ත්‍රිකුණාමලය නූලෙන් බේරුණා

මහාචාර්ය පී ආරියසේන ද සිල්වා

ශ්‍රී ලංකාවේ මැතිවරණ ජනාධිපතිවරණ පැවැත්වූ මුල් අවස්‌ථාව 2010 ජනවාරි 26 නොවේ. අප රටෙහි සර්ව ජන ඡන්ද බලය තිබුණේ එංගලන්තයට පෙරය. එමෙන්ම මහා සම්මත යන වචනයද අප බසට රටට පමණක්‌ ආවේනික වචනයක්‌ විය. රජ කමට කුමරෙකු නැතිවූ විට මඟුල් ඇතා සරසා ඔටුන්නට සුදුසු කෙනෙක්‌ සොයා ගත් බව ජන කතාවල ඇත. නමුත් මෙවර අප ඡන්දවලට වසර ගණනක්‌ සිටී අලියාද නොසිටියේය. ඇමෙරිකන් පුරවැසිභාවය ලබා ඇති හෝ ලැබීමට ඉඩ ප්‍රස්‌ථා ලබා ඇති කිසිම දේශපාලන අත් දැකීමක්‌ නොමැති කිසිම දිනක පරාජය කුමක්‌දැයි නොදැන සිටි විශ්‍රාමික ජනරාල්වරයකු ඉදිරිපත් කළේ කාගේ උවමනාවක්‌ සපිරීමටදැයි දැන් කවුරුත් මධ්‍යස්‌ථව සිතා බැලිය යුතුය.

දේශපාලනය යනු ජය පරාජය ඇතිවන වෘත්තියකි. යුද්ධය එසේ නොව ජයම ලැබිය යුතුය. නැතිනම් තමා නසී පැරදුනහොත් කුමක්‌ කරන්නේද ඇසූ ප්‍රශ්නයට පොන්සේකා මහතා දුන් පිළිතුරෙන්ම ඔහුගේ මානසිකත්වය මනා ලෙස පිළිඹිබු වේ. දේශපාලනයේදී පැරදුන විට. පරාජය පිළිගෙන අතට අත දී ශුභ පතා ගෙදර යැම සාමාන්‍ය ක්‍රමයකි. මුළු ලෝකයම හිට්‌ලර්ගේ නාසි වාදයෙන් ගලවා ගත් වින්ස්‌ටන් චර්චිල් අගමැති, අපි එදා අසාවත් නැති ඇට්‌ලිට පරාජය වුණි. එතුමා ඔහුට ශුභ පතා ගෙදර ගොස්‌ පොත් පත් කියවීමටත් ලිවීමටත් එම කාලය යොදා ගති.

නමුත් ජනරාල් තුමා කීවේ එක්‌කෝ යටත් වනවා නැතිනම් අන්තිම දක්‌වා සටන් කරනවා යන්නයි. එය යුද පිටියේ නීතියයි. දේශපාලනයේදී පැරදීම යටත් වීමක්‌ නොවන බව එතුමාට යමෙක්‌ කියා දුන්නා නම් යෙහෙකි. දේශපාලනය කඹ ඇදීමක්‌ පමණි. එහෙත් කඹ ඇදීමෙන් දිනන අය අනික්‌ අයට නිග්‍රහ කරන්නේ නැත. ඉස්‌සර ගම්වල ජල්ලි සෙල්ලම කියා එකක්‌ විය. එයින් පැරදුන අයට තරමක්‌ නොගරු ස්‌වරූපයේ පරාජයක්‌ විඳින්නට එදා වුණි. එය හුදෙක්‌ විනෝදයට මිස පහත් සේ සලකන ක්‍රියාවක්‌ නොවීය.

ඩලස්‌ අලහපෙරුම ඇමැති තුමා හිටපු ජනරාල්තුමා පරාජයට පසු කී දේ දැක පැවසුවේ අපි ඔහුට අනුකම්පා කළ යුතු බවයි. සරත් පොන්සේකා මහතා ගැන මවිසින් මුලින්ම පුවත් පතකට ලිපියක්‌ ලීවේ එතුමාට මරාගෙන මැරෙන කොටි දෙනක්‌ විසින් කළ ප්‍රහාරය ගැන සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවාව කළ නින්දිත කියමනට විරුද්ධත්වය පෑමටයි. මම ඉරිදා ඔබ්සර්වර් පතට ලීවේ "සී. එන්. එන්. ලේඛකයනි හරියටම ඉංගිරිසි ලියන්න ඉගෙන ගන්න. එදා ඔවුන් ප්‍රකාශ කළේ මිණීමරු කොටිදෙන වීරත්වයේ තබායි. අපේ ජනරාල් තුමා ඝාතනය කිරීමට තැත්කිරීම වැරදි දෙයක්‌ සේ එදා ඔවුන් අදහස්‌ පළ නොකළෝය.

