සංස්‌කරණය : නාරද නිශ්ශංක

ආදරණීය විජය

විජය කුමාරතුංගයන්ගේ 22 වැනි
ගුණ සමරුව නිමිත්තෙනි


ලාංකීය සිනමාවේ මෙන්ම ලාංකීය දේශපාලනයේ "විජය ලකුණ" විමසීම අපවෙත පැවරෙන වගකීමක්‌ වන්නේ 2010. 02.16 වන දිනට විජය කුමාරතුංගයන් මියගොස්‌ වසර 22 ක්‌ සපුරන නිසාම නොවේ. ඔහු විසින් ඔහු දුටු කලාව සහ දේශපාලනය අර්ථ ගන්වාගත් ඔහුගේ ම ශෛලීය අද වන විටත් දක්‌වන නව්‍ය භාවයද ඊට හේතු වන නිසාය. විජයගේ පෞද්ගලික දිවියත් සිනමා සහ දේශපාලන දිවියත් යන සියලු චරිතයන්, එකම මුහුණතක බැබලෙන ප්‍රිස්‌මාකාර පළිඟුවක්‌ සේ සමව දිදුලනා නිසාදෝ ඔහු දැරූ කලාව අවශේෂ චරිත ද්විත්වයෙන් මුදා වෙන්කරලීමද පහසු කාරියක්‌ නොවේ.

ප්‍රකාශිත ඉතිහාසයට අනුව කුමාරතුංගයන් පුවත් පතක වූ දැන්වීමක්‌ හරහා සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාවෙන් සිනමාවට පිවිස ඇත. එහෙත් ප්‍රථමයෙන් තිරගතවූයේ ඔහු රඟපෑ දෙවන චිත්‍රපටය වන ජී. ඩී. එල්. පෙරේරා ගේ රෝමියෝ ජුලියට්‌ ය. එදින දාතම 1969.12.21 වූ අතර එවිට විජයගේ වයස අවුරුදු 24 මාස 2 යි දවස්‌ 12 කි.

1969 දී හන්තානේ කතාවෙන් ඇරඹි විජයගේ සිනමා දිවිය අතිසාර්ථක වානිජ චිත්‍රපටය වන සුනිල් සෝම පීරිස්‌ ගේ මමයි රජා සහ හේමසිරි සෙල්ලප්පෙරුමගේ "නො-17" දක්‌වා ඔහු සිනමා අඹරෙහි බැබලුනේ එහි දෙවන සක්‌විති ලෙසය. එතෙක්‌ ගතවූ කාලය වසර 20 කි. 1968 දී මම විජය යෑයි සුගතපාල සෙනරත් යාපා ඉදිරියේ තමා ම හඳුන්වා ගත් විජයට 1988.02.16 වනදා කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය එම්. එන්. එල්. සල්ගාදු මහතා ඉදිරියේ තමා කවුරුන්දැයි හඳුන්වා දෙන්නට පණ කඳක්‌ හෝ හැඩ රුවක්‌ ඔහු සතු නොවීය. සාහසික වෙඩි පහර කුමාරතුංගයන්ගේ මුහුණ හඳුනා ගත නොහැකි පරිදි අමානුෂික ලෙස විකෘති කොට ප්‍රාණයද නිරුද්ධ කොට දමා තිබිණි.

