රජය ගෙනයන ප්‍රචාරවලට රැවටෙන්න එපා
"ජෙනරාල් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී
කිසිදු විටෙක මා සමග කතා කළේ නැහැ"
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස හෝ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරද්දී තමන් සමග කිසිදු අවස්‌ථාවක කතාකර නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම ප්‍රවෘත්ති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී නිර්පාක්‌ෂික පොදු අපේක්‌ෂකයා ලෙස තරග කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ හා අයුක්‌ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති ආණ්‌ඩුව දැන් ඒ පිළිබඳව ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ ද කිරීමට පටන්ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 12 දා ඉංග්‍රීසි පුවත්පතක්‌ වාර්තා කර තිබූ අන්දමට කැබිනට්‌ ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ලෙස මා හට සරත් ෆොන්සේකා මහතාට එරෙහි නඩු විභාගයේදී සාක්‌ෂි දීමට සිදුවන බවත් ඒ ෆොන්සේකා මහතා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරද්දී මා සමග කතා කර ඇති නිසා බවත්ය. මීට සමාන අදහසක්‌ තවත් පුද්ගලයන් විසින්ද පවසා තිබුණ ද කැබිනට්‌ ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන මහතා මෙවැන්නක්‌ ප්‍රකාශ කිරීම බරපතල ලෙස සැලකිය යුතුව ඇත.

ෆොන්සේකා මහතා නීතියට පටහැනිව හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් ආණ්‌ඩුව මේ උත්සාහ කරනුයේ එක්‌ අතකින් තමන් කළ වැරැද්ද සාධාරණී කරණය කර ගැනීමටත්, අනෙක්‌ අතින් ෆොන්සේකා මැතිතුමා වෙත මුදාහැර ඇති මර්දනකාරීත්වය ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු විපක්‌ෂයේ නායකයන් වෙතද මුදාහැරීමටත් බව පැහැදිලිය.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හෝ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරද්දී හෝ ජ.වි.පෙ. ලේකම්වරයා වන මා සමග කිසිවිටෙකත් කතාකර නැති අතර එවැන්නක්‌ මා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ පවසා ද නැත.

ෆොන්සේකා මහතා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන කාලයේ ඇමරිකා එක්‌සත් ජනපදයට ගිය අවස්‌ථාවේ එහි අභ්‍යන්තර ආරක්‌ෂක අමාත්‍යාංශය ලංකාවේ කොටි ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේදී සිදුවූ දේ විමසා එතුමාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් විය. එයට අපේ රට තුළ විශාල ප්‍රසිද්ධියක්‌ද මාධ්‍ය මගින් ලබාදෙන ලදී. අප දකින ලෙසට එය සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ හෝ හමුදාවේ ප්‍රශ්නයක්‌ නොව ශ්‍රී ලාංකික අප කාටත් බලපාන ප්‍රශ්නයක්‌ විය.

විශේෂයෙන් බෙදුම්වාදී කොටි ත්‍රස්‌තවාදය යුධමය වශයෙන් පරාජය කළ යුතුය යන මතයේ නොසැලී සිට ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක්‌ කළ පක්‌ෂයක්‌ ලෙස හා අප රටට එල්ල වන විදෙස්‌ මැදිහත්වීම්වලට එරෙහිව මව්බිමේ ස්‌වෛරිභාවය වෙනුවෙන් කටයුතු කළ පක්‌ෂයක්‌ ලෙස ඉහත සිදුවීම් හමුවේ නිහඬව සිටීමට අපට හැකියාවක්‌ නොතිබිණි.

ඒ නිසාම එම ප්‍රශ්නයේදී අපි අප පක්‌ෂයේ ස්‌ථාවරය ප්‍රසිද්ධියේ රටට පැවසීමු. එසේම එම දිනවල ෆොන්සේකා මහතාගේ හිතවතුන් ඇතුළු බොහෝ දෙනකු මේ පිළිබඳව අප පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කතාකර තිබිණි. එහිදී ඔවුන්ද අප පක්‌ෂයේ ස්‌ථාවරය පිළිබඳව පිළිතුරු දී තිබිණි. එසේ නොමැතිව ෆොන්සේකා මහතා එම සිදුවීම පිළිබඳ මා සමග හෝ අප පක්‌ෂයේ නායකයන් සමග කතා කර නැත. ඕනෑම තැනකදී එය පැහැදිලි කිරීමට අපට පුළුවන.

එසේ තිබියදී කිසියම් ප්‍රසිද්ධ රැස්‌වීමක කියූ කතාවක කොටසක්‌ තමන්ට අවශ්‍ය පරිදි උපුටාගෙන ජනතාව නොමග යවන අන්දමේ ප්‍රකාශ කිරීම ආණ්‌ඩුවේ බංකොළොත්කම පෙන්වන්නක්‌ ලෙස දකින අපි මෙවැනි ප්‍රකාශයන්ගෙන් නොමග නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ෆොන්සේකා මහතාගේ නිර්දෝෂිභාවය සනාථ කිරීම වෙනුවෙන් පෙනී සිටීමට අපට සිදුවන්නේ නම් ඕනෑම ස්‌ථානයක ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවද අවධාරණය කරමු.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.