එවන් පුද්ගලයෙකුට දේශපාලන දැලිපිහිය ලබාදී. ඔහුත් විනාශ කොට රටත් විනාශ කිරීම ඇමෙරිකන් ප්‍රයත්නය වූ බව තාමත් වටහා ගන්ට බැරි අය අප රට තුළ සිටීම ඉතාමත් කනගාටුදායක දෙයකි. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පරාජය වුණි. එතුමා කිසි වරදක්‌ කළ කෙනෙක්‌ නොවීය. ඇත්ත එලෙසම කීම තමයි එකම වරද පසුව තමා දේශපාලනයෙන් ඉවත් කළ රටට තමා සතු සියලු දේපල පවරා දී රටට මහත් ආඩම්බරයක්‌ සේ අද පවතින ශ්‍රීමත් කොතලාවල ආරක්‍ෂක ඇකඩමිය අපට හිමි කළේ එතුමාය. සිරිමා බණ්‌ඩාරනායක මැතිණිය, ඩඩ්ලි සේනානායක මහතා, ඡේ. ආර්. ජයවර්ධන මහතා, කොල්වින් ආර් ද සිල්වා මහතා, පිලිප් ගුණවර්ධන මහතා, ගාල්ලේ එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා සහ දහනායක මහතා ආදී කෙළවරක්‌ නැති ලැයිස්‌තුවක්‌ අපේ පැරදුන දේශපාලකයන් අතර ඇත. ඔවුන් සැවොම පන්නරය ලැබුවේ පැරදුන පසුවය.

සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කොට 49% ක්‌ වත් ලැබුණානම් රටෙහි ඇතිවන්නට තිබූ තත්ත්වය දැන් සලකා බලමු. එතුමා ජනපතිගේ ලක්‍ෂ 18 ක ජයග්‍රහණය හෑල්ලුවට පත් කිරීමෙන් ප්‍රධාන වැරදි කිහිපයක්‌ කළේය. පළමුවැන්න නම් මේ රටේ සියලුම රාජ්‍ය සේවකයන් තක්‌කඩියන් හෝ ගැත්තන් බව හැඟවීමය. අපේ රජයේ සේවය අපි සලකන්නේ ඉතාමත් අපක්‍ෂපාතී දක්‍ෂ නිලදරුවන් පිරිසක්‌ ලෙසටයි. එසේ නොවුනානම් මේ රටේ ඡන්දයෙන් ආණ්‌ඩු වෙනස්‌ වීම කිහිපවරක්‌ම සිදුවුණේ කෙලෙසද? ජනතාවට කෙතරම් මෙහෙවර කළ අයද, ඩඩ්ලි සහ මැතිණිය නමුත් ඔවුන්ද පරාජය වුණි. දෙවැන්න දේශපාලන පක්‍ෂවලින් ඡන්දය සඳහා ඡන්ද පොළේ සිට ගණන් කරන තෙක්‌ යොදවා ඇති තමන්ගේම පක්‍ෂයේ අයවලුන් අකාර්යක්‍ෂම පුද්ගලයන් බව ජනරාල්තුමා පිළිගැනීමයි. කිසිම දිනක ඡන්ද මධ්‍යස්‌ථානයට එතුමා නොගියා විය හැකිය.

