විශිෂ්ට ලංකා පුත්‍රයෙකු පිළිබඳ මතක සටහනක්‌

විශිෂ්ට ලංකා පුත්‍රයකු පමණක්‌ නොව ජගත් සුපතල ව්‍යාපාරික ප්‍රභූවරයකු ලෙසද ප්‍රකට වූ උපාලි විජයවර්ධන 27 වැනි ගුණසමරුව මෙම පෙබ. 13 වැනි දිනට යෙදී තිබිණි. දිවයින හා අයිලන්ඩ් ප්‍ර්‍රමුඛ උපාලි සමූහ ආයතනයේ නිර්මාතෘ ද වූ විජයවර්ධන ශ්‍රීමතාණන් වෙනුවෙන් මෙම ලිපිය පළවේ.

විසිවන සියවසෙහි මෙරට බිහිවූ විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකිකයන් අතර ස්‌වකීය නාමය රඳවා තැබීමේ භාග්‍ය ලද උපාලි විජයවර්ධනයෝ ශූර ව්‍යාපාරිකයකු පමණක්‌ නොව පුළුල් සමාජ ආර්ථික හා දේශපාලන දැක්‌මකින්ද පිරිපුන් දුලබ සංස්‌කෘතික ප්‍රාඥයෙක්‌ ද වූහ. උපාලි විඡේවර්ධනයන්ගේ ව්‍යාපාරික ඥනය සිය පරපුරෙන් ලද සහජ උරුමයක්‌ මෙන්ම ජගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන් ලද සාර අත්දැකීම් හා ඥන ගවේෂණයෙන්ද පරිසමාප්ත වූවක්‌ විය. ඔහුගේ ව්‍යාපාර මෙහෙයුම් අසාමාන්‍ය වූ බව ඔහුගේ සමකාලීනයෝම සඳහන් කරති. මේ කුඩා දිවයින කේන්ද්‍රකරගනිමින් ඔවුන් විසින් අරඹන ලද ව්‍යාපාර ජාලය, ව්‍යාපාර අධිරාජ්‍යයක්‌ ලෙස වැඩෙනු දැකීම ඔහුගේ අභිලාෂය විය. හේ එක්‌ සියවසක පා තබා තවත් සියවසක්‌ ඉක්‌මවමින් ප්‍රඥලෝකයක්‌ විහිදවූවකු ලෙසද සමහරු හඳුන්වති.

කුඩා සීනිබෝල ආයතනයකින් ඇරඹුණු ඔහුගේ ව්‍යාපාර ජාලයට විවිධ අංග එක්‌ කළ ඔහු ගුවන්විදුලි හා මෝටර් රථ නිෂ්පාදනය වැනි කටයුතුවලට ද අවකාශ සලසා ගත්තේය. සිලෝන් චොක්‌ලට්‌ සමාගම හා උපාලි මෝටර් රථ සමාගමට අමතරව වැවිලි සමාගමක්‌ද ආරම්භ කළ ඔහු සිය ව්‍යාපාර විවිධාංගකරණය සඳහාද නිබඳ අවධානය යොමු කළේය. එනිසාම ජගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහිද ඔහු ප්‍රකටව සිටියේය.

උපාලි සමූහ ව්‍යාපාරයට අමතරව රටවල් කීපයකම ඔහුට අයත් ව්‍යාපාරික ආයතන හා සමාගම්ද විය. සුපිරි පන්තියට අයත් ව්‍යාපාරික අධිරාජ්‍යයන්ට හිමිවන ලියර් ජෙට්‌ යානයක හිමිකරුවකු වීමටද ඔහු සමත් විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් සේවයක්‌ ඇරඹීමට ඔහු සැලසුම් කර තිබිණි. මෙම සාඩම්බර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා දෙස වපරැසින් බැලූ අයද වූහ. එහෙත් ඔහු අධිෂ්ඨානයෙන්ද වීර්යයෙන්ද යුතු පරමාදර්ශී චරිතයක්‌ විය.