1947 ජනවාරියේදී කඩවුණු පොරොන්දුවෙන් ගමන් අරඹා 1956 රේඛාව හරහා සිය ඉන්දීය සළු උනා ලූ සිංහල සිනමාවේ රෙඩිමේඩ් ආකෘතිය වූ කොල්ලා කෙල්ල දුෂ්ඨයා සහ ජෝකර් යන සිව් ඈඳුතු වට්‌ටෝරුව මත ලාංකීය සිනමාවේ පෙම්වතාගේ චරිතය හි ප්‍රබල ප්‍රතිරූපයක්‌ තනා ගනිමින් ඊට තම දැඩි රූපකාය මුසුකළ අසහාය නළු ගාමිණී ෆොන්සේකාගෙන් ඔබ්බෙහි වූ ආදරණීය ස්‌වරයක්‌ පෙම්වතා වෙත මුසු කිරීමේ කාරියට දෙවන පුරුක ලෙසින් කරගැසුවේ විජය කුමාරතුංගයන්ය. එම්. ජී. ආර්. ශිවාජි ගනේෂන් රාඡ් කපූර් වැනි කලාපීය සිනමා වීර පෙම්වතුන් විසින් පතිත කළ පීඩනයට නතුවූ ගාමිණී ෆොන්සේකාගේ භූමිකාවෙන් පසු විජය කුමාරතුංගයන් එසේ හසු කරනු ලැබුවේ රාඡේෂ් ඛන්නා, රන්ධීර් කපූර් අම්තාබ් බච්චන් වැන්නන් විසින් ඊට සමගාමීව මුදාහල දෙවන පරපුරේ පීඩනයටය. ලාංකීය සිනමාවේ සාම්ප්‍රදායික පෙම්වතා එබඳු කලාපීය ප්‍රවනතා තුළ ලඝූවෙද්දී දේශීය චිත්‍රපට අධ්‍යක්‌ෂවරුන් ගෙන් අතළොස්‌සක්‌ රැඳී හුන්නේ කලාපීය සිනමාවේ සම්භාව්‍ය පාර්ශ්වය නියෝජනය කළ ඉන්දියාවේ සත්‍යජිත්රායි වැන්නවුන් හඳුන්වා දුන් යථාර්ථවාදී රීතියේ ඉලක්‌කය අල්ලාගෙනය.

ඊට අනුව සිංහල සිනමාවේ විජය ලකුණෙහි එක්‌ පරිච්ඡේදයක පුරෝගාමීයා වන්නේ ධර්මසේන පතිරාජය. ඔහුගේ අහස්‌ගව්ව (74.1.24) හැත්තෑ එකේ දේශපාලන පොළාපැන්නීම තිරයේ නිරූපිත ප්‍රථම සිනමා වෑයම විය. එම ප්‍රවනතාව විජය සමග තවත් දුර රැගෙන ගිය පතිරාජ, පාරදිගේ, බඹරු ඇවිත් හරහා සරු සිනමාවක මුල් අල්ලන්නට විජය ට පස සැකසුවේය. 1976 දී වල්මත්වූවෝ හරහා එම ප්‍රවණතාව තවත් ඉදිරියට ඇද දුන් වසන්ත ඔබේසේකර විජය රඟපෑ අවසන් සම්භාව්‍ය චිත්‍රපටය ලෙස සැලකෙන කැඩපතක ඡායා තිරගත වන සමය වන විට සම්භාව්‍ය සිනමාකරුවන් සියල්ලක්‌ම පාහේ විජය ගෙන් හුදු මල්වත්තේ පෙම්වතා ගෙන් බැහැරව හරවත් යමක්‌ හෙළ සිනමා අරටුවට කා වද්දා තිබිණි.

ඒ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ බැද්දේගම, අහසින් පොළවට, පතිරාජ ගේ එයා දැන් ලොකු ළමයෙක්‌, ටයිටස්‌ තොටවත්තගේ මරුවා සමග වාසේ, සුනිල් ආරියරත්න ගේ පොඩි මල්ලී, තිස්‌ස අබේසේකරගේ මහගෙදර, සුමිත්‍රා පීරිස්‌ ගේ ගඟඅද්දර, ධර්මසිරි ගමගේ ගේ යස ඉසුරු, ගාමිණී ෆොන්සේකාගේ සක්‌විති සුවය ආදිය ද විය.