ඡන්ද පත්‍රිකාව තම අතට ලැබෙන්නේ පෝලිමේ උන් පලියට යෑයි එතුමා සිතනවා ඇත. තමන්ගේ නිල පත්‍රිකාව තමා ළඟ තිබිය යුතුය. එය නැත්නම් තමාගේ සම්පූර්ණ නම කාටත් ඇසෙන සේ ප්‍රකාශ කළ යුතුය. පෝලිං ඒජන්ට්‌ලා කී දෙනෙක්‌ මෙය අසාගෙන ඉන්නවා යන්න එතුමා නොදන්නවා ඇත. කිසිම පෝලිං ඒජන්ට්‌ කෙනෙක්‌ විරුද්ධත්වය ප්‍රකාශ කළහොත් ඡන්ද පත්‍රිකාව නොලැබේ. එවිට ප්‍රධාන නිලධාරි තැන මැදිහත්වෙයි. ඔහුට සාධාරණ හේතු පෙන්වුවහොත් ඡන්ද පත්‍රිකාවක්‌ ලබාදෙයි. නමුත් මේ තැනැත්තා වංචා කාරයෙක්‌ යෑයි ඔප්පු වුවහොත් අත්අඩංගුවට ගැනීමට ද පොලිස්‌ නිලධාරීන් ක්‍රියා කරයි. "මම ආවේ අපේ ජනපතිට ඡන්දය දැමීමට යෑයි" කියා තමා කළ වැරැද්දෙන් බේරීමට නොහැක.

මෙවැනි තත්ත්ව සමහර විට ඇතිවනවා අපි දැක ඇත. සමහර විට යම් හේතුවකින් ලේඛනයේ නම නැතිවීමටද ඉඩ ඇත. තමා වෙන පළාතකට පදිංචියට ගිය පසු පැරණි සහ අලුත් ලේඛන දෙකේම තම නම පලනොවීමටත් ඉඩ ඇත. මේවා හොර ඡන්ද කියා විග්‍රහ කළ නොහැක. මෙයින් පෙනී යන්නේ මෙ රටෙහි හොර ඡන්ද සෙල්ලම 10,000 කින් එකක්‌වත් වීමට නොහැකි බවය. මෙවර හැඳුනුම් පත් අනිවාර්ය කළ බැවින් එම සංඛ්‍යාව ඊටත් වඩා අඩුයෑයි අපට සිතා ගත හැක.

කරුණු මෙසේ නම් මේ පශ්චාත් මැතිවරණ කළබැගෑනිය කුමක්‌ද? පරාජය කිසිදා නොදුටු සෙන්පතියෙක්‌ විනාශ මුඛයට ගෙන ගොස්‌ ඔහුගේ මිතුරන්ගෙන් ඔහු ඉවත් කොට බළලුන් ලවා කොස්‌ ඇට බෑවීමේ මහා කුමන්ත්‍ර්‍රණයක්‌ මේ පසු පස ඇත. දැන් අපි කරුණු සහිතව මේ ගැන සලකා බලමු.

ත්‍රිකුණාමලයට ඇමෙරිකානුවන් ඇස යොමු කළ ඇත්තේ අපි නිදහස ලැබීමත් සමග විය හැක. ගල්ඔය සංවර්ධන මණ්‌ඩලයේ වැඩ සඳහා පැමිණියේ ඇමෙරිකානු මොරිසන් නුඩ්සන් සමාගමයි. නමුත් එදා ලෝක දේශපාලනය අද මෙන් සංකීර්ණ නොවීය.

1893 හවායි දූපත් ස්‌වාධීන රාජ්‍යයක්‌ විය. එහි නායිකාව ලිලුවෝකලනි නම් රැජිනක්‌ විය. කිසිදු අවසරයකින් තොරව එම දූපත් වල අන්නාසි වගා කොට ඇමෙරිකානුවන් ඉමහත් ධනස්‌කන්ද සොයා ගති. ටික කලකට පසු බොස්‌ටන් නමැති යුද නැව වරායට සේන්දුවිය. එම නැවියන් විසින් රැජිනට විරුද්ධව කැරැල්ලක්‌ මෙහෙයවා ඇය පලවා හැරියේය. නමුත් එකල ඇමෙරිකාවේ සිටි ඩිමොක්‍රටිස්‌ පක්‍ෂයේ ජනපති ග්‍රෝචර් එම දූපත් ඈඳා ගැනීමට විරුද්ධ විය. තවත් කලක්‌ පසුවිය. මෙම ජනපති පහකොට රිපබ්ලිකන් පක්‍ෂයේ මැකින්ලි පත්වූවිට වැඩි කලබලයක්‌ නොමැතිවම හවායි දූපත් ඇමෙරිකන් ජනපදයට ඈඳා ගැනුනි. ලිලුවෝකලනී රැජිනට කුමක්‌ වූවාදැයි ඉතිහාසය පොතේ සඳහන් වී නැත. ඇය ක්‍රිස්‌තියානි නොවන නිසා මරා දැමුවා විය හැක. එවැන්නක්‌ මරාදැමීම පාපයක්‌ නොවන බව ඔවුන්ගේ සමහර පොත්වල සඳහන් වන අවස්‌ථා තිබේ.

