මැතිවරණ කර්මාන්තය
සහ දේශපාලන ප්‍රමිතිය

එක්‌දහස්‌ නවසිය හැත්තෑ හතෙන් පසුව මේ රටට හඳුන්වා දෙන ලද තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වසර 2010 න් අවසන් වූ ගතවූ තිස්‌ අවුරුද්ද තුළ පවත්වන්නට යෙදුණු විවිධාකාර මැතිවරණවල සංඛ්‍යාව 50 කට වැඩි මිසක අඩු නැත. මේ අනුව සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල සිංහල අවුරුද්ද සහ නත්තල් උළෙල හෝ වෙසක්‌ උත්සවය මෙන් සෑම අවුරුද්දකම කවරාකාරයක හෝ මැතිවරණයක්‌ මේ රට තුළ පැවැත්වී තිබේ. එයින් පෙනී යන්නේ අප මැතිවරණ සංවිධානය කිරීම පැවැත්වීම හා ප්‍රතිඵල ලබා ගැනීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක්‌ ලබා ඇති බවකි. ලෝකයේ සමහර රටවලට එක්‌ එක්‌ කරුණු පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක්‌ ඇත. ස්‌විට්‌සර්ලන්තය ප්‍රසිද්ධ ඔරලෝසු නිෂ්පාදනයට ය. පින්ලන්තය ප්‍රසිද්ධ ජංගම දුරකථන තැනීමට ය. ජපානය සියලු ආකාරයේ යාන්ත්‍රික සහ ඉලෙක්‌ට්‍රොaනික උපකරණ නිපදවීමට ප්‍රකට ය. මේ දක්‌වා සංග්‍රාම කලාවෙහි ප්‍රසිද්ධියක්‌ තිබූ අපි පසුගිය වසරේ යුද ජයග්‍රහණයත් සමඟම එම ප්‍රසිද්ධිය ද අහිමි කරගෙන ඇත්තෙමු. ළඟකදී යුද්ධයක්‌ එන හැඩක්‌ නැති නමුත් ඡන්දයක්‌ සඳහා දින නියම කරගෙන තිබේ. මෙය සැලකිල්ලට ගනිමින් ආපසු හැරී බලන අපට පෙනෙන්නේ නිමක්‌ නැති තරම් වූ මහ මැතිවරණ තොගයකි. ජනාධිපතිවරණ, ජනමතවිචාරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ, ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ, සමුපකාර නිලවරණ ආදී ක්‍රියාකාරකම් මේ මැතිවරණ තොගය තුළ තිබේ. සිංගප්පූරුව දියුණු කරන ලද්දේ වෙළෙඳ බදු නැති කිරීමෙනි. ඒ අදහස ප්‍රයෝජනයට ගනිමින් වෙන රටවල මැතිවරණ සංවිධානය කර දෙන පුද්ගලික සමාගමක්‌ බවට මේ රට පත් කළ නො හැකිද? නාමයෝජනා ඉදිරිපත් කිරීමේ සිට ආණ්‌ඩු පිහිටුවීම දක්‌වා සියලු දේ අපට සංවිධානය කර දිය හැක.

ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දිස්‌ත්‍රික්‌ නායකයෝ ඊයේ නාමයෝජනා ලැයිස්‌තු අත්සන් කළහ. මීළඟ පාර්ලිමේන්තුව නවක මුහුණුවලින් සමන්විත වනු ඇතැයි සන්ධානයේ මෙන්ම එ.ජා.ප.යේ නායකයෝ ද පසුගියදා කීහ. මේ නවක මුහුණු පිටුපස මළකඩ කෑ කබර මොළ තිබුණොත් විය හැකි අවැඩ විශාල බව අපේ කතුවැකියක සඳහන් විය. මේ රටේ ඕනෑම කෙනකුට කළ හැකි එකම කටයුත්ත දේශපාලනයයි. පාසල් ගොස්‌ තිබුණත් නැතත්, අකුරු ලිවීමට හැකිවුණත් නැතත්, යම් ප්‍රමාණයකට කියෑවීමට හා කතා කිරීමට මෙන්ම අත්සන් කිරීමට ද හැකිනම් එතැනින් දේශපාලනඥයකු බිහිකර ගත හැකිය. ඔහුට කිසිදු ආකාරයක අධ්‍යාපන සහතිකයක්‌ තිබිය යුතු නැත. ඔහුට තිබිය යුත්තේ උප්පැන්න සහතිකය පමණි. මේ මූලික සුදුසුකම් සම්පූර්ණ වුවහොත් ඔහුට දේශපාලනඥයකු විය හැකිය.

මෙය හොඳ වැඩකි. මේ ක්‍රමයට අනුව අධ්‍යාපන සහතික නැතත් අවංක දේශප්‍රේමියකුට මන්ත්‍රීවරයකු විය හැකිය. එසේම, මෙය නරක වැඩකි. හේතුව ඕනෑම හොරකුට ද මේ ක්‍රමය යටතේ මන්ත්‍රීවරයකු වීමට හැකි වීමයි. ළඟදී විසුරුවාහල පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස බලන විට එහි මෝඩයෝ හා මැරයෝද වූහයි සමහරු කියතිs. රටේ ඒකීයත්වය වෙනුවෙන් දේශප්‍රේමීන් දහස්‌ ගණනක්‌ හෙලූ රුධිර දහරාවලට අපහාස කළ අය ද මේ අතර වූහ. එසේම විවිධ ජාවාරම්වලට සම්බන්ධව සිට එබන්දක්‌ නොකළවුන් සේ සුදු ඇඳගෙන සිටි අය ද වූහ. තණමල්විල ගංජා ව්‍යාපාරයට සම්බන්ධ අය මෙන්ම කොටින්ට පුපුරණ ද්‍රව්‍ය ලබාදුන් අයද, කොටින් වෙනුවෙන් පණිවුඩ ගෙන ගිය අය ද මෙහි වූහ. බෞද්ධ කොමිෂන් සභා වාර්තාවට සුදුසු තැන ඉතිහාසයේ කුණුබක්‌කිය යෑයි කියූ මහතකුට ඇමැති තනතුරු කිහිපයක්‌ ලබාදී තිබිණ.

මෙසේ නොවීම පිණිස දේශපාලනයට පිවිසෙන අය තෝරා ගැනීම සඳහා කිසියම් ප්‍රමිතියක්‌ ඇති කිරීම මතු බලයට පත්වන ආණ්‌ඩුවේ යුතුකම වේ. දේශපාලනය කිරීමට කැමැති, අවංක අදහස්‌ ඇති, තරුණයෝ දහස්‌ ගණනක්‌ මේ රටේ වෙති. ඒ අය කිසියම් ආකාරයකට හැඩගැස්‌වීම සඳහා මීළඟට බලයට පත්වන ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. නිකමට ඡන්ද කළාට මදිෘ ඒවාට ඉදිරිපත් වන අය බරපතලක්‌ දන්නා අය නම්, රටට වන ප්‍රයෝජනය විශාලය.

 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.