උපාලි විජයවර්ධනයන්ගේ මෙම චරිතාංගය සිය පාරම්පරික ඥනයේත් සිංහල බෞද්ධ සංස්‌කෘතික විඥනයේත් සුසංයෝගයක්‌ ලෙස මම දකිමි. උපාලි විජයවර්ධනයෝ කැලණි රජමහා විහාරය සමග මෙන්ම සිය උපන්ගම වූ කඹුරුපිටිය සමගද දැඩිව බැඳී සිටියහ. කැලණි විහාරයේ බස්‌නායක ධුරය ද හෙබවූ හේ තමන්ගේ නිෂ්පාදනයක ප්‍රථම ඵලය කැලණි විහාරයට පූජා කිරීමටද පුරුදුව සිටියහ. කඹුරුපිටිය ජනතාවද ඔහුට මහත්සේ ආදරය කළහ. කඹුරුපිටිය කේන්ද්‍රකරගනිමින් ඇරඹුණු සමාජ මෙහෙවර පසු කලක ජාතික දේශපාලනය සඳහා ඔහු පොළඹවන්නට ඇතැයිද සිතේ.

උපාලි විජයවර්ධනයන්ගේ සමීපතම මිත්‍රයෙකු මෙන්ම ඥතියකු ද වූ ඡේ. ආර්. ජයවර්ධන මේ රටේ බලයට පත්වීමත් සමග විප්ලවීය ආර්ථික පෙරළියක්‌ සඳහා ජයවර්ධන රජයට උපදෙස්‌ දීමටද ඔහු පියවර ගත්තේය. මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා එහි සභාපති ධුරයද විජයවර්ධනයන්ට පවරන ලද්දේ ඡේ. ආර්. ජයවර්ධන විසින්මය. ඔහු එම ධුරයෙහි සේවය කළේ වැටුපක්‌ හෝ නිල වාහනයක්‌ හෝ නොමැතිවය. ඒ ඔහු කිසිවකුගේ මෙහෙයවීමකට යටත් නොවන ස්‌වාධීන පුද්ගලයකු වූ හෙයිනි.

උපාලි විජයවර්ධනයන් තුළ අප්‍රමාණ ජාතික අනුරාගයත්, අදීන චින්තනයත් අප හඳුනාගත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් මගිනි. ශ්‍රී ලංකාවේ පුවත්පත් ව්‍යාපාරයේ සමාරම්භක නායකයකු වූ ඩී. ආර්. විජයවර්ධන මහතා ඔහුගේ මාමා විය. සිය ව්‍යාපාරික අධිරාජ්‍යයෙන් වෙනස්‌ වූ පුවත්පත් නිෂ්පාදන ක්‍ෂේත්‍රය සඳහා ඔහු යොමු වූයේ ඒ වන විට සිය මාමා වූ ඩී. ආර්. විජයවර්ධනයන් සතු වූ ලේක්‌හවුස්‌ ආයතනය රජය සතුවීම නිසා බව මම කල්පනා කරමි. "දිවයින" ආරම්භ කිරීම සඳහා විජයවර්ධනයන් ආරාධනා කළ එඩ්මන්ඩ් රණසිංහ මහතා ප්‍රමුඛ පළමු කණ්‌ඩායමට මමද අයත් වීමි.

අපගේ පුවත්පත් කලාවේ ගුරුවරයකු බඳු වූ එඩ්මන්ඩ් රණසිංහයන් ඒ කාලයේ ප්‍රකාශ කළ එක්‌ දෙයක්‌ වූයේ ලේක්‌හවුස්‌ ආයතනය රජය සතුවීමත් සමගම මේ රටේ නිදහස්‌ චින්තනයට බාධාවක්‌ සිදුවී ඇතැයි යන්න උපාලි විජයවර්ධනයන් තුළ රැව්දුන් අදහසක්‌ වූ බවය. "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් ඒ නිදහස්‌ ප්‍රකාශනය හා ජාතික සංස්‌කෘතික අභිලාෂයන් මත මෙහෙය විය යුතු බවද ඔවුන් අපේක්‌ෂා කළ දෙයකි.