මේ ඇමෙරිකාව කළ සිද්ධියක්‌ පමණි. දැන් තවත් උදාහරණයක්‌ දෙස බලමු. 19 වෙනි සියවසේ මුල් භාගයේදී ඇමෙරිකාවට පැනමා ඇළ ලබා ගැනීමට වුවමනා විය. පැවති රාජ්‍යය එයට අකමැති වුණි. විසඳුම වූයේ කොලොම්බියන් රාජ්‍යයට විරුද්ධව මහා කැරැල්ලක්‌ එම ප්‍රදේශයේ ඇමෙරිකන් ගැත්තන් ලවා ඇති කිරීමයි. කැරලි කාරයන් වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශ කළ පසු ඇමෙරිකාව එම රජය පිළිගනී. පසුව ඔවුන්ගෙන් පැනමා ඇළ මිලදී ගැනීම ඇමෙරිකාව කළේය.

පිලිපීන දූපත්, පූට රිකෝ කියුබා දූපත් ආදියද මේ ආකාරයෙන් අත්පත් කරගන්නා ලදී. දැන් මහා කරදරයකට මුහුණ පා සිටින හයිට්‌ දිවයිනද කලකදී අත්පත් කරගෙන තිබිණි. අදත් එම දිවයින තුළ තම ආධිපත්‍ය තබාගැනීමට ඔවුන් ක්‍රියා කරයි. ඇලස්‌කාව පවා මුල් අයිතිකරුවන් වූයේ රුසියාවයි. මුදල් ගෙවා ගෙයක්‌ ගන්නා ආකාරයට ඇලස්‌කාවද මිලදීගෙන ඇත.

එදා එම රටවල ඇමෙරිකන් ගැත්තන් සුළු පිරිසක්‌ සිටි නිසාම එම රටවල කරදර ඇතිකොට තමන් යටතට ගැනීමට ඇමෙරිකානුවන්ට ඉඩ ලැබිණි. මේ සඳහා ඔවුන් උපයෝගී කරගන්නේ ඔවුන්ගේ හිටපු ජනපතිවරයෙකු වූ මොන්රෝගේ ප්‍රතිපත්තියයි. එනම් ඕණෑම රටක යහපාලනයක්‌ (ඔවුන්ට ගැති නැති) නැත්නම් එම රට පාලනය කිරීමට හෝ තමන්ට නතුකර ගැනීමට ඇති අයිතියයි. කෙළින්ම නොකීවාට ඉරාකයේ සිදුකළේද මෙයයි. අද ඇෆ්ගනිස්‌ථානයේද කරන්නේ එයයි. මෑතකදී එංගලන්තයද මෙවැනි ලෝකයේ පොලිස්‌කාරයා වීමටද හැකි පණත් කිහිපයක්‌ ගැන සිත යොමු කළේය.

මේ දිනවල තායිවානය සහ චීනය කොටවා තමන්ට විශාල ලාභ ඇතිව නිෂ්පාදනය කළ හැකි එකම භාණ්‌ඩය වන විනාශකාරී අවි වෙළෙඳාම පටන් ගැනීමට සැරසෙයි. මහින්ද වැනි ජනපතිවරුන් ආසියාවේ සිටීම මේ වැඩපිළිවෙළට කරදරයක්‌ විය හැකියෑයි ඔවුනට සිතෙනවා ඇත. ඉන්දු පකිස්‌තාන් යුද්ධයට සිරිමා බණ්‌ඩාරනායක මැතිණිය මැදිහත්වූ සේම, චීන තායිවාන් අර්බුදයක්‌ ඇති වුවහොත් ඉන්දියාවත්, අපේ සඟරුවන සහ ජනපතිත් ප්‍රධාන සාධකයක්‌ වීමට ඉඩ ඇත. මේවා ඇමෙරිකාවට නුරුස්‌සයි. ඔවුන්ට ඕනෑ කරන්නේ කිමිහුමක්‌ ගියත් ඇමෙරිකාවට දුවගෙන යන අයයි.

ඉහත සඳහන් හවායි සහ පැනමා ඇළ පිළිබඳ ඉතා හොඳට විස්‌තර "ස්‌ටෝරි ඔෆ් ද වර්ල්ඩ්" නොහොත් ලෝකයේ කතාව යනුවෙන් ජෝන් වෑන් ඩුයන් සවුත්වර්ත් ලියූ පොතේ සඳහන් වේ. අපි කවුරුත් පක්‍ෂ භේද දුරලා මෙය වටහා නොගෙන ගැත්තන් කිහිප දෙනෙකුගේ උවමනාව නිසාම විශ්‍රාමික ජනරාල්වරයා යොදා ගතී. ඔහුද මෙහි බැරෑරුම් කම, දැන හෝ නොදැන කළා විය හැක. ඇමෙරිකාව ත්‍රිකුණාමලය ගැන තද ඇල්මක්‌ ඇති රටකි. නොයෙක්‌ අන්දමින් එය තම සතු කර ගැනීමට ඔවුන් මාන බලා ඇත. ඡේ. ආර්. ජනපති යුගයේ සිරිල් මැතිව්ගේ විරුද්ධත්වය නිසා තෙල් ටැංකි ඇමෙරිකාවට දීම නැවතුනි.

1982 ඇමෙරිකානුවන් හා ත්‍රිකුණාමලයේ ගැඹුරු මුහුදේ බලශක්‌ති විශේෂ ව්‍යාපාරයක්‌ ගැන දීර්ඝ පරීක්‍ෂණ පෙළක්‌ කිරීමට මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමද සතුටුකරවාගෙන සැලසුම් කෙරුනි. මේ ගැන 1982 මාර්තු මස 25 වැනිදා ලිපියක්‌ ඩේලි නිවුස්‌ පත්‍රයේ මුල් පිටුවේ පළවිය. නමුත් මෙම විෂය ගැන දැනුමක්‌ එතුමාටවත් එහි නම් සඳහන් අන් කිසිවෙකුටවත් නොවීය.

ත්‍රිකුණාමලයේ මේ කිරීමට යන පරීක්‍ෂණවලට මා තදින් විරුද්ධ වූයේ එහි වියදම සහ එයින් අපට අත් වන කිසිම ලාභයක්‌ නැති බවත් ගණිතමය වශයෙන් පෙන්වාදෙමිනි. මගේ අප්‍රේල් 2 වැනිදා ලිපියට පිළිතුරක්‌ ලිවූ ආතර් සී ක්‌ලාක්‌ මහතා මවිසින් කියා ඇති දේ 95% නිවැරදි බවත් නමුත් ඉතිරි 5% ට විශේෂ අවධානය යොමුවිය යුතු බවත් පවසා තිබිණි. එතුමාගේ ලිපිය අප්‍රේල් 5 වැනිදා පළවිය. මම යමක්‌ ලිවීමට සිතූමුත් ඊට පෙර ලංකා විදුලි බල මණ්‌ඩලයේ ඉතා පලපුරුදු ඇති ක්‌ලාක්‌ මහතාගේ වයසට සරිලන කාර්ලෝ ප්‍රනාන්දු මහතා ලිපියක්‌ සැපයීය. එතුමා කියා සිටියේ ඇමෙරිකාව තම රටෙහි නොකරන පරීක්‍ෂණ මෙහි විත් අප රටෙහි කිරීම අපට ඔරොත්තු දෙන්නේ නැතැයි මහාචාර්ය පී. ඒ. ද සිල්වාගේ කියමන වැරදි වෙන්නේ කෙසේද යන්නයි. එතුමා මේ ගැන ලිපි දෙකක්‌ ලිවූ පසු මම ද අලුත් අවුරුදු වැඩද නිමකොට අප්‍රේල් 26 වැනිදා නැවතත් ලිපියක්‌ ලීවෙමි. මා එහි කියා සිටියේ මම ආතර් සී ක්‌ලාක්‌ මහතාට අභියෝගයක්‌ කිසිවිටකත් යොමු නොකළ බවත් නමුත් මෙරට ගැන නොසිතන අපගේම අය ගැන මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සහ මෙවැනි ඇමෙරිකන් පරීක්‍ෂණ අපට කොහොමටවත් ඕනෑ නැති බවත්ය.