හරවත් සිනමාවක සලකුණු විජය වටා එසේ සනිටුහන් වන අතරේම වාණිජ චිත්‍රපටකරුවෝ ද විජය වටා රොක්‌ වී සිටියහ. එහි පුරෝගාමී අධ්‍යක්‌ෂවරයා යසපාලිත නානායක්‌කාරය. සිංහල සිනමාවේ පෙම්වතාට නව අර්ථකථනයක්‌ සපයමින් 1973.3.9 තිරගතවීම ඇරඹූ තුෂාරා තුළින් ඔහු කළ පරිවර්තනය විජයගේ භූමිකාවට පමණක්‌ නොව සමස්‌ත වානිජ සිනමාවේම මුහුණුවරට යම් බලපෑමක්‌ කළ බව පෙනේ. යසපාලිතට පසුව විවිධ අධ්‍යක්‌ෂකවරුන් අතින් එම පීල්ලේම බොහෝ දුරක්‌ ඇදී ගිය වාණිජ සිංහල චිත්‍රපට කර්මාන්තයේ විජය මුද්‍රdව තහවුරු කළ අවසන් අධ්‍යක්‌ෂකවරයා වූයේ හේමසිරි සෙල්ලප්පෙරුමය. ඔහුගේ නොම්බර 17 චිත්‍රපටය 1989 ජුලි 21 තිරගත වන විටත් කුමාරතුංග ඝාතනයේ කම්පනය රසික හදවත් තුළින් බැහැර වී නොතිබිණි.

විජය රඟපෑ වානිජ චිත්‍රපට සඳහා අධ්‍යක්‌ෂණයෙන් දායක වූවන් අතර ලෙනින් මොරායස්‌, නීල් රූපසිංහ, තිමති වීරරත්න, හේමසිරි සෙල්ලප්පෙරුම, කේ. ඒ. ඩබ්. පෙරේරා, රෝයිද සිල්වා, යසපාලිත නානායක්‌කාර සහ සුනිල් සෝම පීරිස්‌ කැපී පෙනෙන්නන් වූහ.

තුෂාරා සමග රඟපෑ පෙම් චරිතය හරහා විජය මාලනී යුගයක්‌ නිර්මාණය වූ අතර සෙනරත් යාපාගේ පෙම්බර මධු ගෙන් පසුව විජය ගීතා යුගයක්‌ නිර්මාණය විය. ස්‌වර්ණා මල්ලවාරච්චි සමග හන්තානේ කතාවෙන් පෙම්වතා වූ ඔහු මාලනී ගීතා සබීතා නදීකා අනෝජා සමගද පෙම්වතා වී රෝසි සේනානායක දක්‌වාම තිරයේ ප්‍රේම කිරුළ පැළඳුවේය. එලෙස පරම්පරා තුනක නිළියන් සමග තිරයේ පෙම්වතා වීමේ භාග්‍ය ලත් විජය, සුනිල් ආරියරත්න ගේ ක්‍රිස්‌තු චරිතය තම සිනමා ගමනේ අග්‍රඵලය ලෙස සැලකුවේය.

එක්‌ අවස්‌ථාවක දේශපාලනය නිසා සිරගත වී සිටි විජය සිය පුතුට ලියූ සංවේදී ලිපියක තමා එහිදී පත්ව සිටි අවදානම ගැන ද වක්‍රව සඳහන් කොට තිබිණි. ඔහු සිර ගෙයින් නිදහස්‌ වන්නේ 1983 ජනවාරි 18 වනදාය.

උතුරේ ජනවාර්ගික ගැටලුව සාකච්ඡාවෙන් විසඳිය යුතු බවටද ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එබැවින් දෝ මදුරාසියේ සිට ක්‍රියාත්මක සන්නද්ධ කණ්‌ඩායම් ඔවුන් හා සාකච්ඡාවට විජයට ඇරියුම් කළේය. ඒ අනුව ශ්‍රී.ල.ම.ප.යේ උප සභාපතිවරුන් වන චන්ද්‍රිකා සහ ඔසී සමඟ 1986 ජුනි 20 වනදා විජය මදුරාසිය බලා පිටත්වූහ.

