බෞද්ධ භික්‍ෂුව හොඳ වැඩිවීමේ ඵල විපාක

තම පන්සල දේශපාලනඥයන්ට තහනම් තැනක්‌ කිරීමට සිත් වී ඇතැයි මල්වතු මහා විහාරයේ නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ සඳහන් කර තිබේ.

උන්වහන්සේ එසේ සඳහන් කර ඇත්තේ දේශපාලන නිමිත්තක්‌ මත ය. තමන් කියන දේ පාලකයන් නො අසන බැවින් පෙර කී තීන්දුව ගැනීමට සිත් වී යෑයි උන්වහන්සේ තවදුරටත් පවසා ඇත.

මල්වත්තේ මහ නායක හාමුදුරුවන් එසේ කල්පනා කිරීම සියයට සියයක්‌ නිවැරැදි ය. 1977 න් පසු මේ රටේ දේශපාලනඥයන් මල්වතු හා අස්‌ගිරි විහාරවලට යැම ක්‍රමයෙන් ඉහළ ගියේ ය. මේ වන විට එහි යන දේශපාලනඥයන් ගණන බැතිමතුන්ට වඩා වැඩි ය. කාණු කටක ඡන්ද කොළ තිබුණත් ඒවා ඔසවාගත් දේශපාලනඥයෝ එහි යති. ජෙනරාල් අත්අඩංගුවට ගත් විට ද එම මැතිනිය එහි යයි. ආණ්‌ඩුව ඡන්දයෙන් දිනූ විට ඡන්දය හොරට දිනු බව කීම සඳහා විපක්‍ෂය එහි යයි. එය එසේ නොවන බව කීමට එවිට ආණ්‌ඩුව එහි යයි. මෙය මේ රටේ ප්‍රධාන විහාරස්‌ථානවලට මහත් කන්දොස්‌කිරියාවකි. කුණු කාණුවක තිබී අහුලාගත් බව කියමින් ඡන්ද පත්‍රිකා තොගයක්‌ රැගෙන එ. ජා. ප.යේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මැතිතුමා මල්වතු විහාරයට ගිය ගමනෙන් නායක හාමුදුරුවන් වහන්සේ ඉමහත් අපහසුතාවකට පත් වන්නට ඇත. ඡන්ද පත්‍රිකා තොගයක්‌ කුණු කාණුවක තිබූ බව පමණක්‌ කීවාම මදි ද? මීළඟ දවසේ තවත් දේශපාලනඥයකු ගඳ ගසන මෘත ශරීරයක්‌ රැගෙන මේ විහාරස්‌ථානවලට යැමට ඉඩ තිබේ. මෙය ආදර්ශයක්‌ කර ගන්නා මස්‌ මුදලාලි කෙනෙකු තම හොර හරක්‌ ලොරිය පොලිසියෙන් ඇල්ලූ විට මල්වත්තට හෝ අස්‌ගිරියට දිව යන්නට ඉඩ තිබේ.

අපගේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අප ඉමහත් ගෞරවයෙන් පවසා සිටින්නේ මෙයයිá මේ රටේ විහාරස්‌ථානය ඕනෑම හොරකුට ආගිය හැකි තැනක්‌ වන තුරු අපගේ ගරුතර හාමුදුරුවන් වහන්සේලා නිකරුනේ බලා සිටියහ. සාමාන්‍යයෙන් රජ දවසේ සිට මල්වතු අස්‌ගිරි විහාරවලට ආ ගිය දේශපාලනඥයා රාජ්‍ය නායකයා පමණි. 1948 න් පසු මේ රට ක්‍රමයෙන් මහා බ්‍රිතාන්‍යයෙන් ණයට ගත් දේශපාලන සම්ප්‍රදායට ඇබ්බැහි වීමත් සමඟම ක්‍රමයෙන් දේශපාලනඥයෝ පන්සල්වලට කාන්දු වීමට පටන් ගත්හ. ඔවුන්ට මුදල් වියදම් කරන හරක්‌ හොරු ද, කසිප්පු මුදලාලිලා ද ඔවුන් පසුපස විත් පන්සල්වල දායක සභාවලට රිංගා ගත්හ. මෙය ඒ අය තමන්ගේ අත්වල තැවරී ඇති රුධිරය සහ කුණු මඩ සෝදා ගැනීම සඳහා ගත් උත්සාහයකි. එය සාර්ථක වූ උත්සාහයකි. කසිප්පු මුදලාලි පන්සලේ දායක සභාවෙන් එළියට ආවේ සත්ගුණවත් උපාසක හා සමාජ සේවක මුදලාලි මහතා ලෙස ය. මේ නීචයන් වෙතින් පන්සලට මුදල් ද ලැබෙන නිසා ඇතැම් හාමුදුරුවරු නො කැමැත්තෙන් වුව ද උන්ට ඉඩ දී නිහඬ වූහ.

පන්සලට කුණු කාන්දු වීම යනු සිංහල බෞද්ධ අධ්‍යාත්මයට ද කුණු කාන්දු වීමකි. කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටකි. ඒ අතර අන්‍යාගමිකයන්ට හිමි ගෞරවය හැමදාමත් මේ රටේ තිබිණි. මේ රටේ රාජ්‍ය නායකයා සිංහල රජ කාලයේ පටන් අද දක්‌වාත් බෞද්ධයකු වන්නේ ඒ නිසා ය. රටේ නායකත්වයට පැමිණීමට ඇති වුවමනාව නිසා කල්තියාම ආගම මාරු කර ගත් දේශපාලනඥයෝද අප අතර සිටිති. මේ රටේ යහ පාලනය සහ බෞද්ධ විහාරස්‌ථානය අතර හැමදාමත් සම්බන්ධයක්‌ විය. මේ රටේ විහාරස්‌ථානවලට යනෙන නුසුදුස්‌සන් පළවා හැරීමට තවමත් කාලය ඉතිරිව තිබේ. අපේ හාමුදුරුවරුන් ඉවසනවා වැඩි බව පෙනේ. බෞද්ධ කොමිෂන් සභා වාර්තාවට හිමි තැන ඉතිහාසයේ කුණු බක්‌කිය බව මංගල සමරවීර මහතා මීට කලකට පෙර පැවැසීය. අවසානයේදී ඉතිහාසයේ කුණු බක්‌කියට වැටුණේ එතුමා ය. එතුමා ඇද වැටුණා පමණක්‌ නොව තමන් සමඟ සිටි සියලු දෙනා ද ඒ තුළට ඇද දැමීය.

අදට ඔය මදැ.....!

 
Powered By -