අප කවුරුත් සිතුවේ කාරණාව එතනින් නිම වුණා යන්නය. නමුත් ඇමෙරිකාවේ වෙසෙන වටී යෝගරත්නම් නමැත්තෙක්‌ මැයි 24 වැනි දින අප සියලු දෙනාගේම ලිපිවලට වඩා දීර්ඝ ලිපියක්‌ ලියා තිබිණි. ඔහුද කෙසේ හෝ ත්‍රිකුණාමලයේ මෙම පරීක්‍ෂණ ඇමෙරිකාව සමග කළයුතු බවට බොහෝ තර්ක ඉදිරිපත් කොට තිබිණි. මේ ලංකාවේ ත්‍රස්‌ත කලබල ඇතිවීමට පෙර බව සිහි තබා ගත යුතුය. නමුත් අපි නොදැන යම් දීර්ඝ කාලීන සැලසුමක්‌ ඔවුන් සතුව ඇති බව දැන් සිතිය හැක. යෝගරත්නම් මහතා කියා තිබුණේ මවිසින් ඉදිරිපත් කළ සාධක වැරදි බවය. ආචාර්ය උපාධිධාරීන්ටද වක්‍රව යම් පහරක්‌ එල්ල කොට තිබිණි. ඒ අවදියේ මෙම ක්‍ෂෙත්‍රයෙන් එවැනි උපාධියක්‌ ලබා සිටියේ මම පමණි. දැන් නම් මට වඩා හොඳට එම කාර්යයන් ගැන වැඩ කළ හැකි ආචාර්ය උපාධි ඇති මගේම ගෝලයින් කිහිපදෙනෙක්‌ සිටීම මට මහත් ආඩම්බරයකි. මා එදා යෝජනා කළේ අපේ ගමේ තොටේ හැකි විදියට දර හෝ දහයියා හෝ යොදා තාප බලාගාර සෑදීමටය. තවත් විකල්පද මම යෝජනා කර තිබිණි.

නමුත් ත්‍රිකුණාමලයට යෝගරත්නම් මහතා යෝජනා කර තිබුණේ දැවැන්ත ව්‍යාපාරයකි. එය කිරීමට නම් ඇමෙරිකාවම ඉදිරිපත් විය යුතුමය. ඉන් මෙගා වොට්‌ 100 විදුලි බලයද, පිරිසිදු ජල ගැලුම් 10 ලක්‍ෂයක්‌ එක්‌ දිනකටද, ඔක්‌සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්‌සයිඩ් ආදී වායුද, මේ සියල්ලටම අමතරව අති විශාල මත්ස්‍ය ප්‍රමාණයක්‌ද ලබා දෙන අරුම පුදුම කප්රුකකි. මම නම් එදා සිතා සිටියේ මෙගා වොට්‌ 50 ක්‌ ඇති, ගල් අඟුරු හෝ පෙරකී ලෙස දහයියා, දර හෝ වෙන ඕණෑම දෙයක්‌ දහනය කරන "කසිකබල්" ඉපැරණි ක්‍රමයකි. නමුත් මා එදා කියූ ක්‍රමය 100% විශ්වාසනීය බව අදත් කිව හැක.

මේ මහතුන්ගේ ක්‍රියාකාරකම් එදා නැවතීමට හැකි වූයේ ජනපති ජයවර්ධන මහතාට මා දුන් දීර්ඝ වාර්තාවකට පසුවය. යාන්තමින් ත්‍රිකුණාමලය එදා බේරුණි. පසුව 1995 දී යළිත් බූ බොට්‌ ක්‍රමයට ගල් අඟුරු බලාගාරයක්‌ මෙගා වොට්‌ 300 ක්‌ ඇතිව ත්‍රිකුණාමලයේම ස්‌ථාපිත කිරීමට යන බව ප්‍රකාශ විය. මා ඇතුළු මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලයේ 10 දෙනෙකුට වැඩි පිරිසක්‌ මෙය පිරික්‌සීමට එක්‌වුණි. මේ ගැන යම් තීරණයක්‌ ගැනීමට පෙර විශ්ව විද්‍යාලයට එන්ට යෑයි අප උප කුලපති තුමා විදුලි බල මණ්‌ඩල සභාපතිට, කළ ආරාධනාවටද අපට ලැබුණේ ත්‍රිකුණාමලයේම බූ බොට්‌ ක්‍රමයට කිරීමට පිටරට සමාගමකට දෙන බවයි. බූ යනු ඉංගිරිසි බී අකුර සහ ඕ අකුරු දෙකකි. එහි අර්ථය. බිල්ඩ්, ඕචින්, ඔපරේට්‌ වේ. එනම් සදන්නේත් පිටරට සමාගමයි. අයිතිකරුවනුත් පිටරට සමාගමයි, ක්‍රියා කරවන්නනුත් ඔවුන් මයි. අපට ඇති එකම කඡ්ජ ඔවුන් කියන ඕනෑ ගණනක්‌ දී විදුලිය මිලදී ගැනීමයි.