එල්. ටී. ටී. ඊ. ප්ලොට්‌ සහ ඊ. පී. ආර්. එල්. එෆ්. කණ්‌ඩායම් සමඟ එහිදී ඔවුහු සාකච්ඡා කළහ. 1986 ඔක්‌. 22 සිදුවූ විජයගේ යාපන සංචාරය සිදුවන්නේ ඉන් පසුවය. ඔහු එදින යාපනයේ නල්ලූර් කෝවිල අසල පැවැත්වූ රැස්‌වීමට ද්‍රවිඩ ජනයා හත් දහසක්‌ පමණ සහභාගි වූහ. එය සිංහල දේශපාලනඥයකු විසින් උතුරේ යාපන අර්ධද්වීපයේ එතෙක්‌ පැවැත්වූ අවසන් දේශපාලන රැස්‌වීම වශයෙන් වසර 2009 ට එපිට ඉතිහාසයේ ලියෑවී තිබේ. 1987 ජූලි 27 දා අත්සන් තැබුණු ඉන්දු - ලංකා ගිවිසුමට සහාය පළ කළ විජය පූර්ණ පරිමාණ ඉන්දියානු ආක්‍රමණයකින් වැළකීමට ඉන්දියානු හමුදා ලංකාවට රැගෙන ඒම ජාතික යහපතට විරුද්ධ නොවන බව පැවසූ නමුදු උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ යෝජනාවට විරුද්ධ විය.

ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ ජාතික සංවිධායකවරයා වූ විජය, ඝාතනය වුයේ 1988.02.16 දාය.

1988.02.16 වනදා මධ්‍යහ්න 12.15 ට පමණ මරන මංචකය අවස්‌ථාවේ දී විජය අත වූයේ දරුවකුගේ චිත්‍ර අඳින පොතකි. එම මොහොතේම හෙල්මට්‌ පැඳ නොසිටි තරුණයන් දෙදෙනකු මෝටර් සයිකලයක නැගී ආවේ පොල්හේන්ගොඩ දෙසිනි.

"මගේ මුහුණ දිහා බලාගෙන කව්රුවත් මට වෙඩි තියන එකක්‌ නෑ" යෑයි විජය තම මිතුරන් ඉදිරියේ පළකොට තිබූ විශ්වාසයද කුරිරු ඝාතකයා විසින් සිය දබර ඇඟිල්ලෙන් ගැස්‌සූ කොකා හරහා, උණු ලේ දහරා මැද කීතු, කීතු කුඩු පට්‌ටම් කළේය.

ඝාතනය වීමට පෙර, අවසන් වතාවට විජය ටවර් හෝල් රඟහලට පැමිණියේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගුණ සමරු උළෙලකට වීම ද දෛවෝපගත සිදුවීමකි. ඒ 1988.02.14 වන ඉරු දින සැඳෑවෙහිදීය.

එහිදී වේදනාබර හඬින් සභාව ඇමතූ ඔහු පවසා සිටියේ "මගේ රූපයට මගේ රංගනයට ගැලපෙන හඬින් මට පසුබිම් ගී ගයන්නට ජෝතිපාල ගායකයානන්ටම මිසක්‌ම මේ මට වත් බැරිවුණා යනුවෙනි. ඒ ඔහුගේ අවසන් මහජන ඇමතීම විය.

හිරු අවරට ගොස්‌ තිබිණි. 1988 පෙබරවාරි 16 දින සවස හයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය දිග හැරුනි "ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ජාතික සංවිධායක විජය කුමාරතුංග මහතා සාහසික වෙඩි පහරින් මරු මුවට පත්විය. අද දහවල් 12.15 ට පමණ මෙය සිදුවූයේ..."

එතැන් පටන් අපි බොහෝ දෑ ශ්‍රවණය කළෙමු. දෑසින් දුටුවෙමු. අත්වින්දෙමු. විජය නැවත නැවතත් අප අතරම ඉපදේවාය යන්න අද දක්‌වාම මේ රටේ සියලු රසිකයන්ගේ පොදු ප්‍රාර්ථනාව බවට පත්වී තිබෙන්නේ ඒ නිසා ය.

රන්ජන් ගාමිණී ජයවර්ධන

 
Powered By -