උපාලි විජයවර්ධන මහතා පිළිබඳව මගේ සැමරුම් ඉතා සීමිතය. මා ඔහු දැක ඇත්තේ වාර කීපයක්‌ වන අතර ඔහු සමග කතා කර ඇත්තේද වචන කීපයක්‌ පමණි. දිවයින මංගල කලාපය ලෙස එළි දුටු දිවයින ඉරිදා සංග්‍රහය සඳහා අප දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටියෙමු. ඇතැම් රාත්‍රියක ඔහු අප වැඩ කරමින් සිටි කුඩා කාමරයටද පැමිණියේය. හේ සියුම් උපහාසය ප්‍රිය කළ බව අපි දැන සිටියෙමු. බ්ලුමැන්ඩල් පාරේ "දිවයින" කාර්යාලයට ඔහු පැමිණෙන හැම දිනකම කර්තෘ මණ්‌ඩලයේ කෙලවරකට වී නිසොල්මන්ව කාටුන් චිත්‍ර අඳින ප්‍රකට කාටුන් ශිල්පී විඡේසෝම මහතා ළඟට යැමටද පුරුදුව සිටියේය. විඡේසෝම මහතා ඉරි කෑලි කීපයකින් නිමවන දේශපාලන රූපය ඔහුගේ හාස්‍යයට නිමිතිවන අයුරු මම දැක ඇත්තෙමි.

දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් බිහිවීම නිසා දේශපාලන වශයෙන් අපේක්‌ෂා භංගත්වයට පත්වූ අයද වූහ. එහි අතුරුපල අපගේ පත්‍රවලටද ලැබිණි. පුවත්පත යනු සිව්වන ආණ්‌ඩුවක්‌ බව දත් විජයවර්ධනයෝ ඒ කිසිදු දේශපාලන උදහසක්‌ අබියස නොසැලුනහ. විජයවර්ධනයන්ගේ සමීප ඥතියකු වූ "ඩිකී අයියා" හෙවත් ඡේ. ආර් ටද ඔහු ගැන නොයෙක්‌ ගතු කේලාම්ද ලැබිණි. උපාලි පුවත්පත්වලට රජයේ වෙළෙඳ දැන්වීම් ලබාදීමට රජයේම ඇතැම් කෙනෙක්‌ තහනම් කර තිබිණි. එහෙත් ඒ කිසිවකින් දිවයින හෝ අයිලන්ඩ් පුවත්පත් හීලෑ කරගත නොහැකි විය.

උපාලි විජයවර්ධනයන්ගේ චරිත ලකුණු ඉවෙන් මෙන්ම අත්දැකීමෙන්ද හඳුනාගත් අප තුළද පුවත්පත සම්බන්ධයෙන් නිදන්ව තිබුණේ ගැඹුරු හා අධිෂ්ඨානශීලී අරමුණුය. ජාතික සංස්‌කෘතික අභිලාෂයන් වෙනුවෙන් දිවයින හා අයිලන්ඩ් පුවත්පත් විසින් දක්‌වන ලද දායකත්වයේ පදනමද එම අදීනත්වය බව නිහතමානීව සටහන් කරන්නේ අපගේ නිර්මාතෘන්ට කරන බුහුමනක්‌ ලෙසය. කවරකු නිවැරදිද යන්න නොව කුමක්‌ නිවැරදිද යන්න ඔහුගේ සාරදැක්‌ම වී තිබිණි.