බොට්‌ ක්‍රමය මීට ටිකක්‌ වෙනස්‌. එනම් සියලුම යන්ත්‍ර වසර 20 කදී පමණ ඔවුන් කියන ගණනකට අපි මිලදී ගත යුතුයි. එහි ඇති ටී අක්‍ෂරය ටිරාන්ස්‌ෆර් යන්නයි. එනම් අපට පැවරීමයි. කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී තමයි ඔය පැවරීම. මෙයට විරුද්ධව මා විසින් ලියූ ලිපිය තවම මා ළඟ ඇත. නමුත් එය පළනොවුනි. මා එදා ලීවේ බුත් එපා බොටුත් එපා විදුලි බල මණ්‌ඩලයම මෙම බලාගාරය සැකසිය යුතු බවයි. එවිටත් මා කියා සිටියේ මෙගා වොට්‌ 50 ක විදුලිබලාගාරයක්‌ අපට නිපදවා ගත හැකි බවයි. වාසනාවකට නැවතත් ත්‍රිකුණාමලය බේරුණි.

2005 අප්‍රේල් 15 වැනිදා මවිසින් එවකට විදුලි බල ඇමැතිව සිටි සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාට ගල් අඟුරු බලාගාරය ගැන අදහස්‌ දක්‌වා ලිපියක්‌ යෑවීමි. අපට පිළිතුරක්‌ 21 වැනිදා ලැබුණේ එතුමා සමග සාකච්ඡාවකට 26 වන දින එන්ට කියායි. 1982 අප්‍රේල් සිට මේ ව විට වසර 23 ක්‌ ගතවී තිබිණි. අපි තුන් දෙනෙක්‌ මොරටුව විශ්වවිද්‍යාලයෙන් එතුමා හමුවී ගල් අඟුරු බලාගාර මහා කලු යකෙක්‌ නොවන බව පහදා දුනිමු. ස්‌ථානයද ත්‍රිකුණාමලය නොවිය යුතු බවද මා සඳහන් කළෙමි. ඇමැතිතුමා වෙනස්‌ වූ මුත් මහින්ද චින්තනය මගින් නොරච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය දැන් ඉදිවෙමින් පවතී. එය 2010 අවසන් වීමට පෙර රටට බලය සපයනු ඇත.

ජලවිදුලි බලාගාර ගැන යෝජනා කළ විමල සුරේන්ද්‍ර විස්‌කම් ඉංජිනේරු තුමාටද එහි ප්‍රතිඵල දකින්නට හැකි වූයේ එතුමා වයස්‌ ගත වූ පසුවයි. මටද වසර 40 කට පෙර අධික කාලයක්‌ කළ දේශන සහ ප්‍රායෝගික පංතිවලින් සිවිල් යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු සිසුවන්ට ලබාදුන් දැනුමෙන් ගල් අඟුරු විදුලි බලාගාරය ඉක්‌මනින්ම අපට ලැබෙන්නේ මහජන චීනයේ ආශිර්වාදය සහ අප ජනපති තුමාගේ වාසනාවම නිසාය. 1984 මෙවැන්නක්‌ ගැන ලිපි ගොනුවක්‌ මවිසින් ජනපති ජයවර්ධන මහතාට පිළිගැන්වූයේ චීනයට ගොස්‌ එවැනි බලාගාරයක්‌ ඉතාමත් විස්‌තර සහිතව පිරික්‌සීමෙන් පසුවය. එම ගමනට ඇමැති දයාරත්න මහතාද සහභාගි විය. එතුමාද එදා බලශක්‌ති උප ඇමැතිවිය. චීන තානාපති තුමාද එදා මෙය කළහැකි බව කීහ. වසර 26 කට පෙර අප හා චීනයේ සංචාරය කළ අප මිත්‍ර වොච් මහතා ජනවාරි 25 වන ඉරිදා හදිසියේම අප නිවසට පැමිණියේය. ඔහු දැන් මෙරට සිටී. තවත් පුදුමයක්‌ නම් මම ඔහු එන විට කරමින් සිටියේ මෙම දීර්ඝ කතාවේ ඉංගිරිසි ලියවිලි පරිගණකයට යොමු කරවිමිනි.

