්වලද ඔහු වැඩ කළේය. ඒ සියලු තැන්වලට තම නාට්‍ය වැඩපළ ව්‍යාප්ත කළේය.

එහෙත් සොබා දහම කාගේවත් අධික අවිවේකයට අනුකම්පාවක්‌ දක්‌වන්නේ නැත. ඒ විසින් ඔහුට විවේක ගන්නා ලෙසට බල කෙරිණි.

එච්. ඒ. ගේ කල්‍යාණ මිතුරකු වූ අමිත්ත වීරසිංහයන් මට කීවේ ඒත් ඔහු විවේක ගැනීමට මැලි වූ බවය.

මේ පසුගිය දිනෙක කළගුණ දත් ඔහුගේ සිසු සිසුවියන් මහත් පිරිසක්‌ එක්‌ව ඔහු ඇතුළු පරාක්‍රම නිරිඇල්ල, වසන්ත විට්‌ටච්චි, ඩගලස්‌ සිරිවර්ධන යන ගුරුවරුනට මහත් උපහාරයක්‌ පළ කළහ.

එහි මහිමය මට කීවෝ මහාචාර්ය සුනිල් ආරියරත්නයෝය.

උස මිනිසුන් නොහඬතියි මම සිතා සිටියෙමි. එහෙත් එදා ඔහු උතුරා ගිය සතුටින් ඉකි ගසමින් හැඬූ බව මට කීවේ ජයලාල් රෝහණයන්ය.

දැන් මම මෙතැන් පටන් මෙසේ සිතමි. සැබෑ, නිහඬ උස මිනිසුන්ද හඬති. හැබෑයි ඒ ජීවිතයේ එක්‌වරක්‌ පමණෙකි.

මම මේ සුවිශේෂ මිනිසාට, කලා කරුවාට, ශ්‍රේෂ්ඨ නළුවාට මගේ විශ් වාසය පරිදි නිවන් සුව ප්‍රාර්ථනා කරමි, එතුමන්ගේ විශ්වාසය පරිදි මොක්‌සුව ප්‍රාර්ථනා කරමි.
 

 
Powered By -