උපාලි විජයවර්ධනයෝ ශ්‍රී ලාංකික දේශපාලනය පිළිබඳව ද ඉමහත් උනන්දුවක්‌ දැක්‌වූහ. ස්‌වාධීන හා නිදහස්‌ පුවත්පතක්‌ ජාතියට දායාද කළේ ද එකී දේශපාලන විඥනය නිසාම විය හැකිය. වරක්‌ හේ අතුරු මැතිවරණයක්‌ සඳහා ඉදිරිපත්වීමටද සූදානමින් සිටියේය. කුමක්‌ හෝ හේතුවකින් ඒවා ක්‍රියාත්මක නොවූවාද විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාව හා මුළු මහත් ජනතාව වෙනුවෙන් ඔහු තුළ වූ සිහින හා ප්‍රාර්ථනා යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමේ ගැඹුරු අධිෂ්ඨානයක්‌ ඔහු තුළ විය.

ඇතැම් දේශපාලන බලධාරීහු උපාලි විජයවර්ධනයන් නොඉවසූහ. එමතු නොව ඇතැම්හු සිය මන්ත්‍රීවරප්‍රසාද වලට මුවාවෙමින් ඔහුට නොයෙක්‌ අවමන් හා ගැරහුම් ද කළහ. දේශපාලන වේදිකාවලදී මෙන්ම පාර්ලිමේන්තුවේදීත් තමන්ට එල්ලවන ප්‍රහාර නොතකා සිටීමට පමණක්‌ නොව ඒවා සිය පුවත්පත් වන දිවයින හා අයිලන්ඩ්හි පළවනු දැකීමටත් ඔහු රිසිවිය. අධිෂ්ඨානශීලි මිනිසකු දුබල දේශපාලන ප්‍රහාරයකින් පසු බැස්‌ස නොහැකි බව ඔහුගේ එම ප්‍රතිචාර මගින් අපට ප්‍රත්‍යක්‍ෂ විය.

ඡේ. ආර්. යුගයේ ප්‍රබල දේශපාලන චරිත දෙකක්‌ම ඔහු සමග බොහෝ අවස්‌ථාවල ගැටුණහ. වරක්‌ එබඳු සිදුවීමක්‌ අළලා එකල ප්‍රකට දේශපාලන පත්‍රයක්‌ වූ "ඇත්ත" පත්‍රයෙහි කාටුනයක්‌ ඇඳ තිබිණි. විජයවර්ධන මහතා එම කාටුනය දිවයිනේ ප්‍රථම කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට පෙන්වා ඉංග්‍රීසියෙන් පවසා ඇත්තේ "මෙහි උපහාසය තියෙන්නේ මෙම වැකියේ" යයි යන්නය. එසේ කියා ඔහු මහ හයියෙන් සිනාසුණු බවද රණසිංහ මහතා අප සමග පවසා ඇත.

උපාලි විජයවර්ධන යනු අතිශයින් දුර්ලභව දේශයකට සමාජයකට පහළ විය හැකි ප්‍රාඥයකු ලෙස මම දකිමි. හේ කිසිවිටෙක ව්‍යාපාර අධිරාජ්‍යය නමැති සීමා තුළ රැඳෙන්නටද රිසි නොවූහ. සමාජය හා මනුෂ්‍යත්වය පිළිබඳ දයාවෙන් හා ආදරයෙන්ද පෝෂණය වූ ගැඹුරු දර්ශනයක්‌ ඔහුට විය. ජාතිකත්වය හා දේශප්‍රේමිත්වය ඔහුගේ සුවිශේෂ ගුණයක්‌ වුවද ඔහු තුළ ජාති, කුල, ආගම්, දේශ වැනි සීමා නොවීය. නිදහසේ ගුවන සරණ පක්‌ෂිරාජයකු මෙන් ඔහු අනන්ත විශ්වයෙහි සැඟවී ගොස්‌ ඇතැයි මට හැඟේ.

ගාමිණී සුමනසේකර
දිවයින හා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ

 
Powered By -