මේ දීර්ඝ කතාව ත්‍රිකුණාමලය නූලෙන් බේරුනා කියා මා පටන් ගත්තේ ඇයිදැයි දැන් පවසමි. ත්‍රිකුණාමලයේ මුහුදු පතුලේ මොනවා තිබෙනවාද අපි නොදනිමු. නමුත් එය අතිශයින්ම ගැඹුරු බව ප්‍රකාශවී ඇත. සිතාගැනීමට බැරි තරම් ගැඹුරුද? එම නිසාම මෙහි යම් වටිනා කමක්‌ ඇත්ද? ඒ ප්‍රදේශයේ යුරේනියම් පවා තිබිය හැකි බවට සාධක දැන් මතුවීගෙන එයි. ඇමෙරිකාව මෙය ලබා ගැනීමට අර ඇඳ ඇත්තේ බොහෝ කලක සිට බව දැන්වත් අප විසින් වටහා ගත යුතුය. හවායි, පැනමා ලබා ගත් ලෙසම අප රටත් අල්ලාගන්නට ඇමෙරිකාවට යම් වුවමනාවක්‌ ඇත. ඒ සඳහා ඔවුන්ට කත් අදින අය බලයේ සිටිය යුතුය.

මා 1982 සැලසුම් කළා මෙන් 6 ගුණයක්‌ වන මෙගා වොට්‌ 300 ක පළමු අදියර දැන් නොරොච්චෝලේ වැඩ කටයුතු අවසන් වෙමින් පවතී. නමුත් මට සමච්චල් කළ යෝගරත්නම් මහතාගේ මුහුදු වතුරෙන් විදුලිය ලබන මහා පරිමාණයේ එකම බලාගාරයක්‌ ලොව කොහේවත් තවම තනා නැත. කරුණු එසේනම් ත්‍රිකුණාමලයට ඒමට එදා සිටම තිබුණු ආශාව කුමක්‌ද?

හවායි දූපත්වල මෙන්ම ගැති කම් කියන ඉත්තන් සහ හෙන්චයියන් අප රටෙහිද අදත් සිටී. ඔවුන් ගෙන් බේරී රටම බේරාගැනීම සියල්ලන්ගේම යුතුකමකි. එසේ නොකලහොත් වසර 500 කින් ලබා ගත් සියලු ජය ගඟට කැපූ ඉනි වනු ඇත. ළඟදී එන පාර්ලිමේන්තු මැතිවරණයේදී විනාශකාරී ගැත්තන්ට යට නොවී. උද්දමනය, බඩුමිල පොරෝඩාව ගැන සිතීමට නොව මේ රට ගැන සිතීමට පමණක්‌ සැවොම එක්‌ විය යුතුය. අද පක්‍ෂය නොව රට රැකීම වටී. එසේ නොකලහොත් අපිත් ඉරාකයක්‌, ඇෆ්ගනිස්‌ථානයක්‌ වීමට ඉඩ ඇත. මා මේ ගැන කරුණු ඉදිරිපත් කලේ දිවයින ඉරිදා සංග්‍රහය 2003 අප්‍රේල් මස 20 වෙනිදායි. එහි මාතෘකාව අද ඉරාකයට වන දේ හෙට අපට සිදුවිය හැකියි." වාසනාවකට අපි වසර 2500 කට වැඩි කලක්‌ ජීවත්වූ රට බෙදන්නේ නැතුව රටෙහි සෑම සම්පතක්‌ම සියලුම ජන කොටස්‌වලට සාධාරණව බෙදීමයි කල යුත්තේ. රටේ ඉරි ඇදීම පමණක්‌ නොව ලෝකයේම ඉරි ඇදීම නැවැත්වීමට අපට වාසනාව ලැබේවා.

 

 